සෑම අතකින්ම යුක්ති ගරුක වෘත්තියක් විය යුතු නීතිඥ වෘත්තිය තුළ කටයුතු කරන ඇතැම් පුද්ගලයින් නිසා එහි ගරුත්වයට හානි සිදුවන අවස්ථාවන් පිළිබඳව බොහෝ විට අසන්නට ලැබේ. විශේෂයෙන්ම සත්‍ය වසන් කරමින් සිදුකරන වංචාකාරී වැරදි නිසා අගතියට පත්වන පිරිස දිනෙන් දිනම වැඩිවෙමින් පවතී.
මේ පිළිබඳව සලකා බැලු ඔන්ටාරියෝ රජය, නීතිඥයන් නිසා එලෙස අගතියට පත්වන ජනතාවට සාධාරණයක් ඉටු කිරීම සඳහා පියවරක් ගෙන ඇත. ඒ අනුව මින් ඉදිරියට යම්කිසි නීතිඥයකු විසින් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට වංචාවක් සිදුකළහොත් එම නීතිඥයා සිදුකළ වංචාව නීතිය මගින් තහවුරු කොට නීතිඥයාගෙන් ඩොලර් 500,000 දක්වා වන්දි මුදලක් ලබා ගැනීමේ අවස්ථාව අසාධාරණයට ලක් වූවන්ට හිමි වේ.
මින් පෙරද නීතිඥයන්ගෙන් වන වැරදි සඳහා වන්දි මුදල් ඉල්ලීමේ ක්‍රමවේදය තිබුණු නමුත් ඔන්ටාරියෝ ඉතිහාසය තුළ මෙතරම් විශාල වන්දි මුදලකට නීතිඥයන් යටත් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. ඒ අනුව පෙරදී තිබූ වන්දි ප්‍රමාණය මෙන් තෙගුණයක් දක්වා මෙවර එය වැඩි කොට ඇත.
නීතිඥයන් සිදුකරන වැරදි සඳහා අයකරගත හැකි වන්දි මුදලේ අගය අවසන් වතාවට වෙනස් වීමට භාජන කෙරුණේ 2008 වසරේදීය. එහිදී කැනඩාවේ නීතිඥ සංගමයේද අනුමැතිය සහිතව එම වන්දි මුදල ඩොලර් 150,000 ක් ලෙස නියම කර තිබුණි.
මහජන සුභසිද්ධිය හා යහපත පිළිබඳව සැලකිල්ල යොමු කොට අට වසරකට පසු මෙසේ මෙම වන්දි මුදල් ප්‍රමාණය වැඩි කිරීමට තීරණය කළ බව සඳහන් කරන නීතිඥ සංගම් කමිටුව ඒ සඳහා සුදුසුම අවස්ථාව මෙය බවත් පෙන්වා දී ඇත.
නීතිඥවරුන්ගේ වැරදි නිසා මුදල් අහිමි වන සේවාදායකයින්ට වන්දි ගෙවීම සඳහා ඔන්ටාරියෝ නීතිඥ සංගමය විසින් 1953 දී මෙම අරමුදල පිහිටවනු ලැබ ඇත.
නීතිඥයින්ගෙන් සිදුවන වැරදි සඳහා ඔන්ටාරියෝ පළාත මෙවර පනවා ඇති වන්දි මුදල කැනඩාවේ සෙසු සියලූම පළාත්වලට වඩා පුළුල් වෙනසක් ගෙන ඇත. උදාහරණක් ලෙස, නෝවාස්කෝෂියාවේ මෙම වන්දි මුදලට සීමාවක් දක්වා නොමැති අතර ක්‍යුඛෙක්හි එය ඩොලර් 100,000 ක් ලෙස දක්වා ඇත.
මින් පෙර තිබූ වන්දි මුදල් රෙගුලාසි යටතේ නීතිඥ සංගමය විසින් 2014 පෙබරවාරි 01 දා සිට 2016 අගෝස්තු 31 වෙනිදා දක්වා වන්දි මුදල් ලෙස ඉල්ලූම්කරුවන් 260 කට ඩොලර් මිලියන 7.5 ක මුදලක් ලබා දී ඇත.

Share this Post