එළඹෙන සැප්තැම්බරයේ ආරම්භ වන 2021-22 සම්පූර්ණ පාසල් වාරයම online ආකාරයට තෝරාගැනීමේ පහසුව සිසුන්ට සැලසීමට ඔන්ටේරියෝ රජය තීරණය කොට ඇත. මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබන මස වන විට ලබා දීමට රජය අදහස් කරයි.

ඔන්ටේරියෝවේ පාසල් පද්ධතිය තුළ කොවිඩ්-19 වසංගතය ආශ්‍රිතව පවතින අඛණ්ඩ වියදම් පියවා ගැනීමට පාසල් මණ්ඩල වෙනුවෙන් ලබන වසරේදී ඩොලර් මිලියන 561 ක මුදලක් වෙන් කරන බවද 2021-22 වසර තුළ අධ්‍යාපන පද්ධතිය සඳහා ඩොලර් බිලියන 25.6 වෙන් කරන බවද ඔන්ටේරියෝ රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන මෙම මුදල පසුගිය වසර හා සංසන්දනය කිරීමේදී සියයට 2.2 ක වැඩි වීමක් ලෙස දැක්වේ.

ඔන්ටේරියෝ අධ්‍යාපන මණ්ඩලවල පාසල් තුළ වසංගතය ආශ්‍රිත යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වෙන් කෙරෙන මුදල් පාසල් වාතාශ්‍රය වැඩි දියුණු කිරීම, දුරස්ථ ඉගෙනුම්වලට අවශ්‍ය පහසුකම් සැපයුම් සඳහා ආයෝජනය කිරීම, නම්‍යශීලී කාර්යමණ්ඩලයක් පවත්වාගෙන යාම මෙන්ම අවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරණ මිල දී ගැනීම ආදියට යෙදවීමට බලාපොරොත්තු වේ.

මැයි 21 වෙනි දින දක්වා ඔන්ටේරියෝව තුළ බල පැවැත්වෙන stay-at-home නියෝගයට අනුව මේ වන විටත් මෙම පළාතේ සියලුම පාසල් online ආකාරයෙන් පවත්වාගෙන යනු ලැබේ.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!