පසුගියදා ප්‍රින්ස් එඩ්වඩ් දූපතේ පැවති ෆෙඩරල් සහ පළාත්බද ආගමන කටයුතු පිළිබඳ ඇමතිවරුන්ගේ හමුවකදී, වැඩිවන සිරියානු සරණාගතයින් සඳහා මූලික පහසුකම් සැපයීම පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කරනු ලැබුණි.

කැනඩා සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව 2015 ජූලි 01 වනදා සිට මේ වසරේ ජූලි 01 දා දක්වා වූ මාස 12 ක කාලය තුළ කැනඩාව වෙත පැමිණ ඇති සරණාගතයින් සංඛ්‍යාව 321,000 කි. වර්ෂ 1910 වැනි ඈත අතීතයේදී කැනඩාවේ බටහිර ප්‍රදේශ වෙත යුරෝපීය සංක්‍රමණිකයින් රැල්ලක් මෙන් පැමිණි අතර ඉන් පසු කාල වකවානුවකදී මෙතරම් සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණි පළමු අවස්ථාව ලෙස මෙය හැඳින්වේ.

සාමාන්‍යයෙන් වාර්ෂිකව කැනඩාවට විශාල සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් පිළිගනු ලබන නමුත් මෙවර පැමිණ ඇති පිරිස ඒ සියලුම කඩඉම් ඉක්මවා ගොස් ඇත. පසුගිය වසරේදී ආරම්භ වූ සිරියානු සරණාගතයින් සඳහා වූ විශේෂ වැඩසටහන මේ තත්ත්වය ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇති අතර මේ වන විට  30,000 කට අධික සිරියානු සරණාගතයින් සංඛ්‍යාවක් සඳහා කැනඩාව දොරටු විවෘත කර ඇත.

මේ දෙආකාරයෙන්ම කැනඩාවට පැමිණි සංක්‍රමණිකයන් සඳහා ඉදුම් හිටුම් පහසුකම් ඇතුළු මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා රජය මේ වන විට බලවත් පරීශ්‍රමයක් දරමින් සිටී.

මෙහිදී රජය වෙත ඇති අභියෝග පිළිබඳ අදහස් දැක්වූ ෆෙඩරල් රජයේ ආගමන විගමන සරණාගත හා පුරවැසිභාවය පිලිබඳ අමාත්‍ය ජෝන් මැකලම් මෙසේ පවසා තිබුණි.

“සිරියානු සරණාගතයින් සඳහා පහසුකම් සැපයීම ආරම්භ කිරීමේදී කිසිදා අපේක්ෂා නොකළ ඇතැම් අභියෝගවලට අපට මුහුණ දීමට සිදුවුණා. විශේෂයෙන්ම මෙහි පැමිණි බොහෝ සරණාගත පවුල්වල අප බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා දරුවන් සිටීම නිසා ඔවුන්ට සුදුසු නිවාස සපයා දීමත් පාසල් යන වයසේ දරුවන්ට අවශ්‍ය පාසල් සොයා දීමත් ගැටලූකාරී වුණා”

කැනඩාවට පැමිණි සිරියානු සරණාගතයින්ගේ පහසුකම් සැලසීම වෙනුවෙන් ෆෙඩරල් රජය මෙන්ම පළාත්බද රජයයනුත් ප්‍රතිපාදන වෙන්කරනු ලැබුණි. එහිදී ඔවුන් වෙනුවෙන් භාෂා පුහුණුව, රැකියා පුහුණු කටයුතු සහ සමාජ ප්‍රතිෂ්ඨාධාර ගෙවීම් (social assistance payments) ආදිය සඳහා ෆෙඩරල් රජය විසින් පහසුකම් සපයන අතර සෙසු සියලුම කටයුතුවල වගකීම පළාත්බද රජයයන් වෙත පැවරී ඇත.

කැනඩාවේ ආගමන විගමන නීතියට අනුව නොවැම්බර් 01 වන දින වන විට මැකලම් අමාත්‍යවරයා විසින් ලබන වසර සඳහා වන මෙරට ආගමන විගමන ඉලක්ක හෙළිදරව් කිරීම අත්‍යවශ්‍ය වූවකි. පසුගියදා පැවති පළාත්බද ආගමන විගමන අමාත්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතත් ලබන වසරට පිළිගන්නා සංක්‍රමණිකයන් සංඛ්‍යාව කොපමණදැයි යන්න ෆෙඩරල් ඇමතිවරයා විසින් හෙළිදරව් කොට නොමැත. ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ පවසා ඇත.

“ලබන වසරේ කැනඩාවට පිළිගත යුතු සංක්‍රමණිකයන් ප්‍රමාණය පිලිබඳව පළාත්බද ආණ්ඩු සමග ඉතා පුළුල් ලෙස මා සාකච්ඡා කළා. එහෙත් අවසාන අංකය පැවසීමට මෙය සුදුසු කාලය නොවේ. නොවැම්බර් 01 දාට එය දැනගත හැකියි”

 

Share this Post