දෙමාපියන් සහ ආච්චිලා, සීයලා සඳහා ස්ථිර පදිංචිය (PR) ලබාගැනීම සඳහා, අනුග්‍රහය දැක්වීමේ නව අයදුම් භාර ගැනීම ආගමන අමාත්‍ය Marc Miller ගේ නියෝගයකට අනුව නැවත දැනුම් දෙන තුරු නවතා ඇත. කැනඩා ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙම නියෝගයේ සඳහන් වන්නේ, කැනඩා රජය පවුල් නැවත එක් කිරීම සඳහා කැප වී සිටින නමුත්, මේ මොහොතේදී පසුගිය වසරේ අයදුම්පත් සැකසීම කෙරෙහි පමණක් අවධානය යොමු කරන බවයි.
කැනඩා රජයේ ආගමන මට්ටම් සැලැස්ම යටතේ, ඉදිරි වසර තුන තුළ සංක්‍රමණවල සමස්ත අඩුවීමක් දැකීමට අපේක්ෂා කෙරේ. මෙම අත්හිටුවීම 2024 හි පවුල් නැවත එක්වීමේ වැඩසටහන යටතේ අයදුම් කළ අයදුම්පත්වලට බල නොපාන අතර එම අයදුම්කරුවන් අතරින් 15,000 ක් පමණක් සලකා බැලීමට කටයුතු කරන බව IRCC පවසයි.
දෙමාපියන් සහ ආච්චිල, සීයලා සඳහා වන වැඩසටහන (Parents and Grandparents Program-PGP) යටතේ කැනේඩියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට තම දෙමාපියන් හා ආච්චිලා, සීයලා සඳහා කැනඩාවේ ස්ථිර පදිංචියට අනුග්‍රහය දැක්වීමට ඉඩ සලස්වා තිබුණි. මෙම වැඩසටහනේ නිර්ණායකයන් සපුරාලන වැඩිහිටියන් සඳහා කැනඩාවේ ස්ථිර පදිංචිය ලබාගත හැකි අතර අවසානයේ කැනඩාවේ පුරවැසිභාවය අයදුම් කළ හැක. PGP හරහා පැමිණෙන පුද්ගලයන්ට කැනඩාවේ රැකියා කිරීමේ අවස්ථාව,සෞඛ්‍ය සේවා ලබා ගැනීම, කැනේඩියානු නීතිය, අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳ ප්‍රඥප්තිය යටතේ පූර්ණ ආරක්ෂාව ලබා ගැනීම ඇතුළු ප්‍රතිලාභ රැසක් භුක්ති විඳීමේ අවස්ථාව සැලසේ.
කැනේඩියානු පුරවැසියන්ම තම වැඩිහිටියන් කැනඩාවට ගෙන්වා ගැනීමට සහ දීර්ඝ කාලයක් රඳවා ගැනීමට අවශ්‍ය නම් මේ වන විට ක්‍රියාත්මක වන එකම විකල්පය වන්නේ සුපිරි වීසා (super visa) ක්‍රමය පමණි. සුපිරි වීසා මගින් පැමිණීමේදී වසර පහක් එක දිගට කැනඩාව තුළ රැඳී සිටිය හැකි අතර වසර 10 ක කාලයක් තුළ කැනඩාවට බහුවිධ ප්‍රවේශයන් සඳහා ඉඩ ලබා දේ. මෙහිදී කැනඩාවේ ප්‍රාන්තබදව ක්‍රියාත්මක වන පුරවැසියන්ට හිමිවන නිදහස් සෞඛ්‍ය රක්ෂණය සුපිරි වීසා මගින් එන වැඩිහිටියන්ට නොලැබෙන අතර ඔවුන්ගේ සෞඛ්‍ය ආදි කටයුතු සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට වගබලා ගත යුතු වේ.
Share this Post