කැනඩාවේ උද්ධමනය හොඳින් පාලනය වන ලකුණු මධ්‍යයේ කැනේඩියානු ආර්ථිකය නංවාලීම කෙරෙහි අවධානය යොමු කරමින්, කැනඩා මහ බැංකුව සියයට 0.5 (0.5%) ක පොලී අනුපාත කප්පාදුවක් ලබා දී ඇත.
ඒ අනුව වර්තමාන මහ බැංකු පොලී අනුපාතිකය සියයට 3.75(3.75%) ක් ලෙස සඳහන් වේ. පසුගිය නොවැම්බර් 23 වෙනි දා ප්‍රකාශයට පත් කෙරුණු මෙම නව පොලී අනුපාතිකය මේ වසරේ ජූනි මාසයේ සිට අඛණ්ඩව සිදුකළ සිව්වන පහත වැටීමයි. එසේම මින් පෙර ජූනි, ජූලි සහ සැප්තැම්බර් මාසවල සියයට 0.25 (0.25%) කින් අඩු වූ පොලී අනුපාතය මෙවර සියයට 0.5(0.5%) කින් අඩු වීමෙන් ජනතාව මත පැටවී ඇති ආර්ථික පීඩනයට යම් තරමක සහනයක් වනු ඇත.
COVID-19 වසංගතයෙන් පිටත 2009 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු කැනඩාවේ විශාලතම පොලී අනුපාත කප්පාදුව මෙය බව සඳහන් වේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ කැනඩාවේ මහ බැංකු අධිපති Tiff Macklem පැවසූවේ, මෙවැනි විශාල පියවරක් ගැනීමට හැකි වූයේ උද්ධමනය සියයට දෙකේ ඉල්ලක්කයට අඩුවෙන් ආපසු ගොස් ඇති නිසා බවයි. මේ වන විට කැනඩාවේ උද්ධමන අනුපාතය සියයට 1.6 ක් ලෙස පහත වැටී ඇත.
උද්ධමන මට්ටම පාලනය කිරීමත් සමග මහ බැංකුවේ අවධානය කැනේඩියානු ශ්‍රම වෙළඳපොළ ඉහළට ගෙන යෑම ඉලක්ක කරගනිමින් සිටී. මේ වන විට කැනඩාවේ විරැකියා අනුපාතිකය සියයට 6.5 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම පොලී කප්පාදුව පිළිබඳව අදහස් දක්වන ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ, මෙසේ සියයට 0.5 කින් පොලිය කපා හැරියත් අපට තවමත් කැනඩාව දැනට අරගල කරන ආර්ථිකයෙන් ගැලවිය නොහැකි බවයි.
කැනඩා මහ බැංකුවේ මෙම විශාල අනුපාත කප්පාදුව ස්ථාවර උකස් ණය අනුපාත කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා නොකරන අතර නිවාස වෙළඳපොළට එයින් වැඩි වෙනසක් වෙතැයි සිතිය නොහැක. කෙසේ වෙතත් මෙම පොලී අනුපාත පහළ දැමීම නිසා නිවාස වෙළඳපොළේ මිල දී ගැනීම්වල යම් වැඩි වීමේ තත්ත්වයක් සිදුවිය හැකි බව විශ්ලේෂකයෝ පවසති.
Share this Post