අතුරුදන්ව හා ඝාතනය වී සිටින දහසකට අධික කැනේඩියානු ස්වදේශික කාන්තාවන් පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් පිළිබඳව කටයුතු කරන කණ්ඩායම් මේ වන තෙක් සිය අවධානය යොමු නොකළත් ඉදිරියේදී එසේ නිහඬව නොසිටින බව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රජාව පවසා සිටී. ඒ අනුව මෙම ඝාතන සහ අතුරුදහන් වීම් පිළිබඳව කැනඩාව ජාතික මට්ටමේ විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නේදැයි යන්න පිළිබඳව දැඩි සැලකිල්ලක් යොමු කිරීමට මෙම කණ්ඩායම් බලාපොරොත්තු වේ.

‘මානව හිමිකම් පිළිබඳ සදාචාරාත්මක මූලධර්මයන් අදහන රටක් විදියට සැලකෙන කැනඩාව මෙතනදි සාධාරණය ඉටුකරයි කියා සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම බලාපොරොත්තු වනවා’ වොෂින්ටන් ඩී.සී. Human Rights Watch හි මේගන් රෝඩ් පවසයි.

කැනඩාව තුළදී අතුරුදන්ව හා ඝාතනය වී ඇති ස්වදේශීය කාන්තාවන් 1200 කට ආසන්න පිරිසකගේ සම්පූර්ණ වාර්තා මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම වෙනත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන මගින් නිකුත් කර ඇත.

තම ඥාතිවරියන්ගේ ඝාතන හා අතුරුදන්වීම් ගැන ඇති  වාර්තා සැලකිල්ලට ගෙන මේ වසර අවසන් වීමට පෙර ගෝලීය මට්ටමෙන් මේ පිළිබඳව පරීක්ෂණයක් මෙහෙයවන මෙන් විපතට පත් කාන්තාවන්ගේ පවුල්වල පිරිසද ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලීම් කර ඇත.

‘මේක ජාතික ඛේදවාචකයක්. ජාත්‍යන්තරය අත ගසනු තුරු සිටීම නිර්ලජ්ජිත දෙයක්’ යැයි ආදි පුරවැසි මණ්ඩලයේ ජාතික නායක Perry Bellegarde පවසා ඇත.

මෙම ස්වදේශීය කාන්තාවන්ගේ අතුරුදන්වීම් සහ ඝාතනය වීම් පසුගිය අවුරුදු 30-40 ක සිට කැනඩාව තුළ සිදුවෙමින් පවතින අතර ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ එසේ අතුරුදන්වූවන් සංඛ්‍යාව කෙතෙක්දැයි මේ වන තෙක් පැහැදිලිව හෙළිදරව් වී නොමැති බවයි. ඇතැම් විට එම සංඛ්‍යාව දැනට ස්ථිර කොට ඇති සංඛ්‍යාවට වඩා ඉහළ යා හැකි බව ඇතැම් තැන්වල සඳහන් වී ඇත.

කැනඩාවේ සමස්ත කාන්තා ප්‍රජාව අතරින් සියයට 3 ක් ස්වදේශීය කාන්තාවන් ගැහැනු ළමුන් වන අතර  මොවුන් අතරින් සියයට 10 ක් මිනීමැරුම්වලින් මිය යෑම සැබෑම ශෝචනීය තත්ත්වයකි. මෙසේ මිය යන කාන්තාවන් හා ගැහැනු ළමුන් සම්බන්ධයෙන් යම් සාධනීය වාර්තා ඇතත් අතුරුදන්වන පිරිස කෙතෙක්දැයි සොයා ගැනීමටවත් නොහැකි වී ඇත.

2013 අග භාගයේදී මෙලෙස අතුරුදහන් වූ කාන්තාවන් හා ළමුන් පිළිබඳව ලැබී තිබූ වාර්තාගත සිදුවීම් සම්බන්ධයෙන් RCMP කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කැනඩාවේ සියලුම පොලිස් බල ප්‍රදේශ හරහා අධ්‍යයනයක් ආරම්භ කෙරුණි. එහිදී ස්වදේශීය කාන්තා මිනීමැරුම් සිද්ධීන් 1181 ක් සහ නොවිසඳුණු අතුරුදන්වීම් රැසක් පිළිබඳව හෙළිදරව් විය. මෙම මිනීමැරුම් සිදුවීම් 1181 ක, 1980 සහ 2012 අතර සිදුවී ඇති අතර එයින් 225 ක් මෙතෙක් නොවිසඳුණු නඩු ලෙස පවතී.

2015 දෙසැම්බර් 09 වන දින බලයට පත් ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ ලිබරල් රජය ජනතාවට ලබාදුන් මැතිවරණ පොරොන්දු අතර මෙම විපතට පත් කාන්තාවන් පිළිබඳ සොයා බැලීම ප්‍රධාන එකක් විය. පොරොන්දු වූ ආකාරයෙන්ම ලිබරල් බලයට ආ පසු එම අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ජාතික පරීක්ෂණයක් ආරම්භ කළද එය ඉතා උදාසීන ආකාරයකින් කටයුතු කරන බව පෙනී යයි.

කැනඩාවේ ස්වදේශීය කාන්තාවන් මුහුණ පෑ ඛේදජනක සිදුවීම් පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා Inter-American Commission on Human Rights හි නියෝජිතවරියක හා ඇමරිකාවේ ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ මහාචාර්යවරියක වන ඩීනා ෂෙල්ටන් 2013 දී කැනඩාවට පැමිණ තිබුණි. එහිදී ඇය සොයාගත් කරුණු පිළිබඳව මෙසේ පවසා ඇත.

‘මෙය බොහෝ කලකට පෙර අභ්‍යන්තර වශයෙන් කටයුතු කළ යුතුව තිබූ දෙයක්. එසේ නොකළ නිසා දැන් එයට බොහෝ බාහිර බලපෑම් එල්ල වෙලා. දැනටමත් කල් ගොස් ඇති මෙම පරීක්ෂණ සඳහා තවත් බොහෝ කාලයක් බලා සීටීමට නොහැකියි. කැනඩාව වැනි රටක ඇති මෙම තත්ත්වය කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ ව්‍යාප්තිය පිළිබඳව සමස්ත ලෝකයේම ඇස් අරවන්නක්. කාන්තා හිංසනය දුප්පත් රටවලට හා ඉස්ලාමීය රටවලට සීමා නොවෙන්නක් බවත් එය යහපත් මානව හිමිකම් වාර්තා ඇති මෙවැනි රටවලත් සිදුවන බවත් මෙයින් පැහැදිලි වනවා. මෙය තවදුරටත් වර්ධනය වුවහොත් ඉතාමත් භයානක ව්‍යසනයක් විය හැකියි’

Share this Post