කැනඩාව තුළ මරිජුවානා (ගංජා) නීතිගත කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඇති සූදානම පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් පළාත්බද දේශපාලනඥයින්ද සිය අදහස් දක්වා ඇති අතර එහිදී ඇතැම් අය පවසා ඇත්තේ මෙය ක්‍රියාත්මක වුවහොත් වෙනත් සමාජ ප්‍රශ්න රැසක් මෙන්ම මහාමාර්ගවලදී රථවාහන රියදුරන් විසින් සිදුකරන වැරදිද වැඩි විය හැකි බවයි.
ෆෙඩරල් අධිකරණ ඇමතිවරයා පසුගියදා පළාත් හා ප්‍රාදේශීය අධිකරණ ඇමතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී පළාත් තුනක අධිකරණ ඇමතිවරුන් මේ පිළිබඳව අනතුරු අඟවා තිබුණි.
පළාතේ තරුණ පිරිසගේ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව සැලසුමක් අත්‍යවශ්‍ය බවත් හානි අවම කිරීම පිළිබඳව එහිදී අවධානය යොමු විය යුතු බවත් ඔන්ටාරියෝ ඇටර්නි ජනරාල්වරයා පවසා ඇත. ඉදිරියේදී රටේ මාර්ග ආරක්ෂිතව තබාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි වැඩි වගකීමක් දැරීමට පළාත්බද ආණ්ඩුවලට සිදුවන බව ඔහු පෙන්වා දේ.
මරිජුවානා නීතිගත කිරීමේ හානිදායක බව පිළිබඳවත් එයින් රියදුරන් සිදුකරන වැරදි ඉහළ යා හැකි බවටත් කැනඩාවේ ඇටර්නි ජනරාල් විල්සන් රේබවුන්ඩ් පසුගිය ජනවාරියේදී පවසා තිබුණි.
මරිජුවානා නීතිගත කිරීමෙන් පසු රථවාහන අනතුරු වැඩිවූ ආකාරය පෙන්වීමට ආසන්නතම උදාහරණය ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයෙන් හමුවෙයි. පසුගිය වසරේදී එහි මරිජුවානා නීතිගත කිරීම සිදුකරනු ලැබූ අතර ඉන්පසු එම පළාතේ මරිජුවානා ආශ්‍රිතව සිදුවූ රථවාහන අනතුරුවලින් මිය යන සංඛ්‍යාව සියයට 32 කින් ඉහළ ගොස් තිබුණි.
මේ පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිටිෂ්කොළ‍ොම්බියාවේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා පැවසූවේ, මාර්ග ආරක්ෂාව රටක ප්‍රමුඛතම සැලකිල්ල යොමු කළ යුතු අංගයක් බවයි. විශේෂයෙන්ම මරිජුවානා නීතිගත කිරීම සිදුකෙරෙන සංක්‍රාන්ති සමයේදී රට තුළ සාපරාධී කටයුතු සිදු නොවීම සඳහා ප්‍රධාන රජය වග බලා ගත යුතු බව ඔහුගේ අදහසයි.
මරිජුවානා නීතිගත කිරීම පිළිබඳව නෝවා ස්කෝෂියා අධිකරණ අමාත්‍ය ඩයනා වෙලන් සිය අදහස් දක්වා ඇති අතර මෙහිදී ඇය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි මූලිකත්වය දී කටයුතු කරන බව පවසා ඇත. එසේම මාර්ග අනතුරු වැඩි වීම පිළිබඳවද ඇය අවධානය යොමු කොට තිබුණි.
රට තුළ මරිජුවානා නීතිගත කිරීම සම්බන්ධයෙන් කුමන කථීකා ගොඩ නැගුණත් එය සැලසුම් කළ ආකාරයට ක්‍රියාත්මක කිරීම ෆෙඩරල් රජයේ අරමුණයි. මරිජුවානා නීතිගත කිරීමේදී කැනඩාව විසින් ගෙන ඒමට සැරසෙන නීති පද්ධතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදුකෙරෙන බවත් ඒ සඳහා අවධානයෙන් යුතුව ජනතාව දැනුවත් වීම අත්‍යවශ්‍ය බවත් ටොරොන්ටෝවේ හිටපු පොලිස් ප්‍රධානි වත්මන් ලිබරල් මන්ත්‍රී බිල් බ්ලැයාර් පවසා ඇත.

Share this Post