ඉදිරි කාලයේදී අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවලට බෙදා හැරීම සඳහා  කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත් මාත්‍රා මිලියන 100 ක් පරිත්‍යාගය කිරීමට කැනඩාව සූදානම් බව එක්සත් රාජධානියේ කැනඩා මහකොමසාරිස්වරයා අද (11) පවසා තිබුණි. එක්සත් ජනපදයේ කෝන්වෝල් හිදී අද (11) ආරම්භ වූ G7 රටවල නායක හමුවේදී සාකච්ඡා කෙරුණු ප්‍රධාන කරුණක් වූ  එන්නත් මාත්‍රා බිලියනයක් දුප්පත් රටවල් සමග බෙදා ගැනීම සම්බන්ධව කැනඩාවේ ප්‍රතිචාරය මහකොමසාරිස්වරයා එසේ ප්‍රකාශ කොට තිබුණි. G7 රටවල නායකත්ව හමුවේ අවසාන දින (13 වන ඉරිදා) කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මෙම පරිත්‍යාගය පිළිබඳව නිවේදනය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ‘මෙම පරිත්‍යාගය මූල්‍යමය වශයෙන් හා එන්නත් වශයෙන් වන පරිත්‍යාගයක්’ විය හැකි බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සමුළුව අවසානයේදී දැනගත හැකි වන බවත් මහකොමසාරිස්වරයා පවසා සිටී.

පශ්චාත් කොවිඩ්-19 ආර්ථිකය නැවත ගොඩනැංවීම ප්‍රධාන මාතෘකාව කරගත් න්‍යාය පත්‍රයකට සැකසුණු මෙම තුන්දින හමුව සඳහා G7 රටවල නායකයින් මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිතයින්ද සහභාගි වී සිටී. (එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය) 

ධනවත් රටවල් එන්නත් රැස් කර ගැනීම නිසා අනෙක් රටවල්වලට එම සැපයුමට ප්‍රවේශ වීමට පවතින දුෂ්කරතා ගැන පසුගිය කාලය පුරා චෝදනා එල්ල විය. මේ දිනවල රැස් වන G7 නායක සමුළුවේදී මෙය ප්‍රධාන මාතෘකාවක් ලෙස කතාබහ කෙරෙන අතර අවම වශයෙන් එන්නත් මාත්‍රා බිලියනයක් හෝ අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවලට ලබා දීමට එහිදී එම නායකයින් එකඟ වී ඇත.

එයට ප්‍රවේශයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය Pfizer-BioNTech එන්නත් මාත්‍රා මිලියන 500 ක් පරිත්‍යාග කරන බව ප්‍රකාශ කර ඇති අතර එයින් එන්නත් සියයට 75 ක ප්‍රමාණයක් COVAX වැඩසටහන වෙතද ඉතිරිය ඊළඟ අවුරුද්දේදී තෝරාගත් රටවල් කිහිපයකට පරිත්‍යාග කිරීමටද සැලසුම් කර ඇත. එක්සත් රාජධානිය එන්නත් මාත්‍රා මිලියන 100 ක් පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කර ඇති අතර එම එන්නත්  COVAX වැඩසටහනට ලබා දීමට නියමිත වේ.

එන්නත් පරිත්‍යාග කිරීම සඳහා G7 රටවල කැපවීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල ඇගයීමට ලක් වුවත් ලෝකයේ අඩු ආදායම්ලාභී රටවල පවතින එන්නත් හිඟය පියවීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා මෙය බෙහෙවින් අඩු ප්‍රමාණයක් බව ඇතැම් සංවිධාන පවසති.

ගෝලීය දරිද්‍රතාව තුරන් කිරීමට කටයුතු කරන ආයතනයක් වන Oxfam හි Anna Marriott පවසා ඇත්තේ G7 රටවල නායකයින්ට කළමනාකරණය කරගත හැකි ඉහළම එන්නත් මාත්‍රා ප්‍රමාණය බිලියනයක් නම් මේ සමුළුව සාර්ථක එකක් විය නොහැකි බවයි. අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල්වල සෑම කෙනෙකුටම එන්නත ලබා දීමට දළ වශයෙන් එන්නත් මාත්‍රා බිලියන 11 ක් වත් අවශ්‍ය වන බව ඇය පෙන්වා දේ. මේ වන විට කොවිඩ්-19 වැළැක්වීම සඳහා නිපදවන එන්නත් සඳහා බලපැවැත්වෙන පේටන්ට් බලපත්‍ර ආරක්ෂණ නීති රීති අත් හරින ලෙසත් එන්නත් නිපදවීමේ තාක්ෂණය අනිකුත් රටවල් වෙතත් බෙදා හැර එන්නත් නිෂ්පාදනය වැඩි කිරීමට සහයෝගය දෙන ලෙසත් Oxfam සහ අනෙකුත් සංවිධාන කිහිපයක් G7 රටවල්වලින් ඉල්ලා සිටී. මෙහිදී බුද්ධිමය දේපළ නීති ලිහිල් කිරීමට ඇමරිකානු සහ ප්‍රංශ ජනාධිපතිවරු සහයෝගය ලබා දී ඇතත් කැනඩාව ඇතුළු සෙසු G7 රටවල් ඒ සඳහා එතරම් උනන්දුවක් දක්වා නැත.

G7 රටවල් විසින් ගෙන ආ එන්නත් මාත්‍රා බිලියනයක පොරොන්දුවට කැනඩාවේ දායකත්වය වන එන්නත් මිලියන 100 ට කැනඩා රජය මේ වන විට COVAX වැඩසටහන සඳහා ලබා දී ඇති මුදල් පරිත්‍යාගයන්ද ඇතුළත් කිරීමට බලාපොරොත්තු වේද යන්න පිළිබඳව ස්ථිර පිළිතුරක් මෙතෙක් ලබා දී නැත. එසේ වුවත් බොහෝ දුරට එම මුදලද මෙම වැඩසටහනේම කොටසක් ලෙස ඇතුළත් වීමට ඉඩ ඇතැයි සඳහන් වේ.  අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා එන්නත ලබා ගැනීමට උදව් කිරීම සඳහා කැනඩාව ඩොලර් මිලියන 440 ක්  COVAX වෙත ලබාදී ඇත. එන්නත සඳහා සුදුසුකම් ලැබූ සියලුම කැනේඩියානුවන් සඳහා පූර්ණ එන්නත් මාත්‍රා ලබා දීමෙන් පසු මෙම වැඩපිළිවෙළට මීටත් වැඩි දායකත්වයක් ලබා දීමට කැනඩාව අපේක්ෂා කරයි.

කැනඩාවේ මෙම පරිත්‍යාගය කිසිදු ලෙසකින් කැනේඩියානුවන් සඳහා සිදුකෙරෙමින් පවතින එන්නත්කරණ වැඩසටහනට බලපෑමක් නොකරන බව ෆෙඩරල් රජය පවසයි. අගෝස්තු මාසය වන විට කැනඩාවේ අවුරුදු 12 න් ඉහළ සියලුම සුදුසුකම් ලත් කැනේඩියානුවන් සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබාදීමට ප්‍රමාණවත් එන්නත් සැපයුමක් කැනඩාවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්තමානයේ කොවිඩ් වැළැක්වීමේ එන්නත ලබාදීමේ ලෝක මට්ටමේ දත්තයන්ට අනුව එන්නතේ එක් මාත්‍රාවක් ලබාදුන් රටවල් අතරින් කැනඩාව දෙවෙනි වන්නේ ඊශ්‍රායලයට පමණි. මේ වන විට එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම ආරම්භ කර ඇති අතර එන්නත්කරණ වැඩ පිළිවෙළ කැනඩාව තුළ ඉතාමත් සාර්ථකව සිදුකරමින් පවතී.

Share this Post