දැනට ඔන්ටේරියෝවේ බලපැවැත්වෙන stay-at-home නියෝගය ජූනි 02 වැනි දින අවසන් කර පළාත යම් තරමකට විවෘත කිරීමට රජය අපේක්ෂා කරයි. මේ පිළිබඳව ඊයේ (18)  ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනී Christine Elliott අදහස් දැක්වූ අතර පළාත විවෘත කිරීමේ පළමු පියවර ලෙස ජූනි 02 වෙනිදා හෝ ඊට පෙර එළිමහන් ක්‍රීඩා ඇතුළු විනෝද ක්‍රීඩා පහසුකම් නැවතත් විවෘත කිරීම ගැන සලකා බලමින් සිටින බව ඇය පැවසුවාය. ඒ අනුව පළාතේ ප්‍රධාන  සෞඛ්‍ය නිලධාරිවරයා හා කොරෝනාවෛරසය වැළැක්වීම සඳහා කටයුතු කරන වෛද්‍ය විශේෂඥයින් සමග පුළුල්ව සාක්ච්ඡා කොට ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නැවත පළාත විවෘත කිරීමකට සූදානම් බව ඇය ප්‍රකාශ කර සිටියි. නිසි පරිදි කරුණු අධ්‍යයනය නොකර පළාත විවෘත කළහොත් කොවිඩ්-19 වසංගතයේ සිව්වැනි රැල්ලටද ඔන්ටේරියෝව ඉක්මනින්ම ගොදුරු විය හැකි බව ඇය පවසා සිටියි. එන්නත් කිරීමේ අනුපාතය, රෝගීන් වාර්තා වීමේ අනුපාතය, රෝහල්ගත කිරීම්වල අනුපාතය, දැඩි සත්කාර ඒකක ධාරිතාව ආදි සියලු කරුණු මෙහිදී සොයා බැලීමට සිදුව ඇති බව Elliott පවසයි.

එන්නත් කිරීමේ අනුපාතය මත පළාත නැවත විවෘත කිරීම රඳා පවතින බව පළාත් ප්‍රධානී Doug Ford ගේද අදහසයි. එන්නත වැඩි පිරිසකට ලබාදීමත් සමග හැකි ඉක්මණින් පළාත විවෘත කරන බවත් මේ වසරේ ගිම්හාන කඳවුරු විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ෆෝඩ් පවසයි. ජූනි 02 වැනිදා stay-at-home නියෝගය අවසන් කළ පසු නැවතත් කොවිඩ්-19 ආසාදිතයන් හමුවන ප්‍රදේශ අනුව වර්ණ කේත ක්‍රමයක් භාවිත කිරීම පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවද රජය පවසයි.

කොවිඩ්-19 තුන්වැනි රැල්ල ඔන්ටේරියෝවට දැඩි පීඩනයක් එල්ල කළ අතර පළාතේ ප්‍රධාන නගර ආශ්‍රිතව දැඩි සත්කාර ඒකක ධාරිතාව ඉක්මවා යන තරමට රෝගීන් වාර්තා වීම වැඩි විය. ඒ අනුව අප්‍රේල් 08 වැනි දින stay-at-home නියෝගය ඔන්ටේරියෝව තුළ ක්‍රියාත්මක කෙරුණි. එය සති හතරකින් නිමා කෙරෙන ලෙස පනවා තිබුණද රෝගීන් වාර්තා වීම යම් මට්ටමකට අඩු කර ගැනීමට අවශ්‍ය නිසා අප්‍රේල් 16 වැනි දින නැවතත් එම නියෝගය තවත්  සති 2 කට දීර්ඝ විය. ඒ අනුව නැවතත් රට විවෘත කරන දිනය ජූනි 02 වැනිදා ලෙස නිවේදනය කෙරුණි. එම දීර්ඝ කිරීම පිළිබඳව අදහස් දැක්වූ පළාත් නායක Doug Ford පවසා සිටියේ තම ඉලක්කය ජූලි, අගෝස්තු මාස ක්‍රියාකාරීව තබා ගැනීම බවත් රෝගය පාලනය කිරීම සඳහා මේ කාලසීමාව දීර්ඝ කිරීම අවශ්‍ය බවත්ය.

මෙවර රජය විසින් stay-at-home නියෝගය ක්‍රියාත්මක කිරීමත් සමග අත්‍යවශ්‍ය ස්ථාන හැර සෙසු සියලු ස්ථාන වසා දැමීමට කටයුතු කළේය. ඒ අනුව big-box store (Walmart, Costco….ආදිය) තුළ පවා අලෙවි කළ හැකි වූයේ ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාරපාන ද්‍රව්‍ය පමණි. එම වෙළඳසල් තුළ අන් සියලු අංශ තවමත් වසා දමා ඇත. රජයේ සහ පෞද්ගලික අංශයේ බොහෝ කාර්යාල සේවකයින් නිවසේ සිට රැකියාවල නිරත වන අතර පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු online ආකාරයෙන් සිදු වේ. පළාතේ අත්‍යවශ්‍ය සේවා සියල්ල පෙර පරිදි සිදු කරමින් ජන ජීවිතය අඩාල නොවීම කෙරෙහිද රජයේ අවධානය යොමුකර ඇත.

කැනඩාවේ සීත ඍතුව අවසන් වනවාත් සමගම ඔන්ටේරියෝ පළාත මේ ආකාරයට වසා දැමුණු අතර එළිමහන් ක්‍රීඩාගාර සහ විනෝදස්ථානද මෙම වසා දැමීමේ නියෝගයට යටත් කෙරුණි. සීත කාලයත් සමග මාස කීපයක් එළිමහන් ක්‍රියාකාරකම්වලින් බැහැරව සිටි කැනේඩියානුවන්ට මෙය දැඩි පීඩාකාරී නියෝගයක් වූ අතර මහජන සම්බන්ධතා පිළිබඳ විශේෂඥයින් සහ වසංගත රෝග සම්බන්ධ නිලධාරීන් පවසන්නේ එළිමහන් ක්‍රීඩාගාර සහ එළිමහන් ක්‍රීඩා (ටෙනිස්, ගොල්ෆ්, බීච් වොලිබෝල් වැනි) එකට ගැවසීම අඩු කර සිදු කළහොත් කොවිඩ්-19 පැතිරීමක් සිදු නොවන බවයි. ක්‍රීඩා කරන පුද්ගලයින් සඳහා නීති පද්ධතියක් ගෙනවිත් එම ස්ථාන විවෘත කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. විශේෂයෙන්ම භෞතික දුරස්ථභාවය පවත්වා ගැනීම, මුව ආවරණ පැළඳීම වැනි මූලික ආරක්ෂිත ක්‍රමවේද සමග ක්‍රීඩා කිරීම කළ යුතු බවට ඔවුන් උපදෙස් දේ. 

කෙසේ වුවත් ඔන්ටේරියෝවේ ක්‍රියාත්මක stay-at-home නියෝගය සහ මේ වන විට වයස 18 න් ඉහළ විශාල පිරිසකට කොරෝනාවෛරසය සඳහා වන එන්නත ලබාදීම ආදි කොවිඩ්-19 පාලනය කිරීමේ වැඩපිළිවෙළවල් නිසා පළාත තුළින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වෙමින් පවතින බව පෙනී යයි. අද(19) ඔන්ටේරියෝ පළාතෙන් කොවිඩ්-19 ආසාදිතයන් 1588 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 19 ක් ලෙස දැක්වේ. මාර්තු 24 වෙනිදා සිට මැයි 17 වැනි දින දක්වා නොකඩවා  රෝගීන් 2000 ඉක්මවා වාරතා වූ තත්ත්වයක් මත මෙසේ රෝගීන් යම් තරමකට හෝ අඩු වීම රෝගය තරමක් පාලනය වී ඇති බව පෙන්වන සාධකයක් විය හැක. එහෙත් කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යා අඩු වූ පමණින් රෝගය පැතිරීම අවතක්සේරු නොකර මෙතෙක් සිදු කළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම ජනතාවගේ වගකීම වේ. විශේෂයෙන්ම එන්නතෙහි මාත්‍රා දෙකම පළාතේ ජනතාව බහුතරයකට ලබා දීමෙන් පසු එයින් ලැබෙන ප්‍රතිශක්තිකරණය ගැන නිසි අධ්‍යයනයක් ලැබෙන තෙක් ප්‍රවේශමෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතුව ඇත.

Share this Post