රෝගාබාධ, ලෙඩදුක් පැමිණෙන්නේ කලින් දැනුම් දී නොවේ. එහෙත් කිය කියා නොපැමිණියත් යම් යම් අසනීප තත්ත්වයන් අප සිරුර තුළට පැමිණි විට එ් බව හැඟවෙන නොයෙකුත් සංඥා අප වෙත ලැඛෙන බව අප කවුරුත් හොඳින් දන්නා දෙයකි. අත්දැක ඇති දෙයකි. එ් ආකාරයට ඉඟි මගින් අප වෙත ගෙන එන්නේ අප තුළ හටගෙන ඇති රෝගය පිළිබඳ පෙර දැනුම් දීම් කෙරෙන රෝග ලක්ෂණයි. එවැනි අවස්ථාවල වෛද්‍යවරුන් වෙත යොමු වී අප සිරුරට දැනෙන අපහසුතාවන් දැනුම් දුන් විට ඔවුන්ද මූලික පරීක්ෂණ අරඹන්නේ එම රෝග ලක්ෂණවලට අනුවයි. ඇතැම් විට මෙවැනි රෝග ලක්ෂණ පහළ වීත් එ්වා ගැන නොසලකා සිටියහොත් සිරුර තුළ හටගෙන ඇති රෝගය උත්සන්න වී එය සුවකළ නොහැකි තත්ත්වයට හෝ මරණයට වුවත් පත්විය හැකියි.
මේ ආකාරයට අහඹු ලෙස ගොදුරු විය හැකි රෝග තත්ත්වයන් නිසා මතුවන ප්‍රධාන රෝග ලක්ෂණ හතක් පිළිබඳව වැදගත් තොරතුරු කිහිපයක් ඇමරිකාවේ මායෝ සායනය (Mayo Clinic) මීට ටික කලකට පෙර හෙළිදරව් කොට තිබුණි. එහිදී ඔවුන් විශේෂයෙන්ම පවසා තිබුණේ මෙම රෝග ලක්ෂණ හතෙන් එකක් හෝ පහළ වෙමින් ඇති බව හැඟේ නම් එ් පිළිබඳව වහාම සැලකිල්ල යොමු කොට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු විය යුතු බවයි.

1. අනපේක්ෂිතව සිරුරේ බර අඩුවීම

සිරුරේ බර වැඩිවීම අප තුළ ඇති කරවන්නේ දැඩි කණස්සල්ලකි. එහිදී වැඩිවන බර අඩුකර ගැනීම සඳහා නොයෙකුත් ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමට අප නිතැතින්ම පෙළඹේ. එහෙත් මෙවැනි කිසිදු පියවරක් අනුගමනය නොකොට හිටි අඩියේ සිරුරේ බර අඩුවේගෙන යතොත් එය අපගේ අවධානය දැඩිව යොමු කළ යුත්තකි. විශේෂයෙන්ම එය අප සිරුරෙහි හටගන්නා රෝගයක් පිළිබඳ පූර්ව දැනුම් දීමේ සංඥාවක් විය හැක.
මෙය තවදුරටත් පැහැදිලි කළහොත් ඔබ තරබාරුව මට්ටු කිරීම සඳහා කිසිදු පියවරක් නොගෙන (ආහාර පාලනය හෝ ව්‍යායාම වැනි) පසුගිය මාස හය තුළ ශරීරයේ බර සියයට 10 කට වඩා අඩු වී ඇත්නම් ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කිරීම සුදුසු වේ. තයිරොයිඩ් ග්‍රන්ථීයේ (තයිරොක්සින්) ක්‍රියාකාරිත්වයේ ඇතිවන විවිධ තත්ත්වයන්, දියවැඩියාව, මානසික අවපීඩනය (depression), අක්මාව ආශ්‍රිත රෝග, පිළිකා ආබාධ, පෝෂණ අබාධ වැනි රෝග තත්ත්වයන් මෙම අනපේක්ෂිත ලෙස සිරුරෙහි බර අඩුවීම තුළින් පෙන්නුම් කළ හැක.

2. දින කිහිපයක් අධික උණ තත්ත්වයක් පැවතීම

උණ වැළඳුනු විට අප ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් යොමු නොකළත් එසේ ශරීර උෂ්ණත්වයත් ඉහළ යෑම අනිවාර්යයෙන්ම කිසියම් පූර්ව රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නකි. ආසාදනයක් හටගත් විට එයට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරයෙහි උෂ්ණත්වය ඉහළ යෑම විශේෂ කාර්යභාරයක් ඉටුකරයි.
එහෙත් අධික උණ තත්ත්වය දින තුනකට වඩා කල් පවතින්නේ නම් ඒ පිළිබඳව දැඩිව අවධානය යොමු කිරීම සුදුසු වේ. ඒ ආකාරයට දීර්ඝ කාලයක් පුරා අඛණ්ඩව හෝ වරින් වර උණ නගිමින් බසිමින් පැවතීම ඔබ ශරීරය තුළ සැඟවී පවතින කිසියම් රෝගාබාධයක පෙරනිමිත්තක් විය හැකියි. මෙලෙස දිගටම පවතින උණ ක්ෂය රෝගය, මුත්‍ර ආසාදන වැනි රෝගවල සිට පිළිකා රෝගය නිසා වසා ග්‍රන්ථී ඉදිමීමෙන් හට ගත්තක් වුවත් විය හැකිය. ශරීර උෂ්ණත්වය දින තුනකට වැඩි කාලයක් ෆැරන්හයිට් අංශක 103 ට ( 39.4C) වැඩි ලෙස පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසු වේ.

3. හුස්ම ගැනීමේ අපහසුතාව

හුස්ම ගැනීම යනු ආශ්වාස හා ප්‍රාශ්වාස ක්‍රියාවලිය ලෙස සරලව හැඳින්විය හැක. යම් ආකාරයකින් හුස්ම ගැනීම නතර වුවහොත් මරණය සිදුවන නිසා හුස්ම ගැනීම අපගේ ජීවිතයට ඍජුවම සම්බන්ධකමක් දක්වයි. ඒ නිසාම හුස්ම ගැනීමේදී ඇතිවන අපහසුතාවන්ද සුළු කොට තැකිය යුතු නොවේ. එවැනි සංඥා මගින් අප වෙත දැනුම් දෙන්නේ සිරුරෙහි පවතින යම් සෞඛ්‍යමය ගැටලූවක් විය හැක.
හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැකි විවිධ අවස්ථා ඇත. උදාහරණ ලෙස ඉතා දැඩි වෙහෙසකාරී ව්‍යායාම අතරතුරදී, දැඩි උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයන්හිදී, හදිසි අනතුරු හා ප්‍රහාරාත්මක සිදුවීම්වලදී ඇතිවන බිය වීමේදී, තරබාරු සිරුරක් සහිත වීමේදී මෙවැනි අපහසුතා ඇතිවිය හැක. මීට අමතරව රෝගී තත්ත්වයන් නිසාද හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැක. උදාහරණ ලෙස, සෙම්ප්‍රතිශ්‍යාව, බ්‍රොන්කයිටීස්, නියුමෝනියාව, ඇදුම, පෙනහළු තුළ ඇතිවන ආබාධ, හෘදය වස්තුවේ ඇතිවන ආබාධ වැනි තත්ත්වයන්හිදී හුස්ම ගැනීමේ අපහසුතා පහළ විය හැක. හුස්ම ගැනීමේ අපහසුතාවත් සමගම පපුවේ තද ගතියක් හෝ වේදනාවක්, අධික දහඩිය දැමීමක් ඇති බව හැෙඟ් නම් වහාම හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම කළ යුතු වේ.

4. මළපහ කිරීමේදී ඇතිවන වෙනස්කම්

මායෝ සායනය විසින් ඉදිරිපත් කර ඇති සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ අතර ශරීරයේ බහිස්ස්‍රාවීය (විශේෂයෙන්ම මළපහ පිට කිරීමේදී) කටයුතුවලදී ඇතිවන වෙනස්කම් පිළිබඳවද සඳහන් කරයි. මෙම කටයුත්තේදී කුමන හෝ වෙනස්කමක් වරකට වඩා ඔබ වෙත නිරීක්ෂණය වේ නම් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතුය. බොහෝ විට ආහාර මාර්ග පද්ධතියේ සිදුවන කුමන හෝ වෙනස්කමක් හෝ ආසාදනයක් මෙයින් පෙන්නුම් කෙරේ.
මිනිස් මළපහවල වර්ණයෙන් ඔවුන්ට ඇති රෝග නිවැරදිව තීරණය කළ හැකි බව පසුගියදා සිදුකළ පර්යේෂණයකින්ද තහවුරු කොට තිබුණි. උදාහරණයක් ලෙස ලේ පැහැති හෝ කළු පැහැති මළ පහ පිටවේ නම් එය බඩවැල ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයක රෝග ලක්ෂණයක් විය හැක. මල බද්ධය, පාචනය, වෛරස හෝ පරපෝෂිත ආසාදන ආදි කුමන අවස්ථාවකදී වුවද එය මළපහ පිටකිරීමේ වෙනස්කම් තුළින් නිරීක්ෂණය කළ හැක. මෙවැනි වෙනස්කම් ඇතැයි හැඟේ නම් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසු වේ.

5. ව්‍යාකූල ස්වභාවය හෝ පෞරෂත්වයේ ඇතිවන වෙනස්කම්

හෝන්දු මාන්දු ස්වභාවය සහ පෙරට වඩා තම පෞද්ගලිකත්වය තුළ ඇතිවන වෙනස්කම් පිළිබඳව බොහෝ දෙනෙකු සැලකිලිමත් නොවූවද සිරුර තුළ පවතින රෝගී තත්ත්වයක් මෙවැනි හැසිරීම් තුළින් පෙන්නුම් කරනවා විය හැක. මෙවැනි අවස්ථාවන් බොහෝ විට ඔබ තුළ පවතින මානසික ආතතිය මත සිදුවිය හැකි වුවත් එ්වා පිළිබඳ අඩුවෙන් තක්සේරු කොට නොසලකා සිටීම විශාල අනතුරකට අත වැනීමක් විය හැක.
විශේෂයෙන්ම, කරන කාර්යයන් පිළිබඳ නොසැලකිලිමත් කම හා සිහියකින් එ්වා නොකිරීම, තෝන්තු ස්වභාවය, නොරුස්නා ගතිය, සිතීමේ හා වැඩ කිරීමේ දුර්වලතා, අපහැදිලි හඬ හසුරුවීම් සහ තැති ගත් ස්වභාවය, හැසිරීමේ වෙනස්කම්, හීනමාන ස්වභාවයන් වැනි තත්ත්වයන් පහළ වී ඇත්නම් එ් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු හා සාකච්ඡා කිරීම සුදුසු වේ.
මූලික රෝග ලක්ෂණ පෙන්නුම් කරන විටම වෛද්‍යවරයකු හමුවීම තුළින් මෙවැනි තත්ත්වයන් සුළු ප්‍රතිකාර ක්‍රම මගින් සුවපත් කර ගත හැකිය. මෙම රෝග ලක්ෂණ මානසික සෞඛ්‍ය පිරිහීම නිසා පමණක් නොව, සිරුරෙහි ඇතිවන යම් යම් ආසාදන හෝ මන්දපෝෂිත තත්ත්වයන් නිසාද හටගත හැක. ඖෂධ ප්‍රතිකාර මෙන්ම විවිධ මනෝචිකිත්සක ක්‍රම මෙවැනි රෝගාබාධ සුව කිරීමේදී යොදා ගැනේ.

6. යන්තමින් කෑවත් බඩ පිරුණු ගතියක් දැනීම

ස්වල්ප ප්‍රමාණයක් ආහාර ගත් පසු බඩ පිරුණා සේ දැනේ නම් එය ඔබගේ සුපුරුදු ඉරියව්වලින් බැහැර වූ ආකාරයක් නම් එ් සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසු වේ. මේ පිළිබඳවද බොහෝ දෙනෙකු සැලකිල්ල යොමු නොකළද මෙවැනි තත්ත්වයක් යනු කිසියම් රෝගයක පෙර නිමිත්තක් විය හැකියි.
ආහාර මාර්ග පද්ධතියේ අන්නශ්‍රෝතය, අග්න්‍යාසය වැනි කොටස් තුළ හෝ ජීර්ණ පද්ධතියේ වෙනත් ස්ථානයක ඇතිවන රෝග තත්ත්වයන්වලදී මෙවැනි පූර්ව රෝග ලක්ෂණ පහළ විය හැක. මෙවැනි තත්ත්වයන් සඳහා ගොඩ වෙදකම් කරමින් සිටීම සුදුසු නොවන්නේ ආහාර මාර්ගයේ පිළිකා වැනි තත්ත්වයන් නිසාද මෙවැනි පෙරනිමිති පහළ විය හැකි බැවිනි.
විශේෂයෙන්ම ඉතා කුඩා ආහාර ප්‍රමාණයක් ගත් පසු ඔක්කාරය, වමනය, අප්‍රසන්න ගතිය, බඩ පිපීම වැනි තත්ත්වයන් ඇතිවන්නේ නම් හා සිරුරේ බරද මේ සමගම අඩුවන බව දැනේ නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමු වී රෝග ලක්ෂණ පිළිබඳ පවසා පරීක්ෂා කරවා ගැනීම සුදුසු වේ.

7. තද ආලෝකයේදී ඇස්වල සිදුවන වෙනස්කම්

කිසිදු පූර්ව කලබල තත්ත්වයකින් තොර අවස්ථාවලදී පවා තද ආලෝක ලප හෝ දීප්තිමත් තරු වැනි එළි දිස් වේ නම් එය සැලකිල්ල යොමු කළ යුතු රෝග ලක්ෂණ අතර පවතින බව මායෝ සායනය පවසයි. මෙවැනි රෝග ලක්ෂණ ඉරුවාරදය ඇති අය තුළද නිරන්තරයෙන් දක්නට ලැබේ.
ඊට අමතරව විවිධ අක්ෂි ආබාධ නිසාද මෙවැනි එළි දර්ශනය විය හැක. විශේෂයෙන්ම ඇසේ ඇති රෙටිනා පටලයෙහි (දෘෂ්ඨි විතානයෙහි) ඇතිවන ලේ නහර ලියලීම, ලේ ගැලීම් වැනි තත්ත්වයන්හිදී මෙවැනි තාරකා එළි දිස්විය හැක. ග්ලූකෝමා රෝගයේදීද මෙවැනි පූර්ව රෝග ලක්ෂණ පහළ විය හැකියි. මෙවැනි අවස්ථාවන්හිදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන මුල් අවස්ථාවලදීම ප්‍රතිකාර ඇරඹුවහොත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැක. මේවා නොසලකා හැරියහොත් අන්ධභාවයට වුවත් ලක් විය හැක.

Share this Post