ගර්භාෂය යනු කාන්තා ප්‍රජනක පද්ධතියේ දරු ගැබක් වැඩීමට ඉඩ සලසන ප්‍රදේශයයි. ගර්භාෂ බිත්තියේ සිදුවන අස්වාභාවික සෛල වර්ධනය වීමක් ගර්භාෂ පිළිකාවට හේතු වේ. ගර්භාෂ බිත්තිය සෛල ස්ථර 3 කින් සමන්විත වන අතර අභ්‍යන්තර බිත්තිය එන්ඩ්‍රොමෙට්‍රියම් (endometrium) ලෙස හැඳින්වේ. බොහෝ විට ගර්භාෂ පිළිකාව ඇතිවන්නේ මෙම එන්ඩ්‍රොමෙට්‍රියම් ප්‍රදේශයේය.

Uterine Cancerගර්භාෂ පිළිකාව වඩාත් සුලභව දක්නට ලැඛෙන්නේ වයස අවුරුදු 45 ට වැඩි ආර්තවහරණයට (post-menopause) ලක් වූ කාන්තාවන් අතරය. සුදු ජාතික කාන්තාවන් අතර මෙම පිළිකාව වඩාත්ම බහුලව දක්නට ලැබේ. ලෝකයේ අනෙකුත් සියලුම රටවල කාන්තාවන්ට වඩා උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ කාන්තාවන් අතර ගර්භාෂ පිළිකාව බහුලව දක්නට ලැබේ.

2013 වසරේදී කැනේඩියානු කාන්තාවන් 5600 ක් ගර්භාෂ පිළිකාවට ගොදුරු වී ඇති අතර ඉන් 890 ක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ගර්භාෂ පිළිකාවට බලපාන හේතු 

Estrogen hormone replacement therapy

බොහෝ විට ආර්තවහරණයෙන් පසු ලබාගන්නා ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රතිකාර මෙම පිළිකාවේ අවධානම ඉහළ නංවයි.

ස්ථුලභාවය

අධික බර හෝ ස්ථුලභාවය ගර්භාෂ පිළිකාවේ අවධානම ඉහළ නංවයි. තමාගේ ශරීරයේ තිබිය යුතු ප්‍රශස්ථ බර ප්‍රමාණයට වඩා (Body mass index (BMI) අනුව) රාත්තල් 50 ක් බර වැඩි කාන්තාවක ගර්භාෂ පිළිකාවට ගොදුරු වීමේ අවධානම 10 ගුණයකින් ඉහළය. ස්ථුලභාවය සහ ගර්භාෂ පිළිකාව අතර ඇති සබඳතාව පිළිබඳව පැහැදිලි හේතු සොයාගෙන නැතත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ශරීරයේ මේදය අධික ලෙස තැන්පත් වූ කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවීම ඉහළ යා හැකි බැවින් මෙය ඔවුන් හට ගර්භාෂ පිළිකා අවධානම ඉහළ නැංවීමට හේතු වන බවයි. එසේම ස්ථුලභාවයෙන් පෙළෙන කාන්තාවන්ගේ ශරීරයේ ඉන්සියුලින් හෝමෝන ප්‍රමාණය ඉහළය. පිළිකා ෙසෙල වර්ධනය වීම ඉන්සියුලින් හෝමෝනය මගින්ද ඉහළ නැංවිය හැකිය.

අඩු වයසෙන් ආර්තව චක්‍රය ආරම්භ වීම හෝ ප්‍රමාද වී ආර්තවහරණය සිදුවීම

වයස අවුරුදු 12 ට පෙර ආර්තව චක්‍රය ආරම්භ වූ කාන්තාවන්ගේ ගර්භාෂ පිළිකා අවධානම වැඩිය. එසේම අවුරුදු 55 ට පසුව ආර්තවහරණය සිදුවීමද මෙම පිළිකා අවධානම ඉහළ නංවයි. ඉහත සඳහන් කළ අවස්ථා දෙකේදීම කාන්තාවක් සිය ජීවිත කාලය තුළදී ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවන කාල සීමාව වැඩිකරනු ලබයි.

දරුවන් නොලැබීම

දරුවන් නොලැබීමත් ගර්භාෂ පිළිකා අවධානම ඉහළ නැංවීමට හේතු වේ. දරුවන් නොලැබුණු කාන්තාවකගේ ගර්භාෂ පිළිකා වැළඳීමේ අවධානම එක් දරුවකු හෝ බිහිකළ කාන්තාවකගේ ගර්භාෂ පිළිකා අවධානම මෙන් දෙගුණයක් බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

මීට අමතරව තවත් විවිධ හේතු ගර්භාෂ පිළිකා අවධානම වැඩි කිරීමට හේතුවේ. ඒවා නම්, ගර්භාෂ බිත්තියේ ඇතිවන ඇතැම් රෝගාබාධ (උදාහරණ endometrial hyperplasia) වෙනත් පිළිකා සඳහා ලබාගන්නා ඖෂධ හෝ විකිරණ ප්‍රතිකාර, දියවැඩියාව ආදි තත්ත්වයන්, අධික රුධිර පීඩනය.

ගර්භාෂ පිළිකා අවධානම අඩුකර ගත හැක්කේ කෙසේද?

ශරීරයේ බර ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීම බොහෝ රෝග පීඩාවන්ගේ අවධානම අවම කිරීමට හේතු වේ. මෙය ගර්භාෂ පිළිකාවටත් පොදුය.

ශාරීරික ව්‍යායාමවල යෙදීම, සමබර ආහාර වේලක් ගැනීම, දියවැඩියාව සහ අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් පාලනය කිරීම මෙම පිළිකා අවධානම අඩු කිරීමට හේතු වේ.

ගර්භාෂ පිළිකාවේ රෝග ලක්ෂණ මොනවාද?

ගර්භාෂ පිළිකාවක ආරම්භක අවධියේදී අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයෙන් ලේ වහනය වීමේ රෝග ලක්ෂණය දක්නට ලැබේ. බොහෝවිට  කාන්තාවන් මෙය ඔසප් වීම ලෙස වරදවා වටහා ගනු ලබයි. නමුත් ඔසප් චක්‍රයේ අතරමැද අවස්ථාවලදී ලේ පිටවීම රෝග ලක්ෂණයක් විය හැකි බව මතක තබාගත යුතු වේ. ආර්තවහරණයට පසුව හෝ පෙර දරුණු ලෙස ලේ වහනය වීම ගර්භාෂ පිළිකාවක ආරම්භක අවස්ථාවේ දක්නට ලැබේ. මීට අමතරව ලිංගික ක්‍රියාවකදී ලේ පිටවීම හෝ වේදනාව ඇතිවීම, යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස ස්‍රාවයක් පිටවීම, ශ්‍රෝනි ප්‍රදේශයේ :චැකඩසජ- වේදනාව ගර්භාෂ පිළිකා රෝග ලක්ෂණ විය හැකිය.

ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ දක්නට ඇත්නම් ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුවීම වැදගත් වේ.

ආචාර්ය සමන්තිකා ඒකනායක (PhD)

Share this Post