Saint Joseph’s Oratory of Mount Royal

 

කැනඩාවේ මොන්ට්‍රියල් නගරය වෙත සංචාරය කරන සෑම අයෙකුගේම නැරඹුම් ලැයිස්තුවේ ප්‍රමුඛව සඳහන්ව ඇති ස්ථානයකි සෙන්ට් ජෝසප් බැසිලිකා දේවස්ථානය. මෙහි පිටත සහ ඇතුළත නිම වී ඇති අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයත් ඒ හා බැඳුණු ගුප්ත සුන්දරත්වයත් දේවස්ථානයකට සුදුසු සුපසන් පරිසරය නිර්මාණය කර දෙයි. කැනඩාවේ ඓතිහාසික නැරඹුම් ස්ථාන අතර ප්‍රධානත්වයෙහි ලා සැලකෙන මෙම දේවස්ථානය, දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය කෙතරම් දිනාගෙන ඇත්ද යත්, වසරකට මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන මිලියන දෙකකට අධික ජනතාවගෙන් එය සාක්ෂාත් වේ.

කැනඩාවේ ජාතික සිද්ධස්ථානයක් ලෙස සැලකෙන Saint Joseph’s Oratory   කැනඩාවේ විශාලතම දේවස්ථානයයි. මොන්ට්‍රියල්හි Mount Royal කඳු මුදුනේ සිට මීටර 30 කට වඩා ඉහළින් නැඟී සිටින මෙය එම පළාතේ උසම ගොඩනැගිල්ල වේ. මේ භූමි ප්‍රදේශයේ සිට කිලෝමීටර ගණනාවක් ඈත සිට වුවත් දිස්වෙන ආකාරයට ශාන්ත ජෝසප් බැසිලිකාව නිර්මාණය කොට ඇත. එසේම මොන්ට්‍රියල්හි නාගරික ගොඩනැගිලි සංග්‍රහය යටතේ උස සීමා උල්ලංඝනය කළ නොහැකි එකම ගොඩනැගිල්ල වන්නේද මෙම දේවස්ථානයයි. ඒ අනුව මොන්ට්‍රියල්හි ඉදිකරනු ලබන සියලුම ගොඩනැගිලි, දේවස්ථානය පිහිටි මවුන්ට් රෝයල් කන්දේ උස සීමාව ඉක්මවා යාම තහනම් වේ.
ආගමික වටිනාකම අතරින් ගත් විට,ශාන්ත ජෝසප් පල්ලිය රෝමානු කතෝලික උප බැසිලිකාවකි. මෙම ස්ථානය ශාන්ත ජෝසප් මුනිතුමා වෙනුවෙන් කැප කරන ලද, වසරකට ලෝකයේ වැඩිම පිරිසක් වන්දනාමාන කරන ස්ථානයකි.

දේවස්ථානයේ ඉතිහාසය

අද රාජකීය කඳු මුදුනෙහි තේජාන්විතව දිස්වන ශාන්ත ජෝසප් දේවස්ථානය, Brother André නම් ධෛර්ය සම්පන්න මිනිසෙකුගේ අප්‍රමාණ ශක්තියෙන් 1904 දී ආරම්භ වූවකි.
1845 මොන්ට්‍රියල්හි Mont-St-Gregoire හි උපත ලද ඇන්ඩ්‍රේ සහෝදරතුමා එකල ‘ඇල්ෆ්‍රඩ් බෙසෙට්’ නම් විය. සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුත් පවුලක උපන් ඔහු, උපතේ සිටම රෝගී දරුවෙකු විය. එනිසාම ඇල්ෆ්‍රඩ්ගේ ජීවිතය ගැන ඔහුගේ දෙමව්පියන් කිසිසේත්ම විශ්වාස නොකළහ. එය කෙතරම්ද යත්, කොයි මොහොතක හෝ ඔහු මිය යාවි යන බියෙන් ඔහුගේ බව්තීස්මය පවා පවුලේ සෙසු දරුවන්ට වඩා කලින් කිරීමට ඔවුන් කටයුතු කොට තිබුණි. එහෙත් ලෙඩ රෝග හා සටන් කරමින් ජීවිතය රැක ගැනීමට ඔහු සමත් විය. වයස අවුරුදු 12 දී මවුපියන් මිය යන ඇල්ෆ්‍රඩ් හදාවඩා ගැනීම St-Cesaire හි පවුලකට හදා වඩා ගැනීමට පැවරුණු අතර ඔහුගේ සෙසු සහෝදර සහෝදරියන් පවුලේ අනිකුත් නෑ හිතවතුන් අතර විසිර යැවුණි. කුඩා කල සිට නිසි අධ්‍යාපනයක් නොලද ඇල්ෆ්‍රඩ් යාන්තම් වැඩ කළ හැකි වයසට එන විටම කම්මල්කරුවකු, බක්කරේ කෙනෙකු, සපත්තු සාදන්නෙකු වැනි වෘත්තීන් ගණනාවක නිරත විය. කෙටි කලක් එක්සත් ජනපදයේද රැකියා සොයමින් රස්තියාදු වූ ඔහු එයද සාර්ථක නොවූ කල නැවතත් කැනඩාවට පැමිණියහ. ඉන්පසු ඔහුගේ පල්ලියේ පූජක André Provencal පියතුමන් ඔහුව Holy Cross සභාවට ඇතුළු කර ගැනීමට කටයුතු කොට ඇත. 1870 ඇල්ෆ්‍රඩ්  Holy Cross සභාවට ඇතුළු වෙමින් Brother André ලෙස නම ලබා ගත්තේ තමාට එම තැන ගැනීමට දිරි දුන් André Provençal පියතුමා සිහිපත් කරමිනි.
නමුත් ඇන්ඩ්‍රේ සහෝදර තුමාගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වයත් කුසලතා රහිත බවත් ගැන කිසිදු පැහැදීමක් පල්ලියේ ප්‍රධානීන් තුළ නොතිබුණි. මේ නිසාම ඔහුව මොන්ටි්‍රයල්හි කුඩා ගමක් වූ Côte-des-Neiges හි පිහිටි සභාවට අයත් Notre-Dame විද්‍යාලයේ සේවය සඳහා යැවීමට කටයුතු කෙරුණි. එහිදී ඔහුට දොරටුපාලක, හෙද සේවක සහ පහන් ලාම්පු භාරකරු ආදි සේවාවන් රැසක් කිරීමට නියම විය. ඊට අමතරව පල්ලියේ පූජකවරුන් ඇතුළු පිරිසගේ හිසකෙස් කැපීම සහ රෙදි සේදීම කළමනාකරණය ආදි කාර්යයන්ද ඔහුට අයත් විය. නොටේ්‍ර-ඩේම් විද්‍යාලයේ සිටි කාලය පිළිබඳව පසු කලෙක නිතර කතා කළ ඔහු, එහිදී පවසා තිබුණේ, “මම මේ ප්‍රජාවට ඇතුළු වූ විට මගේ ප්‍රධානීන් මට නිතරම දොරටුව පෙන්වූවත් මම එහි වසර 40 ක් නැවතී සිටියෙමි.” ලෙසයි.
එම විද්‍යාලයේ කුඩා කාමරයක ජීවත් වූ ඔහු බොහෝ විට රාත්‍රිය යාච්ඤා කිරීමට යොදා ගත්හ. හෙදවරයකු ලෙස කටයුතු කරද්දී රෝගීන් වෙත යමින්, ශාන්ත ජෝසප් මුනිවරයාට යාච්ඤා කරන ලෙස රෝගීන්ගෙන් ඉල්ලා සිටියහ. එපමණකින් නොනැවතී නොටේ්‍ර-ඩේම් විද්‍යාල ඉදිරිපිට ඇති මවුන්ට් රෝයල් කන්දට ගොස් එහි ඉහළ ස්ථානයක ගසක් අසල ශාන්ත ජෝසප් මුණිතුමාගේ කුඩා පිළිරුවක් තබා විද්‍යාලයේ සිසුන්ටත් සෙසු අයටත් එහි ගොස් යාච්ඤා කරන ලෙස පැවසීය. මෙසේ කාලයක් ගතවන විට ඇන්ඩ්‍රේ සහෝදරතුමා පිළිබඳව නොයෙකුත් කට කතා පැතිරෙන්නට විය. ඒ අන් කිසිවක් නිසා නොව, ප්‍රාතිහාර්ය බලයක් ඇති අයෙකු ලෙසයි. සැබවින්ම කුමන හෝ හේතුවක් නිසා රෝගීව ඔහු වෙත පැමිණෙන පුද්ගලයන් සුවපත් වී ගිය අවස්ථා රැසක් එකල සිදුවී ඇත. මෙසේ ටිකෙන් ටික ඔහු ලෙඩ සුව කරන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත් විය.
“මම කිසිවෙකු නොවේ. ශාන්ත ජෝසප් තුමන්ගේ සේවයට පත් කළ මෙවලමක් පමණි” ලෙස පැමිණි පිරිස් වෙත ඇන්ඩ්‍රේ සහෝදරතුමා පවසනු ලැබුණි. ඔහු සියල්ලන්ගේම දුක් ගැනවිලි සාවධානව සවන් දෙමින් ඉතාමත් නිහතමානීව, කරුණාවන්තව, ඉවසිලිමත්ව කටයුතු කළ පුද්ගලයෙක් විය. පළමුවරට 1890 ගණන්වලදී නොටේ්‍ර-ඩේම් විද්‍යාලයට ටෙලිෆෝනයක් සවි කළ අවස්ථාවේ එය නාද වන බොහෝ විට මිනිසුන් good Brother André ලෙසින් ඔහුව විමසීමට පටන්ගෙන ඇත.
මෙසේ තමා වෙත පැමිණෙන මිනිසුන්ට වඩාත් හොඳින් සේවයක් සැලසීම සඳහා ඉඩකඩ සහිත ස්ථානයක් වෙත යෑමේ අවශ්‍යතාව බ්‍රදර් ඇන්ඩ්‍රේ වෙත තිබුණු අතර ඒ සඳහා වූ සිහිනයක්ද ඔහුගේ සිතෙහි තිබුණි. ශාන්ත ජෝශප් මුනිවර පිළිරුව තැන්පත් කර යාච්ඤා කටයුතු සිදුකරන කඳු බෑවුමේ කුඩා පල්ලියක් ඉදිකර ගැනීම ඔහුගේ ඒ සිහිනය වුවත් ඒ සඳහා අවශ්‍ය ඉඩම මිල දී ගෙන දීමට  Holy Cross සභාවට මුදල් නොමැති විය. ඉඩම මිල දී ගැනීම සඳහා ඇන්ඩ්‍රේ පියතුමා සම්මාදම් පෙට්ටියක් තැබූ අතර වැඩි කලක් නොගොස් ඒ සඳහා අවශ්‍ය ඩොලර් 10,000 සොයා ගැනීමට ඔහුට හැකි විය. ඒ අනුව 1896 දී නෝටේ්‍ර-ඩේම් කොලිජිය ඉදිරිපිට ඇති මවුන්ට් රෝයල් කන්දෙහි ඉඩම Holy Cross  සභාව මිල දී ගති. පසුව 1904 දී ඇන්ඩ්‍රේ සහෝදරතුමා මවුන්ට් රෝයල් ඉඩමෙහි අඩි 15-18 කුඩා දේවස්ථානයක් සාදාගත් අතර එය දැවයෙන් නිමකරන ලද්දක් විය. මේ සඳහා ඔහුට ප්‍රධාන වඩු කාර්මිකයා ලෙස Abundius සහෝදර දේවගැතිවරයා උපකාර කර තිබුණි. මෙම දේවස්ථානය St. Joseph’s Oratory ලෙස ඔහු විසින් නම් කරන ලදී. ඒ වන විට ඇන්ඩ්‍රේ සහෝදරතුමාගේ වයස අවුරුදු 59 කි. එතැන් පටන් කැනඩාවේ පමණක් නොව, ඇමරිකාවේ සිට පවා සිය ගණනක් ජනතාව ඇන්ඩ්‍රේ සහෝදරතුමා වෙත පැමිණ තම ලෙඩට දුකට පිහිට පැතීය. ඇන්ඩ්‍රේ තුමාගේ ජනප්‍රියත්වයත් සමග ඔහු ගොඩ නැගූ කුඩා ශාන්ත ජෝසප් දේවස්ථානය ඉඩකඩ මදි විය. ඒ පිළිබඳ අවධානය යොමු කළ ලෙඩ සුව කරගැනීමට පැමිණෙන ධනවත් දානපතියන් දේවස්ථානය විශාල කිරීම සඳහා මුදල් ලබාදීමට ඉදිරිපත් විය. එතෙක් විද්‍යාලයේ කුඩා කාමරයක ලැගුම් ගෙන සිටි ඇන්ඩ්‍රේ සහෝදරතුමා සඳහා දේවස්ථානයේම කුඩා කාමරයක් සාදන ලද අතර 1908 දී ඔහු දේවස්ථානයේ නිල භාරකරු බවට පත් විය. ඇන්ඩ්‍රේ සහෝදරතුමා අවසන් කාලය තෙක් සිටි එම කුඩා කාමරය සහ පැරණි දේවස්ථානය මෙම භූමියේ අදටත් පවතී.

කලක් ගත වන විට සහෝදර ඇන්ඩ්‍රේ ජනතාව අතර ‘The miracle worker of Mount Royal’ ලෙස අතර ප්‍රචලිත විය. ඔහුටම ආවේණික වූ ආකාරයකට ශාන්ත ජෝසප් මුණිවරයානන් වෙත යාච්ඤා කරමින් පිළිස්සූ ඔලිව් තෙල් බඳුන් ජනතාව වෙත බෙදා දෙමින් ඔහු කටයුතු කර ඇත. මෙහිදී ආබාධිත, අන්ධ, රෝගාබාධවලින් මරණාසන්න අවස්ථාවේ සිටි මිනිසුන් 15,000 ක් පමණ ඔහු විසින් සුවපත් කර ඇති බව සඳහන් වේ. මිනිසුන්ගේ දුක් කරදරවලට ඇහුම්කන් දී ඔවුන් වෙත අනුකම්පාව ලබා දී යාච්ඤා කළ ඔහු, දෙවියන් වහන්සේ සහ ශාන්ත ජෝසප් මුනිවරයානන් ගැන විශ්වාසය තබන ලෙස මිනිසුන්ගෙන් ඉල්ලා සිටියහ.
මෙම ඇදහිල්ල දිගටම වර්ධනය වූ අතර උතුරු ඇමරිකාවේ ලස්සනම සිද්ධස්ථානයක් ඉදි වීමට පදනම එයින් සැපයීය. එහි මුල්ම පියවර 1917 දී විවෘත වූ අතර එය St. Joseph’s crypt church ලෙස හැඳින්විනි. එහි දහසකට(1000) එකවර අසුන් ගත හැකි විය. මෙයද නොසෑහීම නිසා 1924 අගෝස්තු 31 වන දින වර්තමානයේ පවතින විශාල බැසිලිකාව සඳහා මුල්ගල තැබුණු අතර එම උත්සවයට 35,000 ක පමණ ජනතාවක් සහභාගි වී තිබුණි.


Brother André 1937 ජනවාරි 06 වන දින ස්වර්ගස්ත වූ අතර එවිට ඔහු 91 හැවිරිදි වියේ පසුවිය. ඇන්ඩ්‍රේ සහෝදර තුමාගේ මරණයෙන් පසු 1978 වසරේදී 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ විසින් එතුමාව ශාන්තුවරයට පත් කරන ලද අතර ඒ සමගම Holy Cross සභාවේ පළමු සාන්තුවරයා ඔහු බවට පත් විය. මෙම දිනයේදී, ‘දෙවියන් වහන්සේ පල්ලියට විශිෂ්ට සේවාවක් සඳහා ඉතා සරල මිනිසෙකු තෝරාගත් බව’ පල්ලිය පිළිගත්තේය. කිසිදිනෙක සම්මත පූජකවරයෙකු නොවූ Brother André මිනිසුන් සමග වාඩි වී ඔවුන්ගේ දුක් වේදනාවට ඇහුම්කන් දුන් පුද්ගලයෙක් විය.
පුරා සතියක් ඔහුගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත වූ ජනතාවක් වැල නොකැඩී පැමිණීමම ඊට සාක්ෂි දරයි. එසේ පැමිණි පිරිස කෙතෙක්ද යත් විනාඩියකට 110 ක පමණ පිරිසක් එතුමාගේ දේහය අසලට ගොස් ගෞරව දක්වා ඇතැයි පැවසේ. පසුව එතුමාගේ දේහය ප්‍රධාන දේවස්ථානයට පහළින් ඉදිකරන ලද කළු කිරිගරුඩ සොහොන් ගෙයක තැන්පත් කරන ලදී. එහි ඇති ඇන්ඩ්‍රේ සහෝදරතුමාගේ සිතුවමක ‘Poor, obedient, humble servant of God.’ ලෙස සඳහන්ව ඇත. එතුමාගේ දේහය එසේ මිහිදන් කළත් එතුමාගේ ‘හදවත’ මිනිසුන්ට වන්දනාමාන කිරීම සඳහා සංරක්ෂණය කොට දේවස්ථානයේ තැන්පත් කෙරුණි. තම හදවත බදු දේවස්ථානය ආරක්ෂා කර ගැනීමට තමා ජීවමානව නොසිටියත් තම ‘හදවත’ සංරක්ෂණය කරන ලෙස ශාන්ත ඇන්ඩ්‍රේ තුමා කර තිබූ ඉල්ලීමක් පරිදි මෙසේ ඔහුගේ ‘හදවත’ සංරක්ෂණය කර ඇත. නමුත් 1973 මාර්තු මාසයේ දිනෙක දේවස්ථානයේ රැකවලට තිබූ ‘හදවත’ සොරුන් ගෙන ගොස් තිබුණි. කප්පම් ගැනීමේ අරමුණින් ගෙන ගොස් තිබූ ඒ හදවත නැවත බාර දීම සඳහා සොරුන් දී තිබූ ලංසුව ඩොලර් 50,000 ක් විය. සැබවින්ම ශුද්ධ මිනිසෙකුගේ හදවතෙහි වටිනාකම මෙතරම්ද? නමුත් පල්ලියේ ප්‍රධානීන් කප්පම් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණි. පසුව බලවත් පරීශ්‍රමයකින් පසු එය 1974 දෙසැම්බරයේදී සොයා ගැණුනේ නිරිතදිග මොන්ටි්‍රයල්හි මහල් ගොඩනැගිල්ලක පහළම මාලයේ තිබූ ලොකරයක් තුළිනි. ඉන්පසු නැවතත් එතුමාගේ ‘හදවත’ පල්ලියේ කෞතුකාගාරයේ සංරක්ෂිත ගර්භයක තැන්පත් කෙරුණි.

වර්තමාන බැසිලිකාව

ශාන්ත ජෝශප් බැසිලිකාව, ලෝකයේ දේවස්ථාන ගෘහ නිර්මාණ ශිල්පයේ විවිධත්වය එක තැනකට ගොනු කළ අපූරු මැවීමකි. 1904 දී ප්‍රාථමික දැව දේවස්ථානයද 1917 දී දෙවන ඉදිකිරීමෙන්ද ආරම්භ කෙරුණු මෙහි වර්තමාන නිමාව 60 දශකය අවසානය දක්වා සිදුවිය. දශක ගණනාවක් පුරා විවිධ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහ කලාකරුවන්ගේ පරම්පරා කිහිපයක දක්ෂතා මේ මහා බැසිලිකාව නිර්මාණය කිරීමේදී ඉවහල් වී ඇත.
මෙම මන්දිරයේ වාස්තු විද්‍යාව සඳහා ඉතාලියේ බැසිලිකා තුළ දක්නට ලැබෙන ‘cupola’ ගෝලාකාර ශෛලිය යොදා ඇති අතර මෙය පැරණි ඉතාලියේ 14-16 වැනි සියවස්වල භාවිත කරන ලද්දකි. එසේම බැසිලිකාවේ ගෝලාකාර කොටස නිර්මාණය කිරීමේදී රෝමයේ ශාන්ත පීතර බැසිලිකාව ඇතුළු විවිධ නිර්මාණ ආකෘති සැලකිල්ලට ගෙන ඇත. නමුත් අවසානයේ ඉදිකරන ලද ගෝලාකාරය ඉතාලියේ Florence හි Santa Maria del Fiore දේවස්ථානයට වඩාත් සමීපව සමාන වේ.
එහි ද්විත්ව ෂෙල් ව්‍යුහය, අභ්‍යන්තර සහ පිටත ගෝලාකාරයන්ගෙන් සමන්විත වේ. එසේම මෙම ගෝලාකාරය ලෝකයේ සෙසු ගෝලාකාර දේවස්ථාන හා සංසන්දනය කිරීමේදී දෙවැනි වන්නේ රෝමයේ Saint Peter’s බැසිලිකාවට පමණි. දේවස්ථානයේ මේ කොටස මුහුදු මට්ටමේ සිට මීටර 236 ක උසින් නිර්මාණය කොට ඇත.
ප්‍රධාන වාහන අංගනයේ සිට Crypt දේවස්ථානය දක්වා දිවෙන පඩිපෙළ කොන්ක්‍රීට් පඩි 283 කින් සමන්විත වේ. එසේම මෙම දේවස්ථානයට පැමිණෙන ඇතැම් වන්දනාකරුවන් තම භක්තිවන්තභාවය දැක්වීම සඳහා දණින් පඩි තරණය කිරීමට කැමත්තක් දක්වන අතර ඔවුන් සඳහා ලීවලින් තැනූ පඩි 99 ක් සහිත වෙනමම මගක් නිර්මාණය කර ඇත.
මහල් කීපයකින් සමන්විත වත්මන් දේවස්ථානයේ පැරණිතම කොටස Crypt දේවස්ථානයයි. එය පොළොව මට්ටමින් පහළ සහ ප්‍රධාන බැසිලිකාවට පහතින්, වක්‍රාකාර සිවිලිමකින් යුක්ත නිසා එය ක්‍රිප්ට් නමින් හඳුන්වන්නට ඇත. මෙය විශාල අල්තාරයක් සහිත පුද්ගලයන් 1000 කට අසුන් ගත හැකි දේව මෙහෙයයන් පවත්වන මන්දිරයකි. මෙම ගෝලාකාර බැසිලිකාව අලංකාර ආලෝකකරණ සවිකීරීම්, ඕක් ලී වැඩ දැමූ මෝස්තර, විස්තීර්ණ ආරුක්කු සිවිලිම් සහිතව නිමා කර ඇත. පසෙක බිත්තියක සවිකර ඇති යේසුස් වහන්සේගේ පිළිරුව මෙහි එන සියලු ආගමිකයන්ගේ නොමද ගෞරවයට පාත්‍රවන අතර එහි පාද ස්පර්ශ කරමින් යාච්ඤා කිරීමට බොහෝ අය පෙළ ගැසී සිටිති.
ක්‍රිප්ට් දේවස්ථානයට පිවිසෙන ඕනෑම අයෙකුට එහි පසෙක ඇති දැවැන්ත දොරටු අතරින් අඳුරු පටු තීරයක දැල්වෙන දස දහස් ගණනක් වූ ඉටිපන්දම් එළි දිස්වේ. මෙම කොටස Votive Chapel ලෙස හැඳින්වේ. 1946-1949 කාලය තුළ ඉදිකෙරුණු මෙය අරමුණු දෙකක් ඉටුකරගැනීම සඳහා ඉදිකරන ලද්දකි. පළමුවැන්න ක්‍රිප්ට් දේව මන්දිරය බැසිලිකාවේ නව ඉහළ මහල හා සම්බන්ධ කිරීමත් දෙවැන්න, මේ මහා මන්දිරයේ නිර්මාතෘ ශාන්ත ඇන්ඩ්‍රේ තුමාගේ ශාන්ත සුවදායී සැතපීමට සොහොන් ගෘහයක් නිර්මාණය කිරීමත්ය. Votive Chapel ඉටිපන්දම් 10,000 ක් දැල්වීමට හැකි ලෙස සකසා ඇත. එහි යන සෑම කෙනෙක්ම මෙම ස්ථානයට ගොස් ඉටිපහන් දැල්වීමට අමතක නොකරති. කිසිදා නිවී නොයන ලෙස එළිය කෙරුණු ශාන්ත ජෝසප් මුණිවරයාගේ විශාල ප්‍රතිමාව මෙම කොටසෙහි මධ්‍ය ස්ථානයේ තැන්පත් කොට ඇත. එම ප්‍රතිමාව ඉතාලි චිත්‍ර ශිල්පියෙකු වන A. Giacomini විසින් Carrara කිරි ගරුඬවලින් නිම කරන ලද්දකි. එසේම ශාන්ත ඇන්ඩ්‍රේ තුමා විසින් සුවපත් කළ රෝගීන් භාවිත කළ දහස් ගණනක් වූ අත්වාරු, කිහිලිකරු ආදිය මෙහි බිත්තිවල මහජනයාට පෙනෙන සේ ප්‍රදර්ශනය කර ඇත. වීදුරු බීකර තුළ දැල්වෙන දහස් සංඛ්‍යාත ඉටිපන්දම් තුළින් එන ආලෝකයෙන් එළිය වූ මෙම අඳුරු බිම ඕනෑම අයෙකු තුළ ගුප්ත වූ හැඟීමක් සහිත භක්තියක් ආරෝපණය කරවයි.


මේ ස්ථාන දෙකටම පසු ඉදිකරන ලද අලුත්ම ස්ථානය ප්‍රධාන බැසිලිකාවයි. ඉහළ මහලෙහි (Level 6) පිහිටා ඇති මෙහි 2400 කට පහසුවෙන් අසුන්ගැනීමට ඉඩකඩ ඇත. ඊට අමතරව 10,000 ක පමණ පිරිසකට එම කොටසෙහි සිටගෙන සිටීමට හැක. මෙම ගර්භයේ අවසන් අභ්‍යන්තර නිර්මාණ කටයුතු කැනේඩියානු ගෘහ නිර්මාණ ශිල්පී Gérard Notebaert ගේ සංකල්පයන්ට අනුව සිදුකොට 1966 දී වැඩ නිම කර ඇත. බැසිලිකාවෙහි ඉහළ සවි කොට ඇති අතිවිශාල ඕගනය මෙහි ඇති තවත් සුවිශේෂී නිර්මාණයකි. ජර්මනියේ කීර්තිමත් ඕගන නිෂ්පාදකයෙකු වන Rudolf von Beckerath විසින් නිෂ්පාදනය කරන ලද මෙම Grand Beckerath ඕගනය 1960 දී මෙහි සවිකොට ඇත. උසින් මීටර 18 ක් සහ පළල මීටර 14 ක් වන මෙහි බර ටොන් 40 ක් පමණ වේ.
1904 වසරේදී එක්තරා කුඩා මිනිසෙකුගේ අදහසකට අනුව රාජකීය කඳු මුදුණේ ඉදිකෙරුණු දැව දේවස්ථානය වර්තමානයේ දැවැන්ත දේව මන්දිරයක් බවට පත් වී ඇත. එහි පළමු ශත සංවත්සරය 2004 ඔක්තෝබර් 19 වන දින ඉතාමත් උත්කර්ෂවත් ලෙස සමරනු ලැබූ අතර එහිදී මොන්ටි්‍රයල් ප්‍රදේශයේ බහුතරයක් දේවස්ථානවල හරියටම පෙරවරු 9 ට ඝංඨා නාද කොට ඇත. එයින් විනාඩි 5 කට පසු හරියටම 9.05 ට ශාන්ත ජෝසප් දේවස්ථානයෙන් පිළිතුරු ඝංඨා නාද නිකුත් කොට ඇත.

  • චමරි අබේසිංහ

 

Share this Post