කියුබාව මේ වන විට අභ්‍යන්තර සහ බාහිර බලපෑම් සමග අරගල කරමින්, ඒවායින් පැන නැගී ඇති ඉමක් කොණක් නොමැති සමාජ, ආර්ථික සහ දේශපාලන අභියෝග රාශියකට මුහුණ දෙමින් දැඩි අර්බුදකාරී තත්ත්වයක පසු වෙති. මේ මොහොතේදී කියුබාවේ බලශක්ති උත්පාදනය තුළ පවතින විවිධ ගැටලු, ඔවුන්ගේ ආර්ථිකය කඩා බිඳ දැමීමට ප්‍රධාන හේතුවක් වී ඇත. ලෝක සම්බාධක නිසා පවතින ඉන්ධන හිඟයත් සමස්ත ජාතික විදුලිබල ජාලයම වයසට යමින් කල් ඉකුත් වීමට ළංව තිබීමෙන් නිතර සිදුවන විදුලිය විසන්ධි වීමුත් රට තුළ සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ. හදිසි විදුලි ඇණහිටීම්වලට අමතරව ව්‍යාපාර සහ ගෘහාශ්‍රිත යන දෙඅංශයටම බලපාන පරිදි රජය විසින්ද පැය කිහිපයක අඛණ්ඩ විදුලිය කපා හැරීමක් සිදුවන විදියට සැලසුම් සකස් කර එය ක්‍රියාත්මක කරමින් පවතී. මේ අතර ‘ගහෙන් වැටුණු විට ගොනෙකුත් ඇන්නාක්’ වැනි දෙයක් වෙමින් Rafael සුළි කුණාටුවද කියුබන් දිවයින හරහා ගමන් කළේ උග්‍ර විදුලි අර්බුදය තව තවත් නරක අතට හරවමිනි.
මේ වන විට අධිකව ඉහළ ගොස් ඇති උද්ධමනයත් ආහාර සහ ඖෂධ ඇතුළු මූලික භාණ්ඩ සඳහා ඇති සීමිත ප්රවේශයත් කියුබානුවන්ගේ ඉවසීමේ සීමාවන් පරීක්ෂා කරමින් ඇත. බොහෝ අය පිටරටවල සිටින ඥාතීන් කළු වෙළඳපොළ හරහා එවන මුදල් මත විශ්වාසය තබා මාසය ගෙවා ගැනීමට බලා සිටිති.
කියුබාවේ භූ දේශපාලන දර්ශනය
කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය (The Communist Party of Cuba – PCC) රට තුළ සියලුම අංශ පාලනය කරන එකම නෛතික දේශපාලන පක්ෂයයි. 1959 සිට
කියුබානු ජාතිය වෙත නිර්වචනය කර ඇති පරිදි එම රට ඒක-පක්ෂ කොමියුනිස්ට් ව්‍යුහයක් යටතේ පාලනය වේ. මෙම තනි පක්ෂය පිළිබඳව කියුබානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, ‘සමාජයේ සහ රාජ්‍යයේ ප්රමුඛ බලවේගය’( the leading force of society and the state.) ලෙස අර්ථ දක්වා අන්තර්ගත කර ඇත. ජනාධිපති Miguel Díaz-Canel ෆිදෙල් කැස්ත්‍රෝ අනුගමනය කළ විප්ලවවාදී පාලනයේ උරුමය අඛණ්ඩව පවත්වාගෙන යමින්, PCC හි සභාපති සහ පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කරයි.
Miguel Díaz රජය, මේ වන විට විරුද්ධ මතධාරී ජනතාව වෙත සිය ග්‍රහණය දැඩි කරමින් දැඩි මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන අතර ජනතා නැගී සිටීම්වලට විරුද්ධව අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් නිතර සිදුකරනු ලබයි. නමුත් ජනතා නැගී සිටීම් පාලනය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන මට්ටමට දැන් දැන් කියුබාව පැමිණෙමින් සිටී. ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවට පත්ව සිටින ජනතාව, ඊට සහනයක් ඉල්ලමින් සහ වැඩි දේශපාලන නිදහසක් ඉල්ලමින් 2021 ජූලි මාසයේදී කියුබාව පුරා ඇරඹූ පුළුල් විරෝධතාවලදී ආණ්ඩුවේ ප්‍රතිචාරය වූවේ විරෝධතාකරුවන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීමයි. සිය ගණනකට රාජද්‍රෝහීත්වය සහ මහජන කැළඹීම් ඇති කිරීම වැනි අපරාධ චෝදනා එල්ල කරමින් නඩු පැවරීම් සිදුකොට තිබුණි. එහිදී සාධාරණ නඩු විභාග නොවීම සහ විරෝධතාකරුවන්ට පනවා තිබූ දැඩි දඬුවම් මානව හිමිකම් සංවිධානවල පවා දැඩි විවේචනයට ලක් වී තිබුණි. 2024 මාර්තු මාසයේදී ආහාර හිඟය, විදුලිය ඇණහිටීම් ආදි කරුණුවලට විරෝධය පළකරමින් සන්තියෝගෝහිදීද මෙවැනි විරෝධතා රැල්ලක් ආරම්භ කර තිබුණි.
2022-24 දක්වා එරට තත්ත්වය දෙස බැලීමේදී පෙනී යන්නේ අන්තර්ජාල රෙගුලාසි පවා පනවමින් රට අභ්‍යන්තරයේ ලෝකයෙන් සැඟවුණු පාලන ක්‍රමයක් ගෙන යන බවයි. ස්වාධීන පුවත්පත් මගින් කරන විවේචන රජයට ඉවසුම් නොදෙන කරුණක් වී ඇති අතර පාලන තන්ත්රයට විරුද්ධව කටයුතු කරන මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ කලාකරුවන් හට විවිධ හිරිහැර කිරීම්, ගමන් බිමන් සීමා කිරීම්, ඔවුන්ගේ උපකරණ රාජසන්තක කිරීම් සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම්වලට මුහුණ දීමට සිදුවී ඇත. ආර්ථික ගැටලු, දිනෙන් දින නරක අතට හැරෙන ජීවන තත්ත්වය, දේශපාලන නිදහස නොමැතිකම ආදි කරුණු රැසක් නිසා පවතින පාලන ක්‍රමය පිළිබඳව ජනතාව තුළ ඇති කලකිරීම ඉතාමත් වැඩි වී ඇත. නමුත් රාජ්‍ය මර්දනයට ඇති බිය නිසා බොහෝ විට විවෘතව විරුද්ධ මත දැක්වීමට තිබෙන අයිතිය අධෛර්යමත් වී ඇත. කැරීබියානු කලාපයේ සෙසු රටවල ජනතාව ජීවත්වන ජීවන ක්‍රමය හෝ තමන්ටත් අවැසි බව බොහෝ තරුණ කියුබානුවන්ගේ අදහස වී ඇත. ඒ සඳහා වහාම දේශපාලන හා ආර්ථික ප්රතිසංස්කරණයක් අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙමින් සිටී.
කියුබාව මේ වන විට චීනය, රුසියාව සහ වෙනිසියුලාව වැනි රටවල් සමග ශක්තිමත් සබඳතා පවත්වමින් කටයුතු කරන නිසා රට මේ තරමින් හෝ පවත්වාගෙන යාමට රජයට හැකියාව ලැබී ඇත. මෙම ජාතීන් විසින් රටේ ඇතැම් අංශ සඳහා වෙළඳ ගිවිසුම් මගින් මූල්‍ය හා දේශපාලන ආධාර සපයමින් ඇත.
මේ වන විට ධවල මන්දිරයට තේරී පත්ව සිටින අලුත් නායකයා කියුබාව කෙරෙහි මින් පෙර අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් දෙස බැලීමේදී, ඉදිරි කාලය තුළ කියුබානුවන්ගේ ජීවිත දැනටත් වඩා සංකීර්ණ විය හැකි බවට බොහෝ දෙනා අනාවැකි පළ කරමින් සිටී. ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ රාජ්‍ය ලේකම් ලෙස Marco Rubio තෝරා ගැනීමත් සමග මෙය වඩාත් තහවුරු වී ඇත. දැනට ෆ්ලොරිඩාවේ සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කරන මාර්කෝ රුබියෝ හවානාහි කොමියුනිස්ට් රජයට දිගු කලක සිට විරුද්ධව කටයුතු කරන කියුබානු ඇමරිකානුවෙකි. ෆිදෙල් කැස්ත්‍රෝ කියුබානු බලය අල්ලා ගැනීමට වසර 3 කට පෙර එනම් 1956 දී ඔහුගේ දෙමාපියන් කියුබාවෙන් එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත.
මේ තත්ත්වය පිළිබඳ කියුබාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ Jesús Arboleya අදහස් දක්වමින් මෙසේ පවසයි. “අවාසනාවකට මෙන්, කියුබානු-එක්සත් ජනපද සබඳතාවල අනාගතය ශුභවාදී වීමේ අවස්ථාවක් සැලසෙන කිසිම දෙයක් මේ ක්ෂිතිජය තුළ මා නොදකිමි. මෙය බොහෝ විට කියුබානු විප්ලවයේදීවත් නැති තරම් දුෂ්කරම මොහොත විය හැකියි”
2015 දී නිල වශයෙන් නැවත විවෘත කරන ලද හවානාහි එක්සත් ජනපද තානාපති කාර්යාලයද ට්‍රම්ප්ගේ පැමිණීමත් සමග වසා දැමීමට හැකි බව කියුබානුවන් පවසන්නේ දැඩි කණස්සල්ලෙනි.
කියුබානු සංචාරක කර්මාන්තය
කිලෝ මීටර 400 කට වැඩි සුපිරිසිදු වෙරළ තීරයක් කියුබාව සතුව පවතී. Varadero හි සුදෝසුදු වැලි සහිත වෙරළත්, Playa Pilar හි කොරල් පරත් Playa Paraiso හි අතිශයින් සුසිනිඳු වැල්ලත් එරට සංචාරකයින්ට පාරාදීසයක් මවනු ලබයි. එසේම, කියුබාව වෙනත් කැරීබියන් රටකට වඩා යුනෙස්කෝ ලෝක උරුමවලට හිමිකම් කියන අතර එහි ලෝක උරුම ස්ථාන 9 ක් පවතී. පැරණි හවානාව එසේ නම් කර ඇති එක් ස්ථානයකි. එහි ගල් ඇතිරූ අලංකාර වීදිවල ඇවිද යමින්, හිරු බැස යන විට classic ඇමරිකානු මෝටර් රථයක නැගී හවානා වෙරළ තීරය දිගේ දිව යන Malecón වීදිය ඔස්සේ නගර සංචාරයක් කිරීමට බොහෝ සංචාරකයෝ ඇළුම් කරති. එසේම Santiago de Cuba හි El Morro බලකොටුවද ලෝක සංස්කෘතික උරුම ලැයිස්තුවට අයත් වන්නකි. මෙය 1589 සහ 1630 අතර කාලයේදී හවානා වරාය මුහුදු කොල්ලකරුවන්ගෙන් සහ ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරකන ලද්දකි. අත්ලාන්තික් සාගරයට ඉහළින් El Morro නම් පාෂාණමය කඳු මුදුනක මෙය පිහිටා ඇත. එසේම Trinidad හි යටත් විජිත චත්‍රරශ්‍රය තවත් එක් යුනෙස්කෝ ලෝක උරුමයකි. (මෙහි ටි්රනිඩෑඩ් යනු කියුබාවේ නගරයකි. එය බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල රටක් වූ ටි්රනිඩෑඩ් ලෙස නොගන්න) මෙම නගරය කැරීබියන් වෙරළ තීරයේ Escambray කඳු අසළ පිහිටා ඇත. අතීතයේ නීති විරෝධී වහල් වෙළඳපොළෙහි වැදගත් ස්ථානයක් ලෙස පැවති මෙය සීනි කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයකි. 19 වන සියවස වන විට කියුබාවේ සීනිවලින් තුනෙන් එකක් ටි්රනිඩෑඩ්වල නිෂ්පාදනය කොට තිබුණි.
වර්තමානයේ කියුබාව තුළ පවතින අර්බුද හමුවේ වුවද කියුබාව අද්විතීය සංචාරක අත්දැකීම් ලබා දෙන ස්ථානයක් ලෙස බොහෝ දෙනා පිළිගනිති. සෑම කියුබානුවෙක්ම පාහේ දස්කම් දක්වන ලතින් ඇමරිකානු, ස්පාඤ්ඤ සාම්ප්‍රදායික නැටුම්, කියුබන් සුරුට්ටු, කියුබානු රම්, මොජිටෝ සහ කෝපි, කියුබානුවන් වෙතින් නිතර පළවෙන “Hola” ළයාන්විත සුබ පැතුම, ක්ලැසික් කාර් වැනි දේ සංචාරකයින්ට නැවත නැවතත් එරටට ගෙන ඒමට පෙළඹවීමක් ඇති කරයි. ඇතැම් සංචාරකයින් එවැනි දේවලට ඇළුම් කරද්දී ඇතැම්හු දිවයිනේ ඉතිහාසය, සංස්කෘතිය හා සංගීතය විඳ ගැනීමට රට පුරා සංචාරය කිරීමට කැමැත්තක් දක්වති. සෙසු කැරීබියානු රටවලට වඩා ආරක්ෂාව අතින් සහතිකයක් දීමට හැකි නිසා සංචාරකයින්ට නිදහසේ එරට තුළ ගමන් ගත හැක. බහුතර කියුබානුවන් තුළ ඇති අතිශය ලෙන්ගතු බව සංචාරකයින්ට ගරු කිරීම එහි යන ඕනෑම අයෙකුට දැකිය හැකි ප්‍රධානම කරුණකි.
උතුරු ඇමරිකාවට ශීත ඍතුව උදා වී ඇති මෙම කාලය කැරීබියානු දූපත්වල සංචාරක කර්මාන්තය ඉහළටම එසවෙන කාලයයි. කැනේඩියානුවන් ඔවුන්ගේ නිවර්තන කලාපීය සංචාරක ගමනාන්තය ලෙස බොහෝ විට කියුබාව තෝරා ගැනීමට කැමැත්තක් දක්වති. පසුගිය වසරේ මිලියනයකට ආසන්න කැනේඩියානුවන් කියුබාවට ගොස් ඇතැයි සංඛ්‍යාලේඛන සඳහන් කරයි.
නමුත් එරට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය නිසා මේ වන විට කැනඩාවේ Sunwing Vacations Group වැනි සංචාරක නියෝජිතයෝ තමන්ගේ සේවාවන් කියුබාවට ලබා දීම පිළිබඳව දෙගිඩියාවෙන් පසුවෙති. Sunwing තවමත් කියුබාව වෙත ගුවන් ගමන් පිරිනමනු ලැබූවත් ගුණාත්මක සේවාවක් තම පාරිභෝගිකයින් වෙත පිරි නැමීමේ අපහසුතාව ඉස්මතු කරමින් හෝටල් සහ නිවාඩු නිකේතන 26 ක් ඔවුන්ගේ සේවාවෙන් ඉවත් කොට ඇත. මේ වන විට කියුබානු දිවයිනේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරීත්වය සංචාරක ව්‍යාපාරය මත රඳා පවතින නිසා එය කඩා වැටුණහොත් සංචාරක කර්මාන්තය නිසා දිවි රැක ගන්නා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉතාමත් දුඃඛිත අනාථභාවයට පත් වේ.
කියුබානු සෞඛ්‍ය සේවා පද්ධතිය
වසර ගණනාවක් පුරා කියුබාව පැසසුමට ලක් වූ එක් දෙයක් තිබේ නම්, ඒ කියුබන් කොමියුනිස්ට් ආණ්ඩුවේ රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතියයි. කියුබාවේ සෞඛ්‍ය ආරක්ෂණය රටෙහි ව්‍යවස්ථාපිත අයිතිවාසිකමක් වන අතර සියලුම පුරවැසියන්ට සෞඛ්‍ය සේවාව නොමිලේ සපයනු ලැබේ. දශක ගණනාවක් තිස්සේ පනවා ඇති සම්බාධක හේතුවෙන් ලෝකයේ බොහෝ ප්රදේශවලික් කපා හැර ඇති දූපතක් වුවද, මීට වසර ගණනාවකට පෙර විශාල වෛද්‍ය ප්‍රගතියකට හිමිකම් කියූ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නැගීමට කියුබාව සමත් වී තිබුණි. රටේ සීමිත සම්පත් තිබියදීත් සංවර්ධිත රටවල් කිහිපයක් ඇතුළු බොහෝ රටවලට ඊර්ෂ්‍යා කළ හැකි සෞඛ්‍ය සේවාවක් එරට තිබුණි. එකල වයස අවුරුදු 2 දක්වා වූ දරුවන් අතරින් සියයට 98 ක් ප්‍රතිශක්තිකරණයට ලක් වී තිබුණු අතර රෝග 13 කට එරෙහිව එම එන්නත් ලබා දී තිබුණි. 2012 දී ලොව අඩුම ළදරු මරණ අනුපාතික සහිත රට ලෙසද කියුබාව නම් වී තිබුණි. එහිදී උපත් 1000 කට 5 ක් ලෙස එය සටහන්ව තිබුණු අතර එක්සත් ජනපදයේ උපත් 1000 කට 5.82 ක් ලෙස එය සටහන් විය. එසේම මවගෙන් දරුවාට HIV සම්ප්‍රේශණය තුරන් කළ පළමු රට ලෙස 2015 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන තිබුණේද කියුබාවයි. ඒ පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසා තිබුණේ, වෛරසයක් සම්ප්‍රේෂණය වීම තුරන් කිරීම මහජන සෞඛ්‍යයට ලබාගත හැකි විශාලතම ජයග්‍රහණයක් බවයි.
නයි-මුගටි වෛරයක සිටින එක්සත් ජනපදය හා කියුබාව අතර යම් මට්ටමකින් හෝ සබඳතා ඇති වීමට කියුබාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රගතියද හේතුවක් විය. 2015දී නිව්යෝර්ක්, බෆලෝහි Roswell Park Cancer Institute වෙත ගෙන ඒමට කටයුතු කළ Cimavax නම් නව්‍ය පෙනහළු පිළිකා එන්නත කියුබාවේ අණුක ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානය විසින් වැඩි දියුණු කරන ලද්දකි. එය දැනට එක්සත් ජනපදයේ FDA විසින් පෙනහළු පිළිකා සඳහා අනුමත කර ඇත. මෙම ඖෂධය කියුබාවේදී හතරවෙනි කාණ්ඩයේ පිළිකා රෝගීන් 405ක් යොදාගනිමින් පරීක්ෂාවට ලක්කොට ඇත. කියුබාවේ බොහෝ කලකට පෙර සෑම පුරවැසියන් 170 කටම එක් වෛiවරයෙකු සිටි අතර එය ලෝකයේ ඉහළම රෝගීන්-වෛද්‍ය අනුපාතය විය.
කියුබාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ අතීත සෞභාග්‍ය පෙන්විය හැකි මෙම සිදුවීම බලන්න. 1986 දී රුසියාවේ චර්නෝබිල් න්‍යෂ්ටික ව්‍යසනය අවස්ථාවේදී විපතට පත් ළමුන් සිය ගණනක් සෝවියට් රුසියාව යටතේ ප්‍රතිකාර ලබමින් පසු වූවත් සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග ඔවුන් නිසි ප්‍රතිකාර නොමැතිව අසරණ විය. එහිදී ඔවුන් ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වී ඇත්තේ හිටපු කියුබානු ජනාධිපති ෆිදෙල් කැස්ත්රෝයි. කැස්ත්‍රෝගේ ආරාධනයෙන් එම දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට කියුබාවේ හවානා අසල සුන්දර මුහුදු තීරයක් වූ Tarara හි වාසස්ථාන ඉදිකොට එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහලක්ද ඉදිකර ඇත. මේ බොහෝ දෙනෙකු අදටත් එහි රැඳී සිටිති. කියුබාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ දියුණුව එසේ වුවත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගත් කළ වෛද්‍යවරුන් සඳහා ඉතාමත් අඩු වැටුප් ගෙවන රටක් ලෙස කියුබාව හැඳින්විය හැක. සාමාන්‍යයෙන් එරට වෛද්‍යවරයෙකුගේ මාසික වැටුප එක්සත් ජනපද ඩොලර් 30-50 ත් අතර වේ.අතීතයේ එසේ තිබූ කියුබාවේ වර්තමාන සෞඛ්‍ය පද්ධතිය පිළිබඳව සතුටු විය නොහැකි බව එරට සෞඛ්‍ය අමාත්‍ය Jose Angel Portal Miranda ද පිළිගෙන ඇත. 2024 වසර ආරම්භයේදීම එම ක්ෂේත්රයේ පවතින පද්ධතිමය අර්බුදය ප්‍රසිද්ධියේ පිළිගත් ඔහු, රට තුළ සෞඛ්‍ය සේවාව නගා සිටුවීමට කටයුතු කළයුතු බව රජයට පෙන්වා දී තිබුණි.
විශේෂයෙන්ම කියුබානු සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවකයින් බොහෝ දෙනෙකු විදේශයන් වෙත සංක්‍රමණය වීමත් වෛද්‍ය වෘත්තියෙන් සමුගෙන සංචාරක ක්ෂේත්රය වැනි අංශ වෙත යොමුවීමත් නිසා රට තුළ සෞඛ්‍ය සේවක හිඟයක් පවතී. අඩු වැටුප්, මූලික සැපයුම් හිඟය ආදිය බොහෝ විට මෙම ශ්‍රම ගලණය සඳහා ඍජුවම බලපා ඇත. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියකු වූ Lisset Castaigne මෙසේ සෞඛ්‍ය සේවයට වඩා වෙනස් ක්ෂේත්රයක රැකියාවක් සොයා ගිය වෘත්තිකයෙකුට උදාහරණයකි. ඇය පවසන්නේ, ‘ළමයෙකුගේ සිනහවට මම කැමති වුවත් මගේ වැටුප, මගේ ආහාර හෝ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන නිසා සෞඛ්‍ය ක්ෂේත්රයේ හාස්කම් නොකර මගේ ජීවිත පැවැත්මට මෙතනින් නික්ම යමි’ යනුවෙනි.රටේ සෞඛ්‍ය සේවා ඒකක තුළ අකාර්යක්ෂම විදුලි සහ වායු සමීකරණ පද්ධති, කෘමීන් ගහණය අධික වීම, පානීය ජල හිඟය, රෝහල් වාට්ටු තුළ අධික රෝගීන්, ගිලන් රථ හිඟය ආදි දහසකුත් එකක් අඩුපාඩු පවතී. කියුබාවේ මෙම තත්ත්වයට එක්සත් ජනපදය ඍජුවම වගකිව යුතු බව පිළිගත යුතුව ඇත. උදාහරණයක් ලෙස, හෘද රෝග සහිත කියුබානුවන්ට ජීවිතාරක්ෂක pacemakers සවිකර ගැනීම සඳහා වසර තුනක් පමණ පොරොත්තු ලේඛනවල සිරවී සිටීමට සිදුව ඇත්තේ එක්සත් ජනපද සම්බාධක මගින් ගෝලීය වෙළඳපොළේ ඇති මෙම උපාංග මිල දී ගැනීම වළකා ඇති හෙයිනි. වොෂින්ටනය විසින් State Sponsors of Terrorism ලැයිස්තුවට කියුබාවද ඇතුළත් කිරීම තුළින් හවානාවට ජාත්‍යන්තර බැංකු පද්ධතියට ප්‍රවේශ වීම අවහිර කර ඇත. මෙම සම්බාධක කියුබාවට ගෝලීය සැපයුම්කරුවන් වෙත ළඟා වීම සීමා කර සිටී.කියුබානු රජය වෙත පැරණි සෝවියට් සංගමයෙන් නොමසුරුව ආධාර ලැබුණු කාලයේදී සෞඛ්‍ය පද්ධතිය අඩු වැඩි වශයෙන් නමුත් හොඳින් ක්‍රියාත්මක විය. රෝහල් පිරිසිදුව තිබුණු අතර නවීන උපකරණ නොතිබුණද මිනිසුන්ට තිබූ යන්ත්‍ර මත විශ්වාසය තැබිය හැකි ලෙස ඒවා නඩත්තු වී තිබුණි.රට තුළ වෛද්‍ය ප්‍රතිකාර නොමිලයේ පැවතියද බොහෝ රෝගීන් පෝලිම්වල පසුවෙමින් වෛද්‍යවරුන්ට, හෙදියන්ට තෑගි, සන්තෝසම් පිරිනමමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබේ. රජයේ ඉහළ නිලධාරි මට්ටමේ පිරිසට සහ කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන්ට ප්‍රභූ සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය ඇති බව බොහෝ කියුබානුවන් නගන මැසිවිල්ලකි. සාමාන්‍ය ජනතාව පෝලිම්වල සිටියදී ප්රභූවන් පෝලිම් පැන ගොස් තම කටයුතු සිදුකර ගනී.පද්ධතිය නොමිලේ වුවත් එහි සේවය වේගවත් හෝ කාර්යක්ෂම නොවේ නම් එයින් ඇති පළක් ඇත්දැයි බොහෝ දෙනා පවසති. මේ සියල්ලට බලපාන ප්‍රධානම හේතුව මූල්‍ය සම්පත් හිඟකමයි. හවානා මහ බැංකුව වෙත ඇති දෘඪ මුදල් හිඟය පිරිමසා මුදල් හුවමාරු කර ගැනීම සඳහා වෛiවරුන්, දන්ත වෛiවරුන් සහ හෙදියන් ‘අපනයනය’ කිරීමේ ක්රමයක්ද එරට තුළ පවතී. මෙහිදී වැඩිපුරම කියුබානු වෛද්‍යවරුන් සේවා සපයන රට ලෙස සැලකෙන්නේ වෙනිසියුලාවයි. මේ වන විට වෛiවරු දහස් ගණනක් එහි සේවය කරති. ඔවුන්ගේ සේවා කාලය අවම වශයෙන් වසර දෙකක් පවතින අතර මසකට ආසන්න වශයෙන් වැටුප් ලෙස එක්සත් ජනපද ඩොලර් 50 ක් සහ වියදම් ගෙවනු ලැබේ. වෙනිසියුලාවේ ජනාධිපති Hugo Chavez මේ සඳහා විනිමය ලෙස කියුබාවට පෙට්‍රල් යවන අතර එයින් කොටසක් දෘඪ මුදල් ලෙස විකුණා ඒ ඒ අවස්ථාවේ ප්රමුඛ දේවල් මිල දී ගනී.