කැනේඩියානු ෆෙඩරල් පුරවැසි නීතියට පසුගිය වසරේ අගභාගයේදී එක් වූ සුවිශේෂී සංශෝධනයත් සමඟ ලොව පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත පිරිසකට කැනඩාවේ නිල පුරවැසිභාවය හිමිවෙමින් පවතී. මෙලෙස කැනේඩියානු පුරවැසි සහතික ලබාගන්නා පිරිසෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්ම අසල්වැසි ඇමරිකා එක්සත් ජනපදයේ වැසියන් බව CBC පුවත් සේවය කළ අනාවරණයකින් හෙළි වේ.

මෙහි ඇති වඩාත්ම සුවිශේෂී තත්ත්වය වන්නේ, සාමාන්‍යයෙන් කැනඩාවට සංක්‍රමණය වන සෙසු විදේශිකයන් මෙන් ප්‍රථමයෙන් ස්ථීර පදිංචිය (Permanent Residency – PR) ලබාගෙන, පසුව වසර කිහිපයක් රට තුළ ජීවත් වී පුරවැසිභාවය (Citizenship) සඳහා ඉල්ලුම් කිරීමට සිදු නොවීමයි. ඒ වෙනුවට, මෙම නව ප්‍රතිපාදන යටතේ සුදුසුකම් ලබන පුද්ගලයන්ට කිසිදු PR අදියරක් පසු කිරීමට අවශ්‍ය නොවන අතර, පරම්පරාගත නීත්‍යනුකූල උරුමය ඔප්පු කළ සැනින් ඔවුන්ට කෙලින්ම කැනේඩියානු පූර්ණ පුරවැසිභාවය සහ ගමන් බලපත්‍රයක් (Passport)හිමිකර ගැනීමේ සෘජු වරප්‍රසාදය උදාවෙයි.

කැනේඩියානු සංක්‍රමණ, සරණාගත සහ පුරවැසිභාවය පිළිබඳ ආයතනයේ (IRCC) නිල දත්ත පෙන්වා දෙන්නේ, නව C-3පනත (Bill C-3) -බලාත්මක වී ගත වූ මුල් මාස තුන වැනි කෙටි කාලය තුළ පමණක් පුද්ගලයන් 4,075 දෙනෙකු පරම්පරාගත උරුමය මත පදනම්ව සිය පුරවැසිභාවය තහවුරු කරගෙන ඇති බවයි.

ඉතිහාසයට එක්වූ නීතිමය සංශෝධනය

මීට පෙර පැවති සීමාකාරී නීතිරීතිවලට අනුව, කැනඩාවෙන් පිටත උපත ලබන අයෙකුට පරම්පරාගත උරුමයෙන් පුරවැසිභාවය හිමිවූයේ ඔහුගේ හෝ ඇගේ මව්පියන් කැනඩාවේ උපන් ඍජු පුරවැසියන් වුවහොත් පම‚. එනම් එය ‘පළමු පරම්පරාවට’ පමණක් සීමා විය. කෙසේ වෙතත්, එම සීමාව ව්‍යවස්ථා විරෝධී බවට අධිකරණය දුන් තීන්දුවත් සමඟ පැර‚ ක්‍රමය අහෝසි විය.

දැන් ක්‍රියාත්මක වන නව  C-3 පනත මඟින් එම පරම්පරා සීමාව මුළුමනින්ම ඉවත් කර ඇත. ඒ අනුව, තමන්ගේ මුතුන් මිත්තන් කැනේඩියානු ජාතිකයන් බව නිසි ලේඛන මඟින් තහවුරු කළ හැකි ඕනෑම අයෙකුට, ඔවුන්ගේ එම මුතුන් මිත්තන් පරම්පරා කිහිපයකට පෙර කැනඩාවෙන් පිටත්ව ගොස් තිබුණද, කැනේඩියානු පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමේ නීත්‍යානුකූල අයිතිය හිමිව තිබේ.

වැඩිම ඉල්ලුම ඇමරිකාවෙන් සහ මෙක්සිකෝවෙන්

නව නීතිය යටතේ අනුමත වූ අයදුම්පත් දෙස බැලීමේදී, වැඩිම පිරිසක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර එරට උපන් 1,955 දෙනෙකුට පුරවැසිභාවය හිමිව ඇත. අයදුම්පත් 900 ක් සාර්ථක කරගත් මෙක්සිකෝව දෙවන ස්ථානයටත්, අයදුම්පත් 140 ක් හිමිකරගත් එක්සත් රාජධානිය තෙවන ස්ථානයටත් පත්ව තිබේ.

මීට සමගාමීව, පෙර පැවති ‘පළමු පරම්පරාවේ’ නීතිමය ප්‍රතිපාදන යටතේද එම කාල සීමාව තුළදීම පුද්ගලයන් 13,310 දෙනෙකු සඳහා පුරවැසි සහතික නිකුත් කිරීමට කැනඩා රජය පියවර ගෙන ඇත. ඒ අතරටද ඇමරිකාවේ උපන් 6,135 ක්, මෙක්සිකෝවේ 945 ක් සහ එක්සත් රාජධානියේ 720 ක් ඇතුළත් වීම විශේෂත්වයකි. සමස්තයක් ලෙස ගත් කල, මෙම කෙටි කාලය තුළ C-3 පනතේ පිහිටෙන් රටවල් 44 ක උපන් පුද්ගලයන්ට සහ පැර‚ නීතිය යටතේ රටවල් 118 ක උපන් පුද්ගලයන්ට කැනේඩියානු පුරවැසිභාවය ලැබී තිබේ.

අයදුම්පත් ගොඩගැසීමේ (Backlog)අර්බුදයක්

මෙම නීතිමය ලිහිල් කිරීමත් සමඟ කැනඩාවෙන් පිටත වෙසෙන, නමුත් කැනේඩියානු මුතුන් මිත්තන් සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සිය මුතුන් මිත්තන්ගේ උප්පැන්න, විවාහ සහතික වැනි ඓතිහාසික ලේඛන සොයා ගැනීමට සහ සංක්‍රමණ නීති උපදෙස් ලබා ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පවසති. උදාහරණයක් ලෙස, කැනේඩියානු උරුමය ඔප්පු කිරීම සඳහා අවශ්‍ය ලේඛන ඉල්ලා  Quebec  ප්‍රාන්තයේ සිවිල් ලියාපදිංචි කිරීමේ අංශ වෙත පමණක් ජනවාරි මාසයේ සිට මේ දක්වා ඉල්ලීම් 3,800 ක් ලැබී ඇත. සමහර සංක්‍රමණ නීති කාර්යාලවලට පවතින අධික සේවාදායකයන් ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමට අතිරේක නීතිඥයන් පවා බඳවා ගැනීමට සිදුව තිබේ.

මෙම හදිසි අයදුම්පත් ගලා ඒම හේතුවෙන් කැනඩාවේ සංක්‍රමණ බලධාරීන්  (IRCC) වෙත පරීක්ෂා කිරීමට ඉතිරිව ඇති අයදුම්පත් ප්‍රමාණය 56,000 සිට 70,400 දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ නිසා මීට පෙර මාස පහක් පමණ වූ අයදුම්පතක් සැකසීමේ කාලය (Processing time)  මේ වන විට මාස 12 ක් දක්වා දීර්ඝ වී තිබේ. ඉදිරිපත් කරන ලේඛනවල ගැටලු හෝ ඡායාරූපවල ප්‍රමිතිගත දෝෂ පවතී නම් මෙම කාලය තවදුරටත් දීර්ඝ විය හැකිය.

කැනඩාවට සිදුවන බලපෑම සහ නීතිමය සීමාවන්

නව නීති සංශෝධනය හේතුවෙන් ඉදිරියේදී පුද්ගලයන් 115,000 කට පමණ සෘජු බලපෑමක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු අයවැය විශ්ලේෂණ මඟින් ඇස්තමේන්තු කර ඇත. විශේෂයෙන්ම 1800 සහ 1900 ගණන්වලදී රැකියා සොයා ලක්ෂ සංඛ්‍යාත ක්විබෙක් වැසියන් ඇමරිකාවට සංක්‍රමණය වූ ඉතිහාසය දෙස බලන විට, ඉදිරියේදී මෙම අයදුම්පත් සංඛ්‍යාව දස දහස් ගණනින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, දුරස්ථ කැනේඩියානු මුතුන් මිත්තෙකු සිටි පමණින්ම අයෙකුට ස්වයංක්‍රීයව පුරවැසිභාවය හිමි නොවේ. අයදුම්කරුවන් විසින් 1947 ජනවාරි 1 වැනිදායින් පසුව (කැනේඩියානු පුරවැසි පනත මුල්වරට බලාත්මක වූ දිනය) කැනේඩියානු පුරවැසිභාවය දැරූ මවක්, පියෙක් හෝ මුතුන් මිත්තෙකු තමන්ට සිටි බව සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුය. (Newfoundland සහ Labradorප්‍රාන්තය සඳහා මෙය 1949 අප්‍රේල් 1 වැනිදායින් පසුව විය යුතුය).

මෙම නව නීතිමය ක්‍රියාවලිය හේතුවෙන් කැනඩාවේ පොදු මූල්‍ය පද්ධතියට සහ භාණ්ඩාගාරයට ක්ෂණිකව සිදුවන බලපෑම අවම මට්ටමක පවතිනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි. ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙම නව ප්‍රතිපාදන යටතේ පුරවැසිභාවය ඉල්ලා සිටින ඇතැම් පුද්ගලයන් දැනටමත් රැකියා හෝ අධ්‍යාපන වීසා වැනි විවිධ නීත්‍යනුකූල අවසර පත්‍ර මත කැනඩාව තුළම පදිංචිව සිටීමයි. ඔවුන් දැනටමත් මෙරට වෘත්තීන්හි නියැලෙමින්, භාණ්ඩ හා සේවා පරිභෝජනය කරමින් සහ සෘජු හා වක්‍ර බදු මුදල් ගෙවමින් රටේ පොදු රාජ්‍ය ආදායම් පද්ධතියට සක්‍රියව දායක වෙති. එබැවින්, මෙම නීතිය හරහා ඔවුන්ට මෙතෙක් අහිමිව තිබූ පුරවැසි අයිතිය නීත්‍යනුකූලව තහවුරු වීම පමණක් සිදු වන බැවින්, ඔවුන්ගෙන් රටේ ආර්ථීකයට අලුතින් කිසිදු අහිතකර බලපෑමක් හෝ මූල්‍යමය බරක් ඇති නොවේ.

අනෙක් අතට, මෙම නීති සංශෝධනයේ පිහිටෙන් පුරවැසිභාවය ලබන නමුත් තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදයේ හෝ වෙනත් විදේශ රටකම පදිංචිව සිටින පිරිස්වලට, කැනේඩියානු පුරවැසි සහතිකය තිබූ පමණින්ම කැනඩාවේ පොදු වරප්‍රසාද සහ සමාජ සුභසාධන සහන භුක්ති විඳීමට ක්ෂ‚ක නීතිමය හිමිකමක් ලැඛෙන්නේ නැත. උදාහරණයක් ලෙස, කැනඩාවේ නොමිලේ සැපයෙන පළාත් සෞඛ්‍ය රක්ෂණ පහසුකම් (OHIP වැනි) ලබා ගැනීමට නම්,

පුද්ගලයෙකු පුරවැසියෙකු වුවද වසරකට නිශ්චිත දින ගණනක් සැබවින්ම අදාළ ප්‍රාන්තය තුළ පදිංචිව ජීවත් විය යුතුය. විදේශයන්හි සිටින අයට මෙරටට පැමිණ ස්ථීර පදිංචිය තහවුරු කරගන්නා තෙක් එවැනි වෛද්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට කිසිදු ඉඩක් නොමැත.

එමෙන්ම, කැනඩාවේ වයස්ගත වීමේදී හිමිවන සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් හෝ වෙනත් රාජ්‍ය දීමනා ලබා ගැනීම සඳහාද මෙරට නීතියෙන් දැඩි සීමාවන් පනවා ඇත. ඒ අනුව යම් අයෙකු එවැනි දීමනාවලට සුදුසුකම් ලැබීමට නම්, වයස අවුරුදු දහඅටෙන් පසුව අවම වශයෙන් වසර දහයක් හෝ විස්සක් වැනි දීර්ඝ කාලයක් කැනඩාව තුළ සැබවින්ම ජීවත් වෙමින් බදු ගෙවා තිබීම අනිවාර්ය වේ. මේ හේතුව නිසා, විදේශයන්හි වෙසෙන මෙම නව පුරවැසියන් කැනඩාවට සෘජුවම සංක්‍රමණය වී ස්ථීර පදිංචිකරුවන් බවට පත්වන තෙක්, ඔවුන් වෙනුවෙන් දැවැන්ත සුභසාධන වියදම් දැරීමට කැනඩා රජයට සිදු නොවන බැවින්, පවතින මූල්‍යමය බලපෑම ඉතා සීමිත මට්ටමක පවතින බව ප්‍රවීණයෝ පෙන්වා දෙති.

පුරවැසි සහතිකයේ බලතල සහ මැතිවරණ සීමා

මෙම පුරවැසි සහතිකය භාවිත කරමින් අයෙකුට කැනඩාවේ ස්ථීර පදිංචියට පැමිණීමට මෙන්ම කැනේඩියානු ගමන් බලපත්‍රයක් ලබා ගැනීමටද අවස්ථාව හිමිවේ. එහෙත්, කැනේඩියානු මැතිවරණ කොමිසම අවධාරණය කරන්නේ වැදගත් රීතියකි. එනම්, යම් පුද්ගලයෙකු සිය ජීවිත කාලය තුළ කිසිදු දිනෙක කැනඩාවේ සැබවින්ම ජීවත් වී නොමැති නම්, මෙම සහතිකය තිබූ පම‚න්ම ඔවුන්ට කැනේඩියානු මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමේ නීත්‍යානුකූල හිමිකම ලැඛෙන්නේ නැත.

ඇමරිකානුවන් කැනඩා පුරවැසිභාවය ගන්නේ ඇයි?

සංක්‍රමණ නීතිඥවරුන් පෙන්වා දෙන්නේ වත්මන් ඇමරිකා එක්සත් ජනපදයේ පවතින දේශපාලනික සහ සමාජීය වාතාවරණය හේතුවෙන් බොහෝ ඇමරිකානුවන් කැනේඩියානු පුරවැසිභාවය කෙරෙහි යොමුවන බවයි. එරට තත්ත්වය තවදුරටත් සංකීර්ණ වුවහොත් භාවිත කිරීම සඳහා ආරක්ෂිත විකල්ප සැලසුමක් (Backup)ලෙස බොහෝ දෙනා මෙය සූදානම් කරගන්නා අතර, ඇතැම් පිරිසකට මෙය හදිසි අවශ්‍යතාවකි.

විශේෂයෙන්ම, තම දරුවන් සමලිංගික හෝ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් වීම නිසා ඔවුන්ගේ අනාගත ආරක්ෂාව පිළිබඳව කනස්සල්ලෙන් පසුවන මව්පියන් රැසක් සිය කැනේඩියානු උරුමය තහවුරු කරගැනීමට පෙළඹී සිටිති. එමෙන්ම, ඇමරිකානු රජය විසින් අනිවාර්ය හමුදා සේවය නැවත බලාත්මක කළහොත් තම දරුවන්ට බලහත්කාරයෙන් හමුදාවට බැඳීමට සිදුවනු ඇතැයි පවතින බියද මීට තවත් ප්‍රධාන හේතුවකි. පවතින දැඩි තදබදය මධ්‍යයේ වුවද, කැනඩාවේ උසස් අධ්‍යාපන අවස්ථා හිමිවූවන්ගේ සහ මෙලෙස ආරක්ෂක අවදානම් පවතින අයගේ අයදුම්පත් හදිසි පදනමක් මත සලකා බැලීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

සංක්‍රමණික නීති පිළිබඳ ප්‍රවීණයන් සහ විචාරකයන් පවසන්නේ මෙම තත්ත්වය මහා ව්‍යාපාරයක ආරම්භයක් පමණක් වන අතර, නව නීතිමය සහනය යටතේ ඉදිරියේදී කැනේඩියානු පුරවැසිභාවය ලැබීමට සැබවින්ම සුදුසුකම් ඇති සමස්ත ගෝලීය ජනගහනයෙන් මේ දක්වා ඉදිරිපත්ව ඇත්තේ ඉතාම අවම ප්‍රතිශතයක් පමණක් විය හැකි බවයි.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!