කැනේඩියානුවන් අතර මුඛය සහ උගුර ආශ්‍රිතව ඇතිවන පිළිකා රෝගයන්හි තියුණු වැඩිවීමක් දක්නට ලැඛෙන බව කැනේඩියානු පිළිකා සංගමය අනාවරණය කොට ඇත. බොහෝ දුරට මුඛය ආශ්‍රිතව ඇතිවන එම පිළිකා සඳහා මානව පැපිලෝමා වෛසරය ප්‍රධාන හේතුවක් වී ඇති බව සංගමය පෙන්වා දේ.
1992 ත් 2012 ත් අතර කාලයේදී මේ වෛරසය නිසා මුඛය සහ උගුර ආශ්‍රිතව පිළිකා හටගත්තවුන් අතර ඉතා විශාල ඉහළ යෑමක් දක්නට ලැඛෙන අතර පිරිමින් තුළ මෙම වෛරසය නිසා මුඛ ආශ්‍රිත පිළිකා පැතිරීම 2012 වන විට සියයට 56 නුත් කාන්තාවන් අතර සියයට 17 නුත් ඉහළ ගොස් ඇත.
එම සංගමයේ ලේඛනවල ඇස්තමේන්තුගත වී ඇති සටහන්වලට අනුව 2012 වසරේදී මානව පැපිලෝමා වෛරසය නිසා පිළිකා හටගත් කාන්තා හා පිරිමි සංඛ්‍යාව 1335 කි. මින් 372 දෙනෙක් මියගොස් ඇත.
මේ අතර කාන්තාවන් අතර සීඝ්‍රයෙන් පැතිරෙන ගැබ් ගෙළ පිළිකාව වැළඳීම සඳහාද හියුමන් පැපිලෝමා – HPV   වෛරසය හේතුවක් වී ඇති බව පිළිකා සංගමය පවසයි. මානව පැපිලෝමා වෛරසය නිසා හටගන්නා පිළිකා අතරින් තුනෙන් එකක්ම නියෝජනය වන්නේ ගැබ් ගෙළ පිළිකා රෝගී කාන්තාවන්ගෙනි.
මේ වන විට ලොව පුරා හියුමන් පැපිලෝමා වෛරසය අසාදනය වූවන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින අතර මෙය ලිංගිකව බෝ වන වෛරසයක් වේ. බහු ලිංගික සේවනයේ යෙදෙන බොහෝ දෙනෙකු අතර මෙම වෛරසයට ගොදුරු වූවන් දක්නට ලැඛෙන අතර නිසි ප්‍රතිකාර ලබාගැනීම තුළින් බොහෝ දෙනෙකු වසර 2 ක පමණ කාලයකදී වෛරසයෙන් ගැලවීමට සමත් වෙති. නමුත් ඇතැම් ආසාදිතයන් තුළ මෙම වෛරසය දිගින් දිගටම ක්‍රියාත්මක වී පවතින අතර මේ නිසා පසු කලෙක ඔවුන් පිළිකා රෝගයට ගොදුරු විමේ අවදානමට මුහුණ දේ.
2016 වසරෙහි මේ දක්වා කැනේඩියානුවන් 4400 කට පමණ පැපිලෝමා වෛරසය ආශ්‍රිත පිළිකා වැළඳී ඇති බව සංඛ්‍යාලේඛන වාර්තාවල දැක්වෙන අතර ගැබ්ගෙල, ප්‍රජනක පද්ධතිය හා ගුදය ආශ්‍රිතව හටගත් පිළිකා ඒ අතර වේ. මොවුන් අතරින් 1200 දෙනෙකු මේ වන විට එම රෝගාබාධ නිසා මියගොස් ඇත.
කැනේඩියානුවන් පැපිලෝමා වෛරසයෙන් ආරක්ෂා කිරීම සඳහා මේ වන විට එන්නත් තුනක් හඳුන්වා දී ඇති අතර රට පුරා වයස අවුරුදු නවය සපිරුණු සෑම දැරියකටම පාසල් මට්ටමින් මෙම එන්නත ලබාගත හැක. ඔන්ටාරියෝ, මැනිටොබා, ඇල්බර්ටා, ක්‍යුඛෙක්, නෝවා ස්කෝෂියා හා ප්‍රින්ස් එඩ්වඩ් දිවයින ආදි පළාත් 6 ක සිටින වයස අවුරුදු 9 සපිරුණු පිරිමි දරුවන් වෙතද මෙම එන්නත ලබා දීම මේ වන විට අරඹා ඇත.
කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකාව කල් තියා හඳුනාගැනීමට විධිමත් පැප් පරීක්ෂණයක් මගින් හැකි වුවත් පිරිමින්ට බහුලව වැළෙඳන මුඛය සහ උගුර සම්බන්ධ HPV  ආශ්‍රිත පිළිකා හඳුනාගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැත. මේ නිසා වඩාත්ම සුදුසු ක්‍රමය HPV වෛරසයෙන් බැහැරව සිටීම බව වෛද්‍යවරුන් පෙන්වා දේ.
‘පිළිකා හට ගන්නා ඇතැම් තත්ත්වයන් ලිංගික පුරුදු නිසා ඇතිවන බව පිළිගැනීමට මිනිසුන් කැමති නෑ. ඒත් කණගාටුවෙන් වුවත් අප පිළිගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අප විසින් සිදුකරන ඇතැම් අයථා ලිංගික ක්‍රියාකාරකම් නිසා වැළෙඳන බොහෝ රෝගාබාධයන් කෙළවර වන්නේ පිළිකා රෝගයෙන් බව’ මොන්ටි්‍රයල්හි මැක්ගිල් විශ්වවිද්‍යාලයේ පිළිකා රෝග අංශයේ ප්‍රධානී වෛද්‍ය Eduardo Franco පවසයි.

Share this Post