කැනඩාවේ නිවාස හිමිකාරිත්වයේ ඉතිහාසය දෙස බලන විට, 1980 දශකයේ මුල් භාගය යනු බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී නොයන, අතිශය දුෂ්කර මෙන්ම තිගැස්සෙන සුළු කාල පරිච්ඡේදයකි. වර්තමානයේ පවතින 3% – 5% වැනි පොලී අනුපාතයන් හමුවේ වුවද කැනඩාවේ නිවාස වෙළඳපොළ වර්තමාන කැනේඩියානුවන්ට දැඩි    අභියෝගයක් වී ඇති පසුබිමක, එදා 1980 දශකයේදී නිවාස හිමියන්ට 21% දක්වා ඉහළ ගිය අදහාගත නොහැකි පොලී අනුපාතයන්ට මුහුණ දීමට සිදු වූ බව ඇසීම සැබවින්ම මවිතයක් මෙන්ම තිගැස්සෙන සුළු කරුණක් වනු නොඅනුමානය.

කැනේඩියානු නිවාස ඉතිහාසයේ ‘අඳුරුතම අවධිය’ ලෙස සැලකෙන එම යුගය, දහස් සංඛ්‍යාත කැනේඩියානුවන්ගේ ජීවිත කාලයක නිවාස සිහිනය එක රැයකින් කඩා වැටුණු දරුණුතම මූල්‍ය අර්බුදය ලෙස ඉතිහාසයට එක්ව තිබේ.

මෙම මූල්‍ය සුළි සුළෙඟ් උච්චතම අවස්ථාව  සනිටුහන් වූයේ 1981 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදීය. එවකට කැනඩා මහ බැංකුව (Bank of Canada) සිය මූලික පොලී අනුපාතය වාර්තාගත සියයට 21.46 දක්වා ඉහළ දැමූ අතර, වාණිජ බැංකුවල නිවාස ණය පොලිය සියයට 22.75 සීමාවට පවා ළඟා විය. ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා ගත් මෙම ක්‍රියාමාර්ගය සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුල්වලට එල්ල කළේ දරාගත නොහැකි මරු පහරකි. නිවසක් මිල දී ගැනීමට ගත් ණය මුදල සඳහා ගෙවිය යුතු මාසික වාරිකය මාස කිහිපයක් ඇතුළත දෙගුණයකින් පමණ ඉහළ යන විට, බොහෝ පවුල්වලට සිදු වූයේ තම දෛනික ආහාර වේල පවා සීමා කරමින් බැංකුවට වාරික ගෙවීමටය.

මෙම අර්බුදය හමුවේ කැනේඩියානු සමාජය තුළ Jingle Mail නම් වූ සංකල්පය ප්‍රසිද්ධ විය. එනම්, නිවාස ණය වාරික ගෙවා ගත නොහැකි වූ දහස් ගණනක් මිනිසුන් සිය නිවසේ යතුරු ලියුම් කවරයක බහා බැංකුව වෙත තැපැල් කර, නිවාස අතහැර හිස් අතින් පිටව යාමයි. නිවාසවල වෙළඳපොළ වටිනාකම ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා, නිවස විකුණා දැමුවද බැංකුවට ගෙවිය යුතු ණය මුදල පියවීමට නොහැකි වීම (Negative equity) බොහෝ දෙනා පත් වූ අන්ත අසරණ තත්ත්වයයි. දශක ගණනාවක ඉතුරුම් සහ මහන්සිය තමා ඉදිරිපිටදීම දියවී යන අයුරු බලා සිටීම හැර වෙනත් විකල්පයක් එකල බොහෝ නිවාස හිමියන්ට ඉතිරිව තිබුණේ නැත.

 එදා එම මූල්‍ය අගාධයෙන් බැට කෑ පරම්පරාව පවසන්නේ, 80 දශකයේ එම අත්දැකීම තවමත් කැනේඩියානු නිශ්චල දේපළ ඉතිහාසයේ නොමැකෙන කැළලක් සහ පාඩමක් ලෙස පවතින බවයි. මෙම ලිපිය හරහා අප උත්සාහ කරන්නේ එම අතීත මූල්‍ය කුණාටුවේ ස්වභාවය සහ එයින් වර්තමානයට ගත හැකි වැදගත් පණිවිඩය කුමක්ද යන්න විමසා බැලීමටයි.

අර්බුදයේ ආරම්භය

1970 දශකයේ අගභාගයේදී ඇරඹි මෙම ආර්ථීක පසුබෑමට මූලිකම හේතුව වූයේ ලොව පුරා පැතිර ගිය පාලනයෙන් තොර උද්ධමනයයි. විශේෂයෙන්ම 1973 සහ 1979 වසරවලදී ඇති වූ ගෝලීය තෙල් අර්බුදය, කැනඩාව ඇතුළු සමස්ත බටහිර ලෝකයේම ආර්ථීක ස්ථාවරත්වය මුළුමනින්ම දෙදරුම් කරවීමට සමත් විය.

මැදපෙරදිග කලාපයේ හටගත් දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් ඉන්ධන සැපයුම සීමා වීම නිසා බලශක්ති පිරිවැය අහස උසට ඉහළ ගිය අතර, එය හුදෙක් ඉන්ධන පෝලිම්වලට පමණක් සීමා නොවූ දැවැන්ත ව්‍යසනයක් බවට පත් විය. බලශක්ති පිරිවැය ඉහළ යාම නිසා ප්‍රවාහන, කෘෂිකාර්මික සහ නිෂ්පාදන යන සෑම ක්ෂේත්‍රයකම පිරිවැය ඉහළ ගිය අතර, එහි අවසන් ප්‍රතිඵලය වූයේ එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා මිල ගණන් ජනතාවට දරාගත නොහැකි ලෙස සීඝ්‍රයෙන් ඉහළ යාමයි.

එසේම, මෙම අහිතකර ආර්ථීක වාතාවරණය හමුවේ එවකට අගමැති Pierre Trudeau ගේ ලිබරල් රජය අනුගමනය කළ මූල්‍ය ප්‍රතිපත්තිද මෙම ගින්නට පිදුරු දැමීමක් වැනි විය. උද්ධමනය ඉහළ යන අතරතුර පවා රජයේ වියදම් ඉහළ නැංවීම සහ විශාල අයවැය හිඟයන් පවත්වාගෙන යාම නිසා වෙළඳපොළ තුළ මුදල් සංසරණය තවදුරටත් ඉහළ ගියේය. රජය විසින් හඳුන්වා දුන් ‘ජාතික බලශක්ති වැඩසටහන’ (National Energy Program – NEP) වැනි ක්‍රියාමාර්ග දේශීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අධෛර්යමත් කිරීමට හේතු වූ අතර, එය ආර්ථීකයේ අස්ථාවරත්වය තවත් වැඩි කළේය.

ටෘඩෝ රජය උත්සාහ කළේ රැකියා ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා මෘදු මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට වුවද, එයින් සිදු වූයේ උද්ධමනය තවදුරටත් ඉහළ යාමයි.

1981 වසර වන විට කැනඩාවේ වාර්ෂික උද්ධමන වේගය සියයට 12.5 ක් වැනි බිහිසුණු මට්ටමකට ළඟා වූයේ, සාමාන්‍ය වැටුප් ලබන ජනතාවගේ ජීවන තත්ත්වය අගාධයකට ඇද දමමිනි. මුදලේ අගය වේගයෙන් හීන වී යාම නිසා ජනතාව සතු ඉතිරි කිරීම්වල වටිනාකම ක්ෂය වී ගිය අතර, දෛනික අවශ්‍යතා සපුරා ගැනීම පවා දැඩි අරගලයක් බවට පත් විය. උද්ධමනය මර්දනය කිරීම සඳහා බලධාරීන් අනුගමනය කළ දැඩි මූල්‍ය උපායමාර්ගයන් නිසා ඇති වූ ‘මූල්‍ය කම්පනය’, උද්ධමනයටත් වඩා බරපතල සමාජීය ඛේදවාචකයක් බවට පරිවර්තනය විය. මෙය රට තුළ මහා ආර්ථීක පසුබෑමක් (Recession) නිර්මාණය කළ අතර, එහි සෘජු ගොදුර බවට පත් වූයේ තම ජීවිත කාලය පුරාම වෙහෙස වී උපයාගත් ධනයෙන් නිවසක් මිල දී ගත් සාමාන්‍ය වැසියන්ය.

 1980 දශකයේ මුල් භාගයේ මෙරට වැසියන් අත්විඳි එම අඳුරු මතකයන් අපට පසක් කර දෙන්නේ, ගෝලීය දේශපාලන අර්බුද හමුවේ ඇති වන උද්ධමනය පාලනය කිරීමට ගන්නා ඕනෑම දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක අවසාන බර පටවනු ලබන්නේ සාමාන්‍ය ජනතාවගේ උරහිස මත බවයි. එදා බොහෝ පවුල්වලට තම නිවෙස් අහිමි වීම සිදුවූයේ පාලනය කරගත නොහැකි වූ මෙම අහිතකර ආර්ථීක පරිසරය හේතුවෙනි.

බිහිසුණු ආර්ථීක උගුල

එකල පැවති මූල්‍ය අර්බුදය තවදුරටත් උග්‍ර කිරීමට බලපෑ ප්‍රධානතම සාධකය වූයේ ආර්ථීක විද්‍යාවේ ‘වැටුප්-මිල සර්පිලය’ (Wage-price spiral) ලෙස හඳුන්වන විනාශකාරී ක්‍රියාවලියයි. මෙය කෙතරම් දරුණු වූවාද කිවහොත්, උද්ධමනය පාලනය කිරීම වෙනුවට එය තව තවත් පෝෂණය කරන යාන්ත්‍රණයක් බවට පත් විය. ඉහළ යන ජීවන වියදම හමුවේ සිය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා සේවකයෝ අඛණ්ඩව වැඩි වැටුප් ඉල්ලා සිටි අතර, ව්‍යාපාරික ආයතන එම වැටුප් පිරිවැය පියවා ගැනීම සඳහා තමන් නිපදවන භාණ්ඩ හා සේවාවල මිල ගණන් නැවතත් ඉහළ දැමූහ. මෙලෙස මිල ඉහළ යන විට සේවකයන් නැවතත් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටීම නිසා ආර්ථීකය කිසිදා නිම නොවන, පාලනයෙන් තොර විෂම චක්‍රයකට හසු විය.

මෙම තත්ත්වය තවත් දරුණු වූයේ එවකට පැවති රජයන් අනුගමනය කළ මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙනි. ආර්ථීක වර්ධනය උත්තේජනය කිරීම සහ රැකියා උත්පාදනය කිරීමේ අරමුණින් රජය වැඩි වශයෙන් මුදල් වෙළඳපොළට මුදා හැරීම නිසා, උද්ධමන අර්බුදය ඉහළ යාම වඩාත් සීඝ්‍ර විය. මුදලේ අගය වේගයෙන් හීන වී ගිය අතර, කැනේඩියානු ඩොලරයට තිබූ මිල දී ගැනීමේ හැකියාව දිනෙන් දින දුර්වල වන්නට විය. ජනතාවට තමන් උපයන මුදලින් එදිනෙදා අවශ්‍යතා පවා සපුරා ගැනීම සිහිනයක් බවට පත් වූයේ මේ නිසාය.

අවසානයේදී, මෙම මාරාන්තික විෂම චක්‍රය බිඳ දැමීම සඳහා කැනඩා මහ බැංකුව සහ එක්සත් ජනපද Federal Reserve බැංකුව අතිශය දැඩි මෙන්ම වේදනාකාරී තීරණයක් ගත්තේය. ඒ, වෙළඳපොළේ සංසරණය වන මුදල් ප්‍රමාණය කෘත්‍රිමව සීමා කිරීම සඳහා පොලී අනුපාතයන් අසාමාන්‍ය ලෙස ඉහළ නැංවීමයි. ඔවුන්ගේ තර්කය වූයේ පොලී අනුපාත ඉහළ දැමීම හරහා ණය ගැනීම සහ වියදම් කිරීම අධෛර්යමත් කිරීමෙන් පමණක් මෙම ‘මිල-වැටුප්’ තරඟය නතර කළ හැකි බවයි.

කෙසේ වෙතත්, මෙම තීරණය උද්ධමනය පාලනය කිරීමට සමත් වුවද, එහි ප්‍රතිඵලය වූයේ සමස්ත ආර්ථීකයම අකර්මන්‍ය වීමයි. ව්‍යාපාර බිඳ වැටීම, විරැකියාව ඉහළ යාම සහ විශේෂයෙන්ම නිවාස ණය ගෙවා ගත නොහැකි වීම නිසා දහස් සංඛ්‍යාත පවුල් මහමගට වැටීම මෙම ආර්ථීක සැත්කමේ අතුරු ආබාධ විය. එදා 80 දශකයේ බලධාරීන් ගත් එම ‘කටුක ඖෂධය’ උද්ධමනය නැමති රෝගය සුව කළද, එයින් සාමාන්‍ය ජනතාවට විඳින්නට සිදු වූ වේදනාව දශක ගණනාවක් යනතුරුත් කැනේඩියානු සමාජය තුළ දෝංකාර දෙමින් පැවතුණි.

Volcker Shock සහ කැනේඩියානු නිවාස සිහින අළු දූවිලි වීම

1980 දශකයේ මුල් භාගයේ ඇති වූ මෙම මූල්‍ය කුණාටුවේ ප්‍රධාන මෙහෙයවන්නා වූයේ එවකට එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව්හි සභාපති Paul Volcker ය. උද්ධමනය නමැති මාරයා පරාජය කිරීම සඳහා ඔහු අනුගමනය කළේ අතිශය දැඩි සහ සම්ප්‍රදායික නොවන මූල්‍ය ප්‍රතිපත්තියකි. උද්ධමනය පාලනය කිරීමට නම් වෙළඳපොළේ මුදල් සංසරණය අඩාල කළ යුතු බව දැඩිව විශ්වාස කළ ඔහු, පොලී අනුපාතයන් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මට්ටමකට ඉහළ දැමීමට නායකත්වය දුන්නේය. මෙය ඉතිහාසයේ  Volcker Shock ලෙස හැඳින්වෙන අතර, ඇමරිකානු ආර්ථීකය සමඟ දැඩිව බද්ධ වී තිබූ කැනේඩියානු ආර්ථීකයටද එම මාවතේම ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවීය.

ඒ අනුව, කැනඩා මහ බැංකුවද සිය පොලී අනුපාතයන් අහස උසට ඔසවා තැබීමට පියවර ගත්තේය. මෙහි උච්චතම අවස්ථාව සනිටුහන් වූයේ 1981 අගෝස්තු මාසයේදීය. එවකට කැනඩාවේ මූලික බැංකු පොලී අනුපාතය (Bank Rate) වාර්තාගත ලෙස සියයට 22.75 ක් දක්වා ඉහළ ගියේය. මෙහි සෘජු ප්‍රතිඵලය වූයේ වාණිජ බැංකු මගින් ලබාදෙන වසර පහක ස්ථාවර නිවාස ණය (5-year fixed mortgage) පොලී අනුපාතය සියයට 21 ක සීමාව පසුකර යාමයි. වර්තමානයේ අප කතා කරන 5% හෝ 6% පොලී අනුපාතයන් සමඟ සසඳන විට, මෙය සැබවින්ම සිතාගත නොහැකි තරම් බිහිසුණු මූල්‍ය පීඩනයකි.

80 දශකයේ සමාජ ඛේදවාචකය

පොලී අනුපාත ඉහළ නැංවීමේ තීරණය වෙනුවෙන් කැනේඩියානුවන්ට ගෙවීමට සිදු වූ වන්දිය අතිමහත්ය. විශේෂයෙන්ම විචල්‍ය පොලී අනුපාත (Variable-rate) යටතේ ණය ලබාගෙන තිබූ පවුල්වලට මෙය මරණ වරෙන්තුවක් හා සමාන විය.

මාසික වාරිකයන් එක රැයකින් ඉහළ ගිය අතර, බොහෝ දෙනෙකුට සිය දෛනික ආහාර වේල පවා සීමා කිරීමට සිදු විය. මෙම පීඩනය දරාගත නොහැකි වූ දහස් සංඛ්‍යාත නිවාස හිමියන්ට සිදු වූයේ සිය දහඩිය මහන්සියෙන් ගොඩනැගූ නිවෙස් බැංකුවට පවරා දීමට හෝ කීයකට හෝ විකුණා දමා කුලී නිවාස කරා පියනැගීමටය. මෙය හුදෙක් මූල්‍යමය අලාභයක් පමණක් නොව, කැනේඩියානු මධ්‍යම පන්තියේ ආත්ම අභිමානය බිඳ දැමූ සාමාජීය ඛේදවාචකයක් බවට පත් විය.

මෙම අසීරු කාල පරිච්ඡේදය තුළ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයද සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිටියේය. ඉහළ පොලී අනුපාත හමුවේ නව නිවාස ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ඉදිකිරීම්කරුවන් බිය වූ අතර, සාමාන්‍ය ජනතාවට නව ණය ලබා ගැනීම සිහිනයක් පමණක් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වඩු කාර්මිකයන්, පෙදරේරුවන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වූ අතර විරැකියා අනුපාතය දශක ගණනාවකට පසු ඉහළම මට්ටමට ළඟා විය.

එකල කැනේඩියානු මධ්‍යම පාන්තික පවුලක සාමාන්‍ය වාර්ෂික ආදායම ඩොලර් 20,000 – 25,000 අතර පරාසයක පැවති‚. අද පවතින වැටුප් මට්ටම් සමඟ සැසඳීමේදී මෙය ඉතා අඩු අගයක් ලෙස පෙනුනද, වඩාත් බරපතල ගැටලූව වූයේ උද්ධමනය හේතුවෙන් දිනෙන් දින ඉහළ ගිය භාණ්ඩ මිලයි. 1980 දශකයේ මුල් භාගයේදී රථවාහන මිල ගණන්ද සාමාන්‍ය වැටුපට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමක පැවතිණි. උදාහරණයක් ලෙස, එකල ජනප්‍රිය මෝටර් රථයක් වූ Honda Civic රථයක් ඩොලර් 5,000 – 6,000 පමණ වූ අතර, මඳක් සුඛෝපභෝගී මෝටර් රථයක් ඩොලර් 10,000 සීමාව ඉක්මවා ගියේය. රථවාහන සඳහා ලබාගන්නා ණය සඳහාද 15% – 18% වැනි ඉහළ පොලියක් ගෙවීමට සිදු වූ බැවින්, නිවසක් මෙන්ම වාහනයක් නඩත්තු කිරීමද සාමාන්‍ය ජනයාට දැඩි අසීරු කාර්යයක් විය.

එදිනෙදා ජීවන වියදම දෙස බැලීමේදී, 1980 වසර වන විට කැනඩාවේ ඉන්ධන ලීටරයක මිල සත 25 – 30 සීමාවේ සිට වසර කිහිපයක් ඇතුළත සත 50 – 60 දක්වා දෙගුණයකින් පමණ ඉහළ ගියේය. මෙය ප්‍රවාහන වියදම් ඉහළ නැංවීමට සෘජුවම බලපෑවේය. ආහාර ද්‍රව්‍ය මිල ගණන්ද මෙලෙසම ඉහළ ගිය අතර, පාන් ගෙඩියක් සත 70 කටත්, කිරි ලීටරයක් සත 80 කටත් වඩා අඩු මිලකට පැවති යුගය වේගයෙන් නිමාවට පත් විය.

පවුලක මාසික ආදායමෙන් වැඩි හරියක් ආහාර, ඉන්ධන සහ අත්‍යවශ්‍ය උපයෝගිතා සේවා (Utilities) සඳහා වැය වූ පසු, ඉතිරි වන සුළු මුදලින් සියයට 21 ක නිවාස ණය පොලියක් ගෙවීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් විය. බොහෝ දෙනෙකුට සිදුවූයේ තම නිවස රැක ගැනීම වෙනුවෙන් වාහනය විකුණා දැමීමට හෝ පවුලේ අනෙකුත් සියලූ වියදම් අතිශයින්ම සීමා කිරීමටය. මෙම මූල්‍ය තත්ත්වය 80 දශකයේ කැනේඩියානු සමාජය තුළ ඇති කළේ “ජීවත් වීමට වඩා පැවැත්ම උදෙසා සටන් කළ යුතු” (Survival mode) වාතාවරණයකි.

නිවාස වෙළඳපොළ නැවත පණ ලැබීම

1980 දශකයේ මුල් භාගයේ පැවති බිහිසුණු පොලී අනුපාත 1982 වසරේ අගභාගයේ සිට ක්‍රමයෙන් පහත වැටෙන්නට විය. 20% සීමාව ඉක්මවා තිබූ පොලිය වසර කිහිපයක් ඇතුළත තනි ඉලක්කමක අගයන් දක්වා ගමන් කිරීමත් සමඟ, වසර ගණනාවක් නිවාස මිල දී ගැනීමේ සිහිනය පසෙක ලා සිටි ජනතාව නැවතත් වෙළඳපොළ වෙත ඇදී එන්නට වූහ. මෙම ‘සිරවී තිබූ ඉල්ලුම’ (Pent-up demand) එකවරම නිදහස් වීම නිසා නිවාස සඳහා වූ තරඟය පෙර නොවූ විරූ ලෙස ඉහළ ගියේය. අර්බුද සමයේ නව නිවාස ඉදිකිරීම් අඩාල වී තිබීම නිසා ඇති වූ දැඩි නිවාස හිඟය, මෙම මිල ඉහළ යාමට තවත් ප්‍රධාන හේතුවක් විය.

දශකයේ මැද භාගය වන විට ආර්ථීකය නැවතත් ස්ථාවර මට්ටමකට පැමි‚ අතර, ව්‍යාපාර ක්ෂේත්‍රය ප්‍රබෝධමත් වීමත් සමඟ රැකියා අවස්ථා නැවත උත්පාදනය විය. 80 දශකයේ අග භාගය වන විට උද්ධමනය පාලනය වී තිබූ අතර, මිනිසුන්ගේ ආදායම් මට්ටම්ද යම් ප්‍රමාණයකට ඉහළ ගියේය. පොලී අනුපාත අඩු වීමත් සමඟ බැංකු විසින් නිවාස ණය ලබාදීම නැවතත් ලිහිල් කළ අතර, එය නිවාස මිල සීඝ්‍රයෙන් ඉහළ යාමට මග පෑදුවේය. 1980 දී ඩොලර් 76,000 ක් වූ සාමාන්‍ය නිවාස මිල 1989 වන විට ඩොලර් 274,000 දක්වා ඉහළ යාමෙන් පෙනී යන්නේ දශකයක් ඇතුළත නිවාස වටිනාකම තුන් ගුණයකටත් වඩා වැඩි වූ ආකාරයයි.

නමුත් මෙම ප්‍රබෝධයේ වාසිය භුක්ති වින්දේ අර්බුද සමයේ කෙසේ හෝ සිය නිවාස රැකගත් පිරිස සහ එම කාලයේම අඩු මිලට නිවාස මිල දී ගත් ආයෝජකයින් පම‚. අර්බුදය හමුවේ සිය නිවාස බැංකුවට සින්න වූ දහස් සංඛ්‍යාත පවුල්වලට සිදු වූයේ ඉහළ යන මිල ගණන් හමුවේ නැවතත් නිවසක් මිල දී ගැනීමට නොහැකිව අසරණ වීමටය. මේ අනුව, 80 දශකයේ නිවාස වෙළඳපොළ යථා තත්ත්වයට පත්වීම යනු එක් පිරිසකගේ ජයග්‍රහණයක් මෙන්ම තවත් පිරිසකගේ සදාකාලික මූල්‍ය පසුබෑමක් ලෙස ඉතිහාසයට එක් විය.

අතීතයේ පාඩමෙන් වර්තමානය ජය ගැනීම

“මේ සියල්ල අද පවතින වෙළඳපොළට බලපාන්නේ කෙසේද?” කියා ඔබ විමසනු ඇත. එය ඉතා කාලෝචිත ප්‍රශ්නයකි. 2026 වසරේදී නැවතත් පොලී අනුපාතයන්හි යම් යම් වෙනස්වීම් සිදුවෙමින් පවතින අතර, බොහෝ දෙනෙකුට එහි බලපෑම දැනෙන්නට පටන් ගෙන ඇත. නමුත් 1980 දශකයේ අර්බුදය අපට කියා දෙන්නේ බිය වීමට වඩා, නිවැරදි සැලසුම්කරණය සහ අවබෝධය තුළින් ඕනෑම ආර්ථීක තත්ත්වයකදී ඔබේ නිවාස සිහිනය සුරක්ෂිත කරගත හැකි බවයි.

බුද්ධිමත් නිවාස හිමියෙකු ලෙස ඔබ සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් මෙන්න:

පොලී අනුපාත වෙනස්වීම් සඳහා කල්තියා සූදානම් වන්න

අද ඔබ උකස් ණයක් (Mortgage) ලබා ගන්නේ නම්, අනාගතයේදී පොලී අනුපාතයන්හි සුළු වැඩිවීමක් සිදු වුවද එය දරා ගැනීමට ඔබට හැකි බව මුලින්ම තහවුරු කරගත යුතුය. විවිධ ආර්ථීක අවස්ථාවලදී ඔබේ වාරිකය වෙනස් විය හැකි ආකාරය ගණනය කිරීමට Online Mortgage Calculators භාවිත කළ හැකිය. එපමණක් නොව, අත්දැකීම් බහුල නිශ්චල දේපළ ඒජන්තවරයෙකු සමඟ සාකච්ඡා කිරීමෙන් ඔබේ අයවැයට වඩාත්ම ගැලපෙන නිවස තෝරා ගැනීමටත්, පොලී අනුපාත වෙනස්වීම් හමුවේ නොසැලී සිටීමටත් ඔබට මග පෙන්වීම් ලබාගත හැකිය.

ශක්තිමත් මූල්‍ය ආරක්ෂණ ජාලයක් (Financial Safety Net) ගොඩනගා ගන්න

1980 දශකයේ බොහෝ පවුල් අසරණ වූයේ ඔවුන් සතුව ප්‍රමාණවත් හදිසි ඉතුරුම් නොතිබීමෙනි. අද දින, සාර්ථක නිවාස හිමියෙකු වීමේ රහස වන්නේ අවම වශයෙන් මාස තුනක සිට හය දක්වා වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ‘හදිසි අරමුදලක්’ පවත්වා ගැනීමයි. ඔබේ ආදායමේ යම් වෙනසක් වුවහොත් හෝ ණය අලුත් කිරීමේදී (Renewal) පිරිවැය මඳක් වැඩි වුවහොත්, මෙම ඉතුරුම් ඔබට විශාල මානසික සහ මූල්‍යමය නිදහසක් ලබා දෙනු ඇත.

ඔබේ ජීවන රටාවට ගැලපෙන නිවැරදි උකස් ණය වර්ගය තෝරාගන්න

ස්ථාවර (Fixed) අනුපාත මගින් ඔබට දීර්ඝ කාලීන මූල්‍ය ස්ථාවරත්වයක් ලබා දෙන අතර, විචල්‍ය (Variable) අනුපාත යම් යම් වෙළඳපොළ වාසි ලබා දිය හැකිය. මෙහි වාසි සහ අවාසි ඔබේ පෞද්ගලික මූල්‍ය ඉලක්කයන් සමඟ සැසඳිය යුතුය. ඔබේ නිවාස ඒජන්තවරයා සමඟ විවෘතව සාකච්ඡා කිරීමෙන්, ඔබේ අවදානම් දරා ගැනීමේ හැකියාව මත වඩාත් සුදුසු ණය ක්‍රමය තෝරා ගැනීමට ඔබට හැකි වනු ඇත.

දිගුකාලීන දැක්මකින් යුතුව ආයෝජනය

නිවසක් මිල දී ගැනීම යනු අද දවසේ පවතින පොලී අනුපාතය ගැන පමණක් සිතා කරන දෙයක් නොව, එය ඔබේ ජීවිතයේ දිගුකාලීන ආයෝජනයකි. ඔබේ ආදායම සහ රැකියාවේ සුරක්ෂිතතාව කෙරෙහි අවධානය යොමු කරමින්, ඔබේ අයවැය සීමාව ඉක්මවා (Stretch) කටයුතු නොකිරීමට වගබලා ගන්න. 1980 දශකයේ අර්බුදයෙන් පසු නිවාස මිල අතිමහත් ලෙස ඉහළ ගිය ආකාරය අප දුටුවෙමු. එබැවින්, නිවැරදි සැලසුමක් සහිතව අද දින නිවසක් මිල දී ගැනීම යනු ඔබේ අනාගත සමෘද්ධිය වෙනුවෙන් තබන ස්ථාවර පියවරකි.

අතීතය අපට උගන්වන්නේ බිය වීමට නොව, වඩාත් බුද්ධිමත්ව සහ සූදානමින් යුතුව ඉදිරියට යාමටයි. නිවැරදි මග පෙන්වීම් සහ සැලසුම් සහගත තීරණ තුළින්, ඔබේ නිවාස සිහිනය සැබෑ කර ගැනීම අසීරු නොවන බව මගේ විශ්වාසයයි.

Gamini Abeysinghe  

ඔන්ටේරියෝ නිවාස හා දේපල වෙළඳාම් සංගමයෙහි බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත

Tel: 1- 416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!