වෙළඳ දූත මණ්ඩල නිල සංචාරයක් සඳහා ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරී ශ්‍රී ලංකාවට යෑමට නියමිතව ඇත. දින 10 ක සංචාරයක් සඳහා මාර්තු 15 වෙනිදා පිටත්ව යන ටොරී නගරාධිපතිවරයා ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, හයිද්‍රාබාද් සහ ශ්‍රී ලංකාව වෙත යෑමට නියමිතයි.
නගර සභිකයන් දෙදෙනෙකු, නිලධාරීන් 4 දෙනෙකු ඇතුළු 20 කගෙන් සමන්විත පිරිසක් මෙම වෙළඳ දූත සංචාරයට එකතු වේ.
ආර්ථීකය අතින් වේගයෙන් වර්ධනය වන දකුණු ආසියානු රටවල් ලෙස සැලකෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරයන් තුළින් කැනඩාවේ GTA කලාපය තුළ වෙසෙන ඉන්දු-කැනේඩියානු සහ ශ්‍රී ලංකා-කැනේඩියානු ප්‍රජාව සමග ඇති බැඳීම තවත් ශක්තිමත් කර ගැනීමට ටොරි නගරාධිපතිවරයා බලාපොරොත්තු වේ.
මෙම සංචාරයේදී ටොරොන්ටෝවේ දේශීය සමාගම් සහ දකුණු ආසියානු සමාගම් අතර නව වෙළඳ ප්‍රවර්ධන අවස්ථා ඇතිකර ගනිමින් එ්වායෙහි නව කාර්යාල ටොරොන්ටෝවේ පිහිටුවා ගැනීම කෙරෙහි උත්සාහ කෙරෙනු ඇති අතර මෙහිදී සිනමා කර්මාන්තය, අධ්‍යාපනය, නව නිපැයුම් ආදිය පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවෙන් පිටත ද්‍රවිඩ භාෂාව කතා කරන වැඩිම පිරිසකට නිවහන වී ඇත්තේ තම පරිපාලනය යටතේ ඇති ටොරොන්ටෝව බව ටොරී නගරාධිපතිවරයා පවසයි. එහිදී එ් පිරිස පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම තම කැමැත්ත බවත් ශ්‍රී ලංකාව වෙත යන සංචාරයේදී එම ප්‍රජාව මෙහි පැමිණ ඇත්තේ කොහි සිටද?, ඔවුන්ට ශ්‍රී ලංකාවෙන් පිට වීමට සිදුවූයේ ඇයි?, පශ්චාත් යුද සංවර්ධනය සිදුවන ආකාරය, පවතින ආර්ථීක අවස්ථා ආදිය පිළිබඳව සොයා බැලීමත් ද්‍රවිඩ ජනතාවගේ සංස්කෘතික හා ප්‍රජා මධ්‍යස්ථාන නැරඹීමට යෑමටත් නගරාධිපතිවරයා බලාපොරොත්තු වේ.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!