ටෲඩෝ රජයේ මුදල් අමාත්‍යවරිය ලෙස කටයුතු කළ Chrystia Freeland, ගේ විශ්මිත ඉල්ලා අස්වීමත් සමග, ආණ්ඩුව තුළ පවතින කැළඹිලි සහගත තත්ත්වය වඩාත් උත්සන්න වී ඇත. දෙසැම්බර් 16 වැනි දින අගමැති ජස්ටින් ටෲඩෝ වෙත ලිපියක් යොමු කරමින් ෆ්‍රීලන්ඩ් සඳහන් කර තිබුණේ, කැනඩාවට සහ කැනේඩියානුවන් වෙනුවෙන් රජයේ සේවය කිරීමට ලැබීම ඇයට මහත් ගෞරවයක් වූ බවයි. තවදුරටත් මුදල් අමාත්‍යවරිය ලෙස ඇයගේ සේවය අනවශ්‍ය බව ජස්ටින් ටෲඩෝ තමා වෙත දැනුම් දුන් බවත් ඒ වෙනුවට වෙනත් කැබිනට් මණ්ඩල තනතුරක් ලබාදුන් බවත් ඇය එම ලිපියෙහි සඳහන් කොට තිබුණි. නමුත් එහිදී, ‘අවංක සහ ශක්‍ය මාවත’ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම යැයි තමා නිගමනය කළ බව ඇය එම ලිපියෙහි සඳහන් කරයි. රාජකාරිය ඵලදායී වීමට නම් අමාත්‍යවරයකු, අගමැතිවරයා වෙනුවෙන් මෙන්ම ඔහුගේ පූර්ණ විශ්වාසය සඳහාත් කටයුතු කළ යුතුව ඇතත් ටෲඩෝ ගන්නා ඇතැම් තීරණ හරහා තවදුරටත් එම විශ්වාසය විශ්වසනීය ලෙස රැක ගැනීමට නොහැකි බව ෆ්‍රීලන්ඩ් වැඩිදුරටත් එහි සඳහන් කොට ඇත. ‘පසුගිය සති ගණන පුරා අපි කැනඩාව සඳහා සුදුසු ඉදිරි මාවතක් සෑදීමේ තීරණවලදී පරස්පර විරෝධීව සිටියෙමු’ යි ඇය එහි තවත් තැනක ටෲඩෝ වෙත පෙන්වා දී ඇත. එම ලිපිය අවසන් කරමින් ඇය පවසා තිබුණේ, ‘ලිබරල් මන්ත්‍රීවරයෙකු ලෙස මගේ සගයන් සමග දිගටම වැඩ කිරීමට බලාපොරොත්තු වන අතර මීළඟ ෆෙඩරල් මැතිවරණයේදී ටොරොන්ටෝ ආසනය සඳහා නැවත තරග කිරීමට කැපවී සිටිමි.’ යනුවෙනි.
ඇය එම සම්පූර්ණ ලිපිය ඇගේ X ගිණුම ඇතුළු සියලු ප්‍රසිද්ධ මාධ්‍යවලට ඉදිරිපත් කොට තිබුණු අතර, House of Commons හි 2024 Fall කාර්තුව සඳහා වන ආර්ථික ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට පැය කිහිපයකට පෙර ඇය ඉල්ලා අස්වීමේ පියවර ගෙන තිබුණි. ඇයගේ ඉල්ලා අස්වීම පිළිබඳව අදහස් දක්වන දේශපාලන විශාරදයින් පවසන්නේ, කැනේඩියානු ප්‍රමිතීන්ට අනුව ෆ්‍රීලන්ඩ් ආණ්ඩුවේ ඇමති තනතුරෙන් අයින් වීම සුළුපටු දෙයක් නොවන බවයි.
2020 පටන් ටෲඩෝ රජයේ බලවත්ම සහ විශ්වාසවන්තම ආමත්‍යවරිය සහ උප අගමැතිනිය වූයේ ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ්ය. එම නිසා ඇය කැබිනෙට්ටුවට අහිමි වීම බොහෝ දෙනා සලකන්නේ ටෲඩෝ ප්‍රමුඛ රජයට එල්ල කළ ප්‍රබල පහරක් බවයි.
පසුගිය කාලය පුරා තමා හා අගමැතිවරයා නොයෙක් හැළ හැප්පීම් මැද කටයුතු කළ බව ෆ්‍රීලන්ඩ් අනාවරණය කර ඇති අතර ටෲඩෝ සහ ඔහුගේ අභ්‍යන්තර කවය අතර පවතින වියදම් සහ හිටපු මහ බැංකු කරුවෙකු වන Mark Carney නැවත සම්බන්ධ කර ගැනීමේ උත්සාහයන් එම ආතතීන් තවත් වැඩි කළ බවත් ඇය පෙන්වා දේ.
ටෲඩෝගේ ලිබරල් ආණ්ඩුව 2025 මැතිවරණය නැවත දිනා ගැනීමේ උත්සාහයක් ලෙස ලබා දෙන මාස දෙකක HST සහනය සහ ඩොලර් 150,000 ක් හෝ ඊට අඩු ආදායමක් ලබන ජනතාවට දීමට පොරොන්දු වී ඇති ඩොලර් 250 ගැන ෆ්‍රීලන්ඩ් පවසන්නේ ඒවා ‘මිල අධික දේශපාලන’ උපක්‍රම බවයි. මේ වන විට කැනඩාව ට්‍රම්ප්ගේ සියයට 25 තීරුබදු පැනවීම සමගද අරගල කරමින් පසුවන නිසා මෙවැනි දැරිය නොහැකි මිල අධික කටයුතු මගහැරීම ජනතාව වෙනුවෙන් කළ හැකි යහපතක් බව ඇය පවසා සිටී.
ෆ්‍රීලන්ඩ්ගේ ඉල්ලා අස්වීමේ නිවේදනයෙන් පැය කිහිපයක් ඇතුළත මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ Dominic LeBlanc මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබුණි. අගමැතිවරයාගේ කුඩා කල සිටම කිට්ටු මිත්‍රත්වයක් පවතින LeBlanc ඔහුගේ වඩාත්ම විශ්වාසවන්ත සගයෙකුද වේ.
කෙසේ වෙතත් ෆ්‍රීලන්ඩ් ඉල්ලා අස්වීමෙන් පසුදින ් House of Commons ඉදිරි වසර සඳහා කල් තබමින් වාර්ෂික උත්සව නිවාඩුව ඇරඹුණු අතර ඒ සඳහා සාම්ප්‍රදායිකව පැවැත්වෙන සාදයට හිටපු මුදල් ඇමතිනී ෆ්‍රීලන්ඩ්ද සහභාගි වී තිබුණි. ලිබරල් රතු ඇඳුමින් සැරසුණු ඇය, සැමියා සහ පුතා සමග ඇගේ හිටපු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ හිටපු විශාල පිරිසක් හා එක්ව එම උත්සව ශාලාවේ ඇවිද ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කොට තිබුණි. එම උත්සවයේදී, ටෲඩෝ විනාඩි 15 ක පමණ කතාවක් පවත්වා තිබූ අතර එහිදී ඔහු පවසා ඇත්තේ ‘අපි ලිබරල්වරුන්, එක පවුලක්. පවුල් සාමාජිකයින් අතර සිටින විට සතුට නොමැතිව සිටීමක් ගැන සීතීමත් අයහපත්. සැබවින්ම අපි විශාල පවුලක්. අනෙක් බොහෝ පවුල් මෙන් අපි රණ්ඩු දබර ඇති කර ගන්නෙමු. නමුත් ඇත්තවශයෙන්ම බොහෝ පවුල් මෙන් අපි ඒවා තුළින් ඉදිරියට යන්නෙමු’ යනුවෙනි.
ෆ්‍රීලන්ඩ්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය අන්තර්ජාලය තුළ ප්‍රදර්ශනය වීමත් සමග ඇතැම් අය එයට ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ, ඇයගේ ඉල්ලා අස්වීම ලිබරල් නායකත්වය සඳහා ඇය තැබූ ආරම්භක වෙඩි මුරය විය හැකි බවයි.
ටෲඩෝගේ දේශපාලන අනාගතය
ෆ්‍රීලන්ඩ්ගේ ඉල්ලා අස්වීමත් සමග වර්තමානයේ කැනඩාවේ ජනප්‍රිය දේශපාලනඥයෙකු ලෙස නොසැලකෙන ටෲඩෝගේ දේශපාලන ජීවිතය තව කොපමණ කාලයක් පවතීද යන සැකය බොහෝ දෙනා මතුකරයි. පසුගියදා නිකුත් කර තිබූ Ipsos මත විමසුම, ටෲඩෝගේ ජනප්‍රියත්වය විශාල ලෙස පහත වැටී ඇති බව පෙන්වා දේ. සමස්තයක් ලෙස ගත් විට සියයට 23 ක පමණ පිරිසක් ඔහු නැවත පත්විය යුතු යැයි සිතන අතර සියයට 77 ක් පමණ පවසන්නේ දේශපාලනයෙන් සමුගැනීමට ඔහුට කාලය පැමිණ ඇති බවයි. එසේම ලිබරල් පක්ෂයේ ජනප්‍රියත්වයද ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව සමීක්ෂණ පෙන්වා දේ.
16 වෙනිදා ෆ්‍රීලන්ඩ්ගේ ඉල්ලා අස්වීමෙන් පසු එදිනම සවස කඩිමුඩියේ රැස් වූ කාරක සභා රැස්වීමේදී ටෲඩෝට මන්ත්‍රීවරුන් වෙත පැමිණීමට සිදුවූ අතර එම රැස්වීමේ කතා කළ මන්ත්‍රීවරුන් 15 දෙනාගෙන් බොහෝ අය පවසා ඇත්තේ, ෆ්‍රීලන්ඩ් සමග සිදුකළ රාජ්‍ය කටයුතු වැරදි ලෙස කළමනාකරණය කිරීම නිසා ඇය මෙම පියවර ගත් බව එයට ටෲඩෝ වගකිව යුතු බවත්ය. ඒ නිසා ඔහුද ඉල්ලා අස්විය යුතු බව ඔවුන්ගේ අදහස විය. ඊට අමතරව කාරක සභාවේ සිටි තවත් මන්ත්‍රීවරුන් ගණනාවක් ප්‍රසිද්ධියේ ඔහුගෙන් ඉල්ලා සිට ඇත්තේ ඉදිරි මැතිවරණයේදී ලිබරල් නායකත්වයට වෙනත් කෙනෙකුට පැමිණීමට ඉඩ දී පසෙකට වන ලෙසයි. මීට මාස කීපයකට පෙරද පසුපස මන්ත්‍රී කණ්ඩායමක් ටෲඩෝ වෙත
මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව බලන විට ඔහුව පක්ෂය තුළින් දිගින් දිගටම ප්‍රතික්ෂේප වෙමින් ඇත.
මේ තත්ත්වය තුළ ඉදිරි කාලයේදී ලිබරල් නායකත්වයෙන් ටෲඩෝ ඉවත් වීමට සූදානම් බව තීරණය කළහොත් ලිබරල් පක්ෂයට නව නායකයෙකු තෝරා ගැනීමට සිදුවනු ඇත. ලිබරල් පක්ෂය නව නායකත්ව තරගයක් පවත්වන අතරතුර පාර්ලිමේන්තුව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා හැක. නමුත් ලිබරල් පක්ෂයට පොදු මන්ත්‍රී මණ්ඩලයේ බහුතර ආසන සංඛ්‍යාවක් නොමැති බැවින්, නව නායකයෙකු තෝරා ගැනීමට පෙර විශ්වාසභංගයකින් රජය පෙරලීමේ අවදානමක්ද මේ වෙලාවේ ආණ්ඩුවට පවතී.
නමුත් මේ කුමන කලබගෑනි මැද වුවත් ටෲඩෝ තවදුරටත් අගමැති ලෙස රැඳී සිටිමින් එම ධුරයේ කටයුතු කරයි. එහිදී ඔහුට, කලකිරුණු ලිබරල් මන්ත්‍රී කණ්ඩායමක් සමග කටයුතු කිරීමටත් 2025 මැතිවරණයෙන් ඔහුව පරාජය කිරීම සඳහා මූලික විය හැකි මන්ත්‍රී මණ්ඩලයක් කළමනාකරණය කිරීමටත් සිදුවනු ඇත.
කෙසේ වෙතත්, ටෲඩෝට අගමැති ලෙස දිගටම සිටීමට අවශ්‍ය නම් ඔහු හැකි ඉක්මනින් ඔහුගේ කැබිනට් මණ්ඩලය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි. ඒ අනුව දෙසැම්බර් 20 වන දින ටෲඩෝ අගමැතිවරයා තම කැබිනට් මණ්ඩලයෙහි විශාල සංශෝධනයක් සිදුකරනු ලැබුණි. එහිදී හිටපු කැබිනට් සාමාජිකයින් හතර දෙනෙකුට නව අමාත්‍යාංශ ලබා දීමත් නව ලිබරල් මන්ත්‍රීවරු 8 දෙනෙකුට ඇමතිධූර ලබාදීමත් සිදුවිය.
ඔන්ටේරියෝ මන්ත්‍රී Nathaniel Erskine-Smith කැනඩාවේ මීළඟ නිවාස යටිතල පහසුකම් සහ ප්‍රජා අමාත්‍යවරයා බවට පත් වන්නේ නැවත තරග නොකරන බව ප්‍රකාශ Sean Fraser වෙනුවටයි. ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ්ගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ රටේ ඉහළම ආර්ථික තනතුරට පත් වූ මුදල් හා අන්තර් රාජ්‍ය කටයුතු ඇමති Dominic LeBlanc වෙත තිබූ මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයෙහි, ඔටාවාහි මන්ත්‍රීවරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජාතික ආරක්ෂක සහ බුද්ධි කමිටුවේ වත්මන් සභාපතිවරයා වන David McGuinty දිවුරුම් දෙන ලදී. McGuinty හිටපු ඔන්ටේරියෝ ප්‍රිමියර් Dalton McGuinty ගේ සහෝදරයාය. එසේම ප්‍රවාහන අමාත්‍යවරිය සහ භාණ්ඩාගාර මණ්ඩල සභාපති ලෙස කටයුතු කරන Anita Anand අභ්‍යන්තර වෙළද කටයුතු ඇමති ලෙසද දිවුරුම් දෙන ලදී. Anita Anand දැරූ භාණ්ඩාගාර මණ්ඩල සභාපති තනතුර Ginette Petitpas Taylo හිමි විය. Marie-Claude Bibeau නැවත තරග නොකිරීමට තීරණය කර ඇති නිසා ඇය වෙත තිබූ ජාතික ආදායම් ඇමති ධූරයෙහි Élisabeth Brière දිවුරුම් දී ඇත. Carla Qualtrough වෙනුවට Terry Duiguid ක්‍රීඩා ඇමති වරයා ලෙස දිවුරුම් දී ඇත.
දැනට Crown-Indigenous relations and northern affairs ඇමති ලෙස කටයුතු කරන Gary Anandasangaree ද නව වගකීමක දිවුරුම් දී ඇති අතර එහිදී ඔහු, minister responsible for the Canadian northern economic development agency අමාත්‍යවරයාගේ අතිරේක භූමිකාව නියෝජනය කරනු ඇත.
කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන Steven MacKinno විසින් Minister of employment, workforce development and official languages of Canada ඇමතිවරයා ලෙස දිවුරුම් දී ඇති අතර එය පසුගිය මාසයේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වූ Randy Boissonnault ගේ තනතුර විය. ඒ සමග එදින තවත් ඇමතිවරු කිහිපදෙනෙකු දිවුරුම් දී තිබුණි.
ටෲඩෝ වෙත පක්ෂය තුළින් මෙන්ම විපක්ෂ සාමාජිකයන්ගෙන්ද එල්ලවන දැඩි පීඩනය අතරතුර මෙම කැබිනට් සංශෝධනය සිදුවිය.
මේ වන විට ටෲඩෝ රජයට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමේ කතාබහක්ද සිදුවෙමින් පවතින අතර දෙසැම්බර් 20 වනදා NDP පක්ෂ නායකයා මේ බව ප්‍රසිද්ධියේ පවසා තිබුණි. ඔහු පවසන්නේ, මීළඟ පොදු මහජන මණ්ඩල රැස්වීමේදී ලිබරල් රජය බිඳ දැමිය හැකි ‘පැහැදිලි විශ්වාසභංග යෝජනාවක්’ තම පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. ලිබරල්වාදීන්ට තවත් අවස්ථාවක් ලැබිය යුතු නැති බව ඔහුගේ අදහසයි. කැනේඩියානුවන් වෙනුවෙන් වැඩ කරන රජයකට ඡන්දයක් ලබා දීමට ජනතාවට ඉක්මනින් අවස්ථාව ලබාදීමට සඳහා මෙම විශ්වාසභංගය ගෙන ආ යුතු බව ඔහුගේ අදහසයි. කැනඩාව වෙනුවෙන් කටයුතු කිරීමේදී ටෲඩෝගේ නොහැකියාව පෙන්වමින් Jagmeet Singh ප්‍රසිද්ධ ලිපියක් සමාජ මාධ්‍ය ඇතුළු සියලුම මාධ්‍ය වෙත පසුගිය දා මුදා හැර තිබුණි. සෞඛ්‍ය සේවා නිවැරදි කිරීමට නොහැකි වීමත්, දැරිය හැකි මිල ගණන්වල නිවාස නොමැති වීම හා ජනතාව වෙත දැරිය නොහැකි තරම් බිල්පත් පැටවීමත් වැනි කරුණු ඔහු එහි ඉදිරිපත් කොට තිබුණි.
මේ අතර, හැකි ඉක්මනින් ෆෙඩරල් මැතිවරණයක් අවශ්‍ය බව කැනඩාවේ කොන්සර්වේටිව් පක්ෂයේ නායක Pierre Poilievre ද පෙන්වා දේ. “සියල්ල පාලනයෙන් මිදී ඇත. මේ ආකාරය අපට ඉදිරියට යා නොහැක” යැයි පැවසූ ඔහු, ෆ්‍රීලන්ඩ්ගේ අස්වීම ඉතාමත් නරකම අවස්ථාවක සිදුවී ඇති බව පවසා සිටී.
කෙසේ වෙතත් විශ්වාසභංගයක් ගෙන ආවොත් මේ වන විට සුළුතර ආණ්ඩුවක් ලෙස සිටින ලිබරලුන්ට එයින් ගැලවීම තරමක් අපහසු විය හැකි බව බොහෝ දෙනා පවසති. සභාවේ විශ්වාසය තබා ගැනීමට සහ දැනට නීතිගත කර ඇති මීළඟ මැතිවරණ දිනය වන 2025 ඔක්තෝබර් 20 ට පෙර හදිසි මැතිවරණයක් වැළැක්වීමට නම්, ඔවුන් සමග ඡන්දය දීමට අවම වශයෙන් එක් විරුද්ධ පක්ෂයක් හෝ සිටීම අවශ්‍ය වේ. පසුගිය කාලයේදී කොන්සර්වේටිව් වරුන් විසින් ගෙන ආ විශ්වාසභංගයේදී ඊට පක්ෂව බහුවිධ ඡන්ද ලැබී තිබුණත් එහිදී NDP පක්ෂය ලිබරල් සමග සිට ගනිමින් ඔවුන් වෙනුවෙන් ඡන්දය දුන් බැවින් ඒ සෑම එකක්ම අසාර්ථක විය.
කෙසේ වෙතත් නැවත House of Commons රැස්වීම 2025 ජනවාරි 27 වන දින සිදුවන නිසා අවම වශයෙන් එම දිනය වනතුරු විශ්වාසභංගයක් ගෙන ඒමට NDP පක්ෂයට නොහැකි වනු ඇත.