අද (2 දා) සිට වැන්කූවර් හි නිවාස දේපළ මිල දී ගන්නා සෑම විදේශිකයකුම  සියයට 15 ක බද්දකට යටත් වනු ඇත.

ලිබරල් ආණ්ඩුව විසින් පසුගිය සතියේදී මේ බද්ද පිළිබඳ පනත සම්මත කරනු ලැබූ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ වැන්කූවර් දේපළ මිල දී ගැනීම්වලට විදේශිකයන්ගේ මැදිහත් වීම වැඩිවෙමින් පවතින බවයි. එළඹි ග්‍රීෂ්ම ඍතුවත් සමග පසුගිය සති පහක කාලය තුළදී මෙට්රෝ වැන්කූවර්හි නිවාස හා දේපළ මිල දී ගැනීම් සලකා බැලීමේදී එයින් සියයට 10 ක්ම විදේශිකයන් මිල දී ගත් ඒවා බව වාර්තා වේ. විදේශිකයන් දේපළ මිල දී ගැනීමට පිවිසීමත් සමග දැඩි තරගකාරී බවක් වෙළඳපොළ තුළ නිර්මාණය වී ඇති බව රජය පවසයි. මෙවැනි තත්ත්වයක් යටතේ දේශීය ගැනුම්කරුවන්ට නිවසක් මිල දී ගැනීම දැඩි අසීරු වී ඇති බව  රජය පෙන්වා දෙයි. මෙවැනි බද්දක් පැනවීම මගින් විදේශිකයන් දේපළ මිල දී ගැනීම සීමා කිරීමට හැකි වෙතැයි රජය අපේක්ෂා කරයි.

නව බද්ද පිළිබඳ අදහස් දැක්වූ පළාත් මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම බදු ක්‍රමය තුළින් විදේශිකයන් දේපළ මිල දී ගැනීම අඩු වන්නේද යන්න අධීක්ෂණය කරන බවයි. බ්‍රිටිෂ්කොළාම්බියාවේ දේපළ මිල ගණන් පාලනය සඳහා ඉදිරි මාස කීපයේදී තවත් විකල්ප ක්‍රම කීපයක්ම ක්‍රියාත්මක කිරීමට පළාත්බද රජය බලාපොරොත්තු වේ.

මෙම අලුත් බදු අයකිරීම පිළිබඳව අදහස් දැක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිනි ඈන් මැක්මලින්ස් පැවසූවේ විදේශීය ගැණුම්කරුවන් නිවාස වෙළඳපොළෙන්  ඉවත් කිරීම තුළින් නිවාස මිල ගණන් ඉහළ යෑමට දැඩි බලපෑමක් කිරීමට හැකියාවක් නොලැබෙන බවයි. මෙට්රෝ වැන්කූවර්හි නිවාස වර්ධනයට වැඩි වේගයකින් ජනගහන වර්ධනය සිදුවන නිසා මේ ආකාරයේ ක්‍රම තුළින් ලංසු තැබීමේ යුද්ධය අවසන් කළ නොහැකි බව ඇගේ අදහසයි.

වෙළඳපොළ මිල පාලනයට හොඳම විසඳුම නිවාස යෝජනා ක්‍රම වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කර ජනතාවගේ නිවාස අවශ්‍යතාව පිරිමැසීම බව ඇය පවසා සිටියි.

Share this Post