පසුගිය දා කොළඹ සුපිරි හෝටලයක රථගාලේ තිබී හමුවූ ලියාපදිංචි නොකළ BMW රථය පිළිබඳව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් රථයක් බවයි. පසුව මේ රථය පිළිබඳව වැඩිදුර තොරතුරු සෙවීමේදී හෙළි වී ඇත්තේ මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන ලද්දක් බවයි. එම රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම කරුණු හෙළි වී ඇත.
මෙම ප්‍රශ්නගත රථය සොරාගන්නා ලද අංක තහඩුවක් සහිතව ලංකාවේදී ධාවනය කර ඇති බවත් එය නීත්‍යනුකූලව ආනයනය කර නැති බවත් රේගු දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇති බව විමර්ශන නිලධාරීන් පවසා ඇත. මෙම BMW රථය කොටස් දෙකක් එකට පෑස්සීමෙන් ලංකාවේදී එකලස් කර ඇත.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ විමර්ශන නිලධාරීන් ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් පැය 04 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙහිදී සැක කටයුතු ජොන්ස්ටන් වෙනුනෙන් අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥවරයා පවසා සිටියේ, අදාළ මෝටර් රථය එංගලන්තයේ සොරකම් කරන ලද එකක් යැයි පැවසුවද එම සොරකමට තම සේවාදායකයා සම්බන්ධ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔහුට විරුද්ධව මුදල් විශුද්ධීකරණ පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවයි. ඒ නිසා ඕනෑම කොන්දේසියක් යටතේ ඔහුව ඇප මත මුදා හරින ලෙස නීතිඥවරයා ඉල්ලීම් කර ඇත. මෙහිදී දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔක්තෝබර් 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.