[vc_row][vc_column][vc_column_text]

උඳුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කඳුළු වැහි වැහැලා
ගිනි ගෙන රත්වුණු දවසක
සැනසෙන එක සැන්දෑවක

මුහුදු කොනේ – සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උඳුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා
කළුවර දුම එක හුස්මට
මුළු ලෝකෙම වසා ගන්න
ගිනි දිය – ලෝ දිය වැස්සේ

කිරිසල් කිරි උඳුම්බරා
සිනා කඳුළු වගුරනවා

ආදරයේ ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා……….
හඳුනාගත්තොත් ඔබ මා

ඒ මොහොතෙම එක හුස්මක
ඉපදෙනවා ගිනි රශ්නය
සීතලෙන්
හඳුනාගත්තොත් ඔබ මා

මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය
උඳුම්බරා…….
කඳුළු සලයි

සිංහල සිනමා සංගීතයේ නොමැකෙන සන්ධිස්ථානයක් සනිටුහන් කළ ගී නිර්මාණයකි උඳුම්බරා ගීතය. සිනමාව, සංගීතය ආදි කලාවන් පිළිබඳව ශ්රී ලංකාවෙහි තිබූ ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන 70 දශකයේ අගභාගය තුළ මෙම ගීතය නිර්මාණය වී ඇත්තේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ විශිෂ්ට සිනමා කෘතියක් වන ‘බඹරු ඇවිත්’ හි තේමා ගීතය වශයෙනි. එකල පැවති සාම්ප්රයදායික සිනමා සංගීතය නව මගකට යොමු කළ අති පුළුල් සංගීත පරාසයන් රැසක් අතික්රනමණය කළ ගීතයක් ලෙසින් මෙම ගීතය හඳුන්වා දිය හැකිය. අදද සම්භාව්ය සංගීතය හදාරන්නන් විසින් අනිවාර්යයෙන්ම ඇසිය යුතු විමසා බැලිය යුතු අපූර්ව වූ ස්වර රටාවන් සහ හඬ රටාවන් රැසක් මෙහි අඩංගුව ඇත. මිනිස් කටහඬෙහි ඇති විවිධ වූ හැඩතලයන් භාවාත්මකව යොදා නිර්මාණය වූ මෙම ගීතය සඳහා සංගීතය නිර්මාණය කර ඇත්තේ අමරණීය සංගීත අධ්ය ක්ෂවරයකු වූ ආචාර්ය ප්රේමමසිරි කේමදාසයන් විසිනි. කේමදාස මාස්ටර් සංගීතය නිර්මාණය කළ දහසකුත් ගී අතර ඇති විශිෂ්ට නිර්මාණයක් වශයෙන් මෙම ගීතය හැඳින්විය හැකිය.
ඉන්දියානු ආභාසය සහිත අනුකරණ සංගීතයෙන් පිරුණු ගී ඇතුළත් චිත්රයපට බිහි වූ එකල කිසිදු චකිතයකින් තොරව නව අත්හදා බැලීම් කළ කේමදාස මාස්ටර් ඒවා ප්රේදක්ෂක, ශ්රා වක සැමගේ හද පතුලටම කිඳා බස්සවන්නට තරම් සමත් විය. මෙම නිර්මාණයන් අදත් නොනැසී පවතින්නේ එතුමා එදා කළ එම ප්රාමතිහාර්යය නිසා බව කිව යුතුය.
කේමදාස මාස්ටර් වෙතින් අප රස විඳි ගීතයන් ගැන කතා කිරීමට පිටු ගණනක් වුවත් වෙන් කළ හැකිය. කෙසේ වුවත් අද අපි කතා කරන බඹරු ඇවිත් තේමා ගීතය ‘උඳුම්බරා’ වෙත නැවතත් යොමු වෙමු.
1978 නිර්මාණය වූ බඹරු ඇවිත් සඳහා මෙම ගීතය ගායනා කර ඇත්තේ ටී. එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස්, සුනිලා අබේසේකර, සුභාෂිණී ඇරන්ස් යන ගායක ගායිකාවන් සමූහය විසිනි. ඔවුන් එදා එම ගීතය ගායනා කිරීමට ගෙන ඇති වෙර කොතරම්දැයි අපට මෙහි ප්රාථම ගීතය අසන විට සිතා ගත හැකි වෙයි. ඔවුන් සියල්ලන්ටම එය එපමණටම සංකීර්ණ වූ අත්දැකීමක් වූවාට සැකයක් නැත. එහෙත් එය කිසිදු අඩුවකින් තොරව කොතරම් අපූරුවට ඔවුන් නිමවා තිබුණේද යත් එම වසරේ ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී මෙම ගීතයට සිනමා සංගීතය වෙනුවෙන් අයත් වන සම්මාන ත්රිේත්වයම ලැබීමෙන් මනාව පසක් වෙයි. එනම් හොඳම ගීත රචකයා ලෙස ඩබ්ලිව්. ජයසිරිත්, හොඳම සංගීත අධ්යහක්ෂවරයා ලෙස ආචාර්ය ප්රේිමසිරි කේමදාසයනුත්, හොඳම ගායකයා ලෙස ටී.එම්. ජයරත්නත් සම්මානයට පාත්රය වීමය.
අප මෙම ගීතය පිළිබඳ කතා කරද්දී මෙහි ගීත රචකයාව කෙසේවත් අමතක කළ නොහැකිය. අදටත් ඉදිරියටත් අප හදවත් තුළ නොමැකෙන මතකයක් එක් කළ මෙම ගීතය ලිය‍වෙන්නේ ඩබ්ලිව්. ජයසිරි අතිනි. මේ එම ගීතය බිහි වූ අන්දම ගැන ඩබ්ලිව්. ජයසිරි කලා ශිල්පියා දැක්වූ අදහස් කීපයකුයි ම.
‘මගේ මතකය නිවැරදි නම් බඹරු ඇවිත් රූ ගත කළේ 73 හෝ 74 වසර දෙකින් එකක. කල්පිටිය වෙරළ තීරයේ තමයි මේ රූ ගත කිරීම් කළේ. කල්පිටිය වෙරළ අපට සුපුරුදු තැනක්. පතීගේ ‘අහස් ගව්ව’ නිර්මාණය කළෙත් කල්පිටියෙ. පතී බඹරු ඇවිත් තිර රචනය සඳහා පසුබිම් කරගත්තෙත් ඒ පරිසරය. දවසක් පතී බඹරු ඇවිත් තිර පිටපත මගේ අතට දීලා ඒකේ තේමා ගීතය ලියන්න කියලා මට කිව්වා. මම මවිතයට පත් වුණා. ඒ වෙනකොට මම එකම එක ගීතයක් පමණක් සනත් නන්දසිරිට ලියා තිබුණා. මහගමසේකර, හියුබත් දිසානායක වගේ කෙනෙකුට තමයි ඒ වෙලාවෙ පතී මේ වගේ කාර්යයක් පවරන්න ඕන කියල මට හිතුණා.
සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, ප්රේ මකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන වගේ ගීත රචකයන් එදා චිත්රරපට ගීත රචනයට පිවිස සිටි නවකයන්. ඒ අතින් බලනකොට මට චිත්රිපට ගීත රචනා කලාව ගැන මෙලෝ දැනුමක් තිබුණේ නෑ. අඩුමගානේ ඔවුන්ට හෝ මේ කාර්යය පැවරුණා නම් හොඳයි කියා මට සිතුණා.
පතීගේ පෙරැත්තය නිමක් නෑ. අන්තිමේ මම අභියෝගය බාර ගත්තා. ඇත්තටම ඒ ගීතය ලියැවුණේ බඹරු ඇවිත් කේන්ද්රීඅය චරිතය ‘හෙලන්’ පාදක කරගෙන. හෙලන්ගේ චරිතය රඟපෑවේ මාලනී ෆොන්සේකා. දිවුල් ගෙඩිය හටගන්නේ මල පිපෙන්නේ නැතිව. හෙලන්ගේ චරිතයත් එහෙම මලක් වෙන්න කලින් හටගත්ත දිවුල් ගෙඩියක් වගෙයි මම දැක්කේ. සොබා දහම හා බැඳුණු මිනිස් ජීවිතයේ අරුත මේ ගීතය තුළින් ඉස්මතු කරන්නයි මම වෑයම් කළේ. අවසානයේ මට මේ ගීතය වෙනුවෙන් ජනාධිපති සම්මානයකුත් පිරිනැමුණා. අදටත් මේ ගීතය අපේ සිනමා සංගීතයේ විශිෂ්ට නිර්මාණයක් සේ සැලකෙනවා.

සටහන – චමරි අබේසිංහ

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][TS-VCSC-Youtube content_youtube=”https://www.youtube.com/watch?v=N78wFdYC0oU”][/vc_column][/vc_row]

Share this Post