විදේශ ගමන් බලපත්‍ර වැනි අනන්‍යතාව ඔප්පු කිරීමේ සහතිකවල ස්ත්‍රී-පුරුෂ භාවය දැක්වෙන වගන්තිය ඉවත් කර එය විවිධ ලිංගික තත්ත්වයන්ගෙන් යුත් පුද්ගලයන්ට සාධාරණ වන අයුරින් සැකසීමේ බලය ෆෙඩරල් ලිබරල් රජය සතුව තිබියදීත් ඒ පිළිබඳව පියවරක් නොගැනීම සම්බන්ධයෙන් කැනේඩියානු මානව හිමිකම් කොමිෂන් සභාව සිය කණස්සල්ල පළ කර සිටී. මේ පිළිබඳව අදහස් දැක්වූ එම කොමිසමේ ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ වැඩබලන කළමනාකාරවරයා පවසා සිටියේ, විදේශ ගමන් බලපත්‍ර ආදියෙහි සඳහන් කොට ඇති ලිංගික අනන්‍යතාව පිළිබඳ තොරතුරු හෙළි කිරීමේදී transgender ඇතුළු LGBTQ ප්‍රජාව දැඩි අපහසුතාවන්ට ලක්වන බවයි. දීර්ඝ කාලයක සිට මේ කෙරෙහි රජය පියවරක් ගනු ඇතැයි බලා සිටියද මේ ගැටලූව සම්බන්ධයෙන් විසඳුමක් නොදී සිවිල් සේවකයන්ගේ පෞද්ගලික අදහස අනුව කටයුතු කරමින් සිටින රජය විසින් transgender  ඇතුළු LGBTQ ප්‍රජාවගේ අයිතීන් නොසලකා හැර ඇති බව ඔහු පෙන්වා දේ. මේ සම්බන්ධව තම කොමිසම වෙත ලැඛෙන පැමිණිලි දිනෙන් දිනම වැඩිවීම තුළින් ඛඨඊඔූ ප්‍රජාව මුහුණ පා ඇති අනතුරුදායක හා කණගාටුදායක තත්ත්වය තහවුරු වන බව වැඩ බලන කලමනාකාරවරයාගේ අදහසයි.

කිසියම් පුද්ගලයකුගේ ලිංග බේදය ස්ත්‍රී-පුරුෂ ආකාරයෙන් පමණක් විමසීම සුදුසු නොවන බවත් ඒ දෙපාර්ශ්වයටම අදාළ නොවන විශාල පිරිසක් කැනඩාව තුළ සිටින බවත් LGBTQ කැනේඩියානුවන් මේ පිළිබඳව සිය අදහස් දක්වමින් පවසා සිටී. ගමන් බලපත්‍ර ඇතුළු හඳුනාගැනීමේ සහතිකවල ලිංග බේදය ස්ත්‍රී/පුරුෂ ආකාරයෙන් පමණක් සඳහන් කිරීමට සිදුවීමෙන් තමන් විවිධ අපහසුතාවලට මුහුණපාන බව මේ පිරිස පවසති. ඒ නිසා ගමන් බලපත්‍ර ආදි හැඳුනුම්පත්වලින් ලිංග බේදය පිළිබඳ කරන විමසීම වෙනස් කරන ලෙස මොවුන් ඉල්ලා සිටී.

මේ ආකාරයට ස්ත්‍රී-පුරුෂභාවය විමසීම තාක්ෂණික වශයෙන්ද ගැටලූ මතුකරවන්නක් බව පෙන්වා දෙන මානව හිමිකම් කොමිසම විශේෂයෙන්ම ගුවන් සංචාරයේ යෙදෙනLGBTQ කැනේඩියානුවන්ට මෙය විශාල වශයෙන් බලපෑම් එල්ල කරන බව පවසා සිටියි. ඇතැම් අවස්ථාවලදී ගමන් බලපත්‍රයේ ලැයිස්තුගත කර ඇති ලිංග බේදයන්ට බාහිර ලිංගික තත්ත්වයක පසුවන්නෙකුට සිය අනන්‍යතාව සඳහන් කිරීමට නොහැකි වීමෙන් එම පුද්ගලයන් දැඩි අසීරුතාවලට ලක් වේ.

මේ වන විට ඕස්ටේ්‍රලියාව, බංගලාදේශය, ජර්මනිය, ඉන්දියාව, නේපාලය, නවසීලන්තය, පාකිස්තානය යන රටවල් හත තෙවන ලිංගිකත්වයක් පිළිබඳව විමසීමට අවසර දී ඇති අතර ඒ එම රටවල ගමන් බලපත්‍රවලටද වෙනත් හැඳුනුම්පත්වලටද එය ඇතුළත් කර ඇත.

මෙම ගැටලූව පිළිබඳව පියවරක් ගැනීමට කැනඩා ෆෙඩරල් රජය මේ වන විට කටයුතු සකස් කරමින් පවතින අතර හැඳුනුම්පත්වලට තෙවන ලිංග බේදය විමසීමක් ඇතුළත් කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇත.

පසුගිය මාසයේ ඔන්ටේරියෝ රජය මේ කරුණ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දැක්වූ අතර මින් ඉදිරියට ඔන්ටේරියෝ සෞඛ්‍ය කාඩ්පතට සහ රියදුරු බලපත්‍රයට තෙවන පාර්ශ්වයේ ලිංගික අනන්‍යතා සඳහන් කිරීමක්ද ඇතුළත් වනු ඇත. ඒ අනුව කැනඩාව තුළදී තෙවැනි ලිංගික අනන්‍යතාවක් සහිත හැඳුනුම්පත් ලබාගත හැකි පළමු පළාත බවට ඔන්ටේරියෝව පත්වනු ඇත.

 

Share this Post