කැනඩාවේ වෛද්‍ය සේවා පහසුකම් සැපයීම සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය තවදුරටත් කප්පාදු කිරීම පිළිබඳව ෆෙඩරල් රජය සලකා බලමින් සිටී. ඒ පිළිබඳව වූ අනතුරු ඇඟවීම් ෆෙඩරල් රජය විසින් පළාත්බද අමාත්‍යවරුන් වෙත පසුගියදා සිදුකර තිබුණු අතර එහිදී පැවසුණේ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් මේ වන විට වෙන් කරනු ලබන මුදලින් අඩක් පමණ කපා හැරීමට සිදුවිය හැකි බවයි. රටේ සෞඛ්‍ය කටයුතු සඳහා දෙනු ලබන මුදල් ප්‍රතිපාදන එසේ කප්පාදු කළහොත් ඩොලර් බිලියනයක පමණ මුදල් අඩුපාඩුවක් එම ක්ෂේත්‍රය තුළ ඇති විය හැකි බව සියලුම පළාත් පෙන්වා දී තිබුණි.
මේ පිළිබඳව අදහස් දක්වන ඔන්ටාරියෝ සෞඛ්‍ය අමාත්‍ය එරික් හොස්කින්ස් පවසන්නේ, ෆෙඩරල් රජයේ මේ මුදල් කප්පාදුව සිදුවුවහොත් ඔන්ටාරියෝව සඳහා සපයන ප්‍රතිපාදනවලින් ඩොලර් මිලියන 400 ක් පමණ අඩු වන බවයි. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඔන්ටාරියෝවේ සෞඛ්‍ය කටයුතු නවීකරණය හා සංවර්ධනය කිරීම ඉතාමත් අපහසු විය හැකි බවත් විශේෂයෙන්ම වැඩි පිරිවැයක් වැය වන මානසික සෞඛ්‍ය සේවාවන් සහ ඇබ්බැහි වීම් සඳහා සපයන සේවාවන් (addictions services) වඩාත් ඵලදායී ලෙස පවත්වාගෙන යෑමේදී දැඩි අසීරුතාවන්ට මුහුණ පෑමට සිදුවිය හැකි බවත් අමාත්‍යවරයා පවසා සිටී.
ෆෙඩරල් රජය විසින් වාර්ෂිකව සියයට තුනක transfer payments වැඩිකිරීමක් සිදුකළද එය සෞඛ්‍ය සේවා යහපත් තත්ත්වයකින් පවත්වා ගැනීමට කිසි සේත් ප්‍රමාණවත් නොවන බව හොස්කින්ස් අමාත්‍යවරයා පවසයි.
ඉදිරි වසර 10 ක කාලයේදී මේ කප්පාදුව මගින් රටේ සෞඛ්‍ය සඳහා වැය කරන මුදලින් ඩොලර් බිලියන 60 ක් ඉතිරි කර ගැනීමට ඔටාව රජයට අවස්ථාව ලැබේ. රජය බලාපොරොත්තු වන අන්දමට ක්‍රියාත්මක වුවහොත්, පළාත් බද සෞඛ්‍ය සේවාවන් වර්තමාන මට්ටමට හෝ පවත්වා ගැනීමට නම් ඒ එ් පළාත්වල සෞඛ්‍ය පහසුකම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පළාත් රජයයන් විසින්ම පිරිමසා ගැනීමට සිදුවනු ඇති බව පළාත්බද සෞඛ්‍ය අමාත්‍යවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Share this Post