කැනඩාවේ වෙසෙන සමස්ත බෞද්ධ ප්‍රජාවගේ සංස්කෘතික අනන්‍යතාවය සහ සිවිල් දායකත්වය ඉහළින්ම ඇගයීමට ලක් කරමින්, මැයි මාසය (වෙසක් මාසය) ‘කැනේඩියානු බෞද්ධ උරුම මාසය’ (Canadian Buddhist Heritage Month) ලෙස නිල වශයෙන් නම් කිරීමට ඔන්ටේරියෝ ප්‍රාන්ත රජය කටයුතු කර ඇත. මෙම සුවිශේෂී පියවරත් සමඟ, බෞද්ධ උරුමය උදෙසා මෙලෙස සමස්ත මාසයක් නිල වශයෙන් වෙන් කළ ලොව ප්‍රථම සහ එකම රට බවට පත්වෙමින් කැනඩාව ලෝක ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක් කර තිබේ.

මෙම ඓතිහාසික අවස්ථාව උත්කර්ෂවත් අන්දමින් සැමරීම සඳහා, කැනඩාව තුළ බෞද්ධ උරුමය සහ සංස්කෘතික දායකත්වය නිල වශයෙන් ස්ථාපිත කිරීමට කැපවී ක්‍රියා කරන බෞද්ධ නායකයින් සහ සංවිධානවලින් සැදුම්ලත් ජාතික කමිටුවක් විසින් විශේෂ මහෝත්සවයක් සහ සාම පාගමනක් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව පසුගිය මැයි 28 වන දින ඔටාවා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී (Parliament Hill)  මෙම සුවිශේෂී උත්සව මාලාව ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. මෙම අවස්ථාවට ථේරවාද, මහායාන, වජ්‍රයාන ඇතුළු විවිධ බෞද්ධ සම්ප්‍රදායයන් නියෝජනය කරමින් භික්ෂු භික්ෂුණීන් වහන්සේලා සහ ප්‍රජා නියෝජිතයන් 150 කට අධික පිරිසක් එක්ව සිටියහ.

කැනේඩියානු බිම තුළ බුදුදහමේ සාමයේ පණිවිඩයත්, බෞද්ධ ජනතාවගෙන් මෙරට විවිධත්වය, සහජීවනය සහ මානව සාරධර්ම නංවාලීම උදෙසා ලැඛෙන මහඟු දායකත්වයත් මැනවින් පිළිබිඹු කළ මෙම අවස්ථාව, කැනේඩියානු බෞද්ධ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වූ බව සංවිධායකයෝ පවසති.

මෙම ඓතිහාසික මහෝත්සවයේ අතිශය සුවිශේෂී අවස්ථාව උදා වූයේ ඔටාවා පාර්ලිමේන්තු සංකීර්ණයේ Room No 200 හිදී පැවැත්වුණු විශේෂ වැඩසටහනත් සමඟිනි.

එහිදී කැනේඩියානු පාර්ලිමේන්තු ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් ප්‍රථම වතාවට, පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දී තිබුණි. මෙම ආගමික වතාවත්වලින් අනතුරුව පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට පිහිටි සුප්‍රකට Centennial Flame පරිශ්‍රයේදී, වෙසක් සමයට උචිත අතිශය සාම්ප්‍රදායික හා අලංකාර ‘බුද්ධ අභිෂේක’ පූජෝත්සවයද පවත්වනු ලැබීය.

උත්සවයේ ප්‍රධාන අංගයක් ලෙස පාර්ලිමේන්තු වටරවුම කේන්ද්‍ර කරගනිමින් ‘සාම පාගමනක්’ (Walk for Peace) සංවිධානය කර තිබූ අතර, එය විවිධ බෞද්ධ සංස්කෘතික සංදර්ශනවලින්ද වර්ණවත් විය. සංවිධාන කමිටුව ප්‍රකාශ කළේ බෞද්ධ දර්ශනයේ මූලික හරය වන මෛත්‍රිය, කරුණාව, සිහිය (Mindfulness) සහ සමාජීය සමගිය ප්‍රවර්ධනය කිරීම උදෙසා මෙම සාම පාගමන වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සුහද හමුවකින් උත්සවය නිමාවට පත් විය.

මෙම ආගමික වතාවත් නිම වීමෙන් පසු, එම උත්සවය සඳහා කැනඩාවේ නන් දෙසින් පැමිණි බෞද්ධ නියෝජිත පිරිස කැනඩා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය (Public Gallery)වෙත කැඳවාගෙන යනු ලැබූහ. එහිදී ඔවුහු මෙරට දේශපාලනයේ වැදගත්ම අවස්ථාවක් වන පාර්ලිමේන්තු සභා වාරයේ Question Period අවස්ථාව සජීවීව නැරඹීමේ අවස්ථාවටද එක් වූහ. කැනේඩියානු දේශපාලන ක්ෂේත්‍රය සහ බෞද්ධ ආගමික උරුමය එකිනෙක යා කළ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම සමස්ත වැඩසටහන ඉතිහාසයට එක් වේ.

මෙම බෞද්ධ උරුම මාසය මුළු කැනඩාවටම බලපාන පරිදි ෆෙඩරල් මට්ටමින් නිල නීතියක් ලෙස අවසන් වශයෙන් සම්මත කරවා ගැනීම සඳහා වන දේශපාලන සහ සිවිල් ක්‍රියාවලිය මේ වන විට සාර්ථක පියවර කිහිපයක් පසුකරමින් ඉදිරියට ඇදෙමින් පවතී. ඒ සඳහා කැනඩාවේ ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Jenna Sudds ගේ ඍජු මැදිහත් වීම ඇතිව, කැනේඩියානුවන් දහස් ගණනකගේ අත්සනින් යුත් නිල මහජන පෙත්සමක් දැනටමත් කැනඩා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Commons) වෙත නිල වශයෙන් ඉදිරිපත් කර ඇත.

මෙම ෆෙඩරල් නෛතික ක්‍රියාවලිය සාර්ථකව අවසන් අදියර කරා රැගෙන යාම සඳහා, දැනට දියත් කර ඇති ජාතික ප්‍රයත්නය මෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම සාමකාමී ජනහමුව මහඟු අනුබලයක් වනු ඇතැයි බෞද්ධ නායකයෝ දැඩි විශ්වාසයකින් යුතුව අපේක්ෂා කරති.

සියවසකට අධික දීර්ඝ කාලයක සිට කැනේඩියානු සමාජයේ ව්‍යුහාත්මක සංවර්ධනය, සංස්කෘතික අනන්‍යතාවය මෙන්ම ප්‍රජා සේවා ක්ෂේත්‍රයන් වෙනුවෙන් කැනේඩියානු බෞද්ධ ජනතාව ඉටුකර ඇති අමිල මෙහෙවර නිල වශයෙන් රාජ්‍ය ඇගයීමට ලක් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එය විවිධත්වයට ගරු කරන කැනඩාවේ බහුසංස්කෘතික ප්‍රතිපත්තිය තවදුරටත් අර්ථවත් කරමින් ශක්තිමත් කරන්නක් බව ෆෙඩරල් රජයේ නායකයින්ද මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කර සිටියේය.

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව කැනඩාව පුරා විසිරී සිටින 500,000කට අධික බෞද්ධ ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් (300,000කට ආසන්න සංඛ්‍යාවක්) ජීවත් වන්නේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේය. මෙම ජාතික ප්‍රයත්නයට සමගාමීව, ඔන්ටේරියෝ ප්‍රාන්තය තුළද මැයි මාසය බෞද්ධ උරුම මාසය ලෙස ප්‍රාන්ත නීතියක් බවට පත් කෙරෙන ‘පනත් කෙටුම්පත’ (Bill 118, Buddhist Heritage Month Act, 2026) ඔන්ටේරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් දැනටමත් සාර්ථකව ඒකමතිකව සම්මත කර, රාජ්‍ය අනුමැතිය (Royal Assent) ද සහිතව නිල වශයෙන් නීතිගත කර අවසන් වීම සුවිශේෂී ජයග්‍රහණයකි.

සියවසකට අධික අතීතයක සිට කැනේඩියානු බිම මත පියවර තැබූ බෞද්ධ ප්‍රජාව, බුදුදහමේ අනුපමේය හරයන් වන අසීමිත කරුණාව, අවිහිංසාව සහ සහජීවනය දෛනික ජීවිතයේ ප්‍රායෝගික ආදර්ශයන් බවට පත් කරමින්, කැනඩාවෙහි පාසල් පද්ධතිය, සේවා ස්ථාන, රෝහල් මෙන්ම ප්‍රජා මධ්‍යස්ථාන හරහා අතිමහත් සමාජ මෙහෙවරක් ඉටු කර තිබේ. මෙම නිල නෛතික පිළිගැනීම, හුදෙක් එක් ආගමික අනන්‍යතාවයක ඇගයීමක් පමණක් නොව, විවිධත්වය අගයන කැනේඩියානු බහුසංස්කෘතික සමාජ දේහය තවදුරටත් අලංකාරවත් කරමින් ශක්තිමත් කිරීමට තැබූ සර්වකාලීන පියවරකි.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!