පෙබරවාරි 04 වනදා ටොරොන්ටෝවේ ඇමරිකානු කොන්සල් ජනරාල් කාර්යාල අසලට රැස් වූ කැනේඩියානුවන් සිය ගණනක් උතුරු ඇමරිකාව තුළ අහිංසක මුස්ලිම් ජනතාවට එරෙහිව ඇතිවෙමින් පවතින තත්ත්වයට විරෝධය පළ කරන්නට විය. ඉරානය, ඉරාකය, සිරියාව, යේමනය, සුඩානය, සෝමාලියාව හා ලිබියාව යන රටවල් හතක ජාතිකයන් හට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ආ ආගමන නීතිය වෙනස් කළ යුතු බව එක හඬින් ඉල්ලා සිටි මොවුහු, දැනට කැනඩාව තුළ ඇතිවෙමින් පවතින ඉස්ලාම් භීතිකාවටද (Islamophobia) දැඩි විරෝධය පළ කර සිටියහ.
ජනාධිපති ට්‍රම්ප් විසින් ගෙන ආ නව ආගමන රෙගුලාසියත් සමගම පසුගිය දින කීපයේදී මෙවැනි විරෝධතා රැළි රැසක් කැනඩාවේ නගර කීපයකම සංවිධානය වී තිබුණු ආකාරය දක්නට ලැබුණි. ජනවාරි 30 වනදාද ටොරොන්ටෝව තුළ ට්‍රම්ප් විරෝධී රැළියක් සංවිධානය කර තිබුණු අතර පැවති දැඩි සීත දේශගුණයද නොතකමින් එයටද විශාල පිරිසක් සහභාගි වී සිටින අයුරු දක්නට ලැබුණි. එ් අනුව ටොරොන්ටෝවේ දින කිහිපයක් තුළ ඇමරිකානු ජනාධිපති හට විරෝධය දැක්වීමට සංවිධානය වූ දෙවෙනි රැළිය මෙය විය.
මේ අතර ජනාධිපති ට්‍රම්ප් විසින් ප්‍රධාන මුස්ලිම් රටවල් 7 කට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ගෙන ආ නියෝගයත් සමගම උතුරු ඇමරිකාවේ ඇතැම් තැන්වලදී මුස්ලිම්වරුන්ට අරියාදු ගැහැට විඳීමට සිදුවී තිබුණු බව වාර්තා වේ. එහිදී ඇමරිකාවේ ටෙක්සාස් හි මුස්ලිම් පල්ලියක් ගිනි තබා විනාශ කර තිබුණු අතර මෙහි බිහිසුණුම පුවත වාර්තා වූයේ කැනඩාවේ ක්‍යුඛෙක් ප්‍රාන්තයේ මුස්ලිම් පල්ලියක් තුළිනි. ක්‍යුඛෙක් ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානය නම් වූ මෙම පල්ලියෙහි සිදුවූ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
පසුගිය දිනවල කැනඩාව පුරා දක්නට ලැබුණු සියලූම විරෝධතා රැළිවලදී ජාති බේදයකින් තොරව මේ වෙඩි තැබීම දැඩි ලෙස හෙලා දකින ආකාරය දක්නට ලැබුණි.
ඉස්ලාම් ජාතිකයන් පිළිබඳව පොදු ජනතාව තුළ පවතින ඉස්ලාම් භීතිකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැනේඩියානු මුස්ලිම් ජාතිකයකු පවසා ඇත්තේ, ‘එක්සත් ජනපදයේ ට්‍රම්ප් ගත් තීරණය වගේ දෙයක් කැනේඩියානුවන් වන අපට සිදුවන්නේ නැති බව සැබෑවක්. එහෙත් ක්‍යුඛෙක් මුස්ලිම් පල්ලියේ සිදුවූ වෙඩි තැබීම වැනි සිදුවීම් නැවත නොවේ යැයි සිතීමට අපට දැන් හැකියාවක් නෑ. මෙවැනි වටපිටාවක් තුළ අපිට අපේ රට තුළ (කැනඩාවේ) ආරක්ෂිත බවක් දැනෙන්නේ නෑ. ඉස්ලාම් භීතිකාවක් මේ රට තුළ ඇති වීම සැබවින්ම අයුක්ති සහගතයි. එය අතිශයින්ම වැරදි වැටහීමක්. කැනඩාව තුළ අපි හැමෝම සමාන අයිතිවාසිකම් සහිත කැනේඩියානුවන් පමණයි’ යනුවෙනි.
මෙම රැළි සංවිධානය කළ පිරිස විසින් අගමැති ටෘෘඩෝ වෙත ඉල්ලීම් ලැයිස්තුවක්ද ඉදිරිපත් කර තිබුණු අතර නව සංක්‍රමණිකයන්ට ස්ථීර වීසා ලබා දීම සඳහා ඇමරිකානු දේශ සීමා වීවෘත කරන ලෙසත් ට්‍රම්ප්ගේ සංක්‍රමණ තහනමට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසත් එහිදී ඉල්ලා තිබුණි.
2017 වසර ලබා මේ වන විට ඉක්ම ගොස් ඇත්තේ මාසයක පමණ කාලයක් වුවත් එම කාලය තුළ මහා පරිමාණයේ ජනතා විරෝධතා තුනක් ටොරොන්ටෝව තුළ පවත්වා ඇත. ජනවාරි 21 වෙනි දින කාන්තාන්වන් විථී බැස සිදුකළ Toronto Women’s March ඉන් පළමුවැන්නයි. ක්වීන්ස් පාක් හි නේතන් පිලිප්ස් චතුරශ්‍රයෙහි පැවති මෙම රැළියේදී කාන්තාවන්ගේ මානව හිමිකම් සුරැකීම පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කොට තිබුණි. ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති ලෙස දිවුරුම් දී දින දෙකක් ඉක්ම යත්ම පැවති මෙම පෙළපාලියේදී ට්‍රම්ප් විසින් කාන්තාවන් අවමානයට ලක් කරමින් සිදුකළ ප්‍රකාශයන් පිළිබඳවද සඳහන් වී තිබුණි. සමාජ පසුබිම අතින් සියලූම තරාතිරම් නියෝජනය කරමින්ද සියලූම වයස් සීමාවන් නියෝජනය කරමින්ද සියලූම ජාතීන් නියෝජනය කරමින්ද කාන්තාවන් දහස් ගණනක් මෙම විරෝධතා රැළියට සහභාගි වී සිටිනු දක්නට ලැබුණි.
ටොරොන්ටෝව වැනි අතිශයින් ජනාකීර්ණ නගරයක මෙවැනි දැවැන්ත විරෝධතා රැළි පැවැත්වීම නිසා මහා මාර්ග අවහිර වීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින ආකාරය එම දින කීපයේදීම දක්නට ලැබුණි.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!