ෆෙඩරල් රජය මගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති නවතම ළමා ප්‍රතිලාභ (Child Benefit) අද (ජූලි 20 දා) සිට බැංකු සහ ලිපි බහාලුම් වෙත ලැබීමට නියමිතව ඇත.

දරුවන් සිටින පවුල් සඳහා ගෙවනු ලබන මෙම ළමා ප්‍රතිලාභයන් universal child care benefit, Canada child tax benefit සහ national child benefit supplement යටතේ ප්‍රතිස්ථාපනය කර ඇත.

පසුගිය කැනඩා ෆෙඩරල් මැතිවරණයේදී ලිබරල් රජය විසින් ලබාදුන් පොරොන්දුවකට අනුව මෙම නව සහන ක්‍රියාත්මක කෙරේ. මෙම ප්‍රතිලාභය වෙනුවෙන් බදු අය කළ නොහැකි අතර අඩු ආදායම් ලබන බොහෝ පවුල් අතර වැඩි මුදලක් බෙදී යන ආකාරයට මෙම නව ප්‍රතිලාභ ක්‍රමය සැකසී ඇත.

මෙම නව ප්‍රතිලාභ ක්‍රමය සැකසීමේදී යම් ගෘහයකට සිටින අවුරුදු 18 ට අඩු දරුවන් සංඛ්‍යාව සහ එම පවුලේ ශුද්ධ ආදායම පදනම් කරගෙන ඇත.

උදාහරණයක් ලෙස,

වසරකට ඩොලර් තිස්දහසකට අඩු ශුද්ධ ආදායම සහිත පවුලකට මෙම නව ක්‍රමය යටතේ සම්පූර්ණ ප්‍රතිලාභ හිමි වේ. මෙහිදී අවුරුදු 6 ට අඩු දරුවකු වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් 6,400 කුත් අවුරුදු 6 – 17 ත් අතර දරුවන් සඳහා ඩොලර් 5,400 කුත් ලෙස හිමිවනු ඇත.

වසරකට ඩොලර් 150,000 කට වැඩියෙන් උපයන පවුලක දරුවන් සඳහා ලැබෙන මාසික ප්‍රතිලාභය මෙම නව ක්‍රමය තුළදී අඩු කර ඇත. ආබාධිත ගෙවීම් සඳහා සුදුසුකම් ලබා ඇති දරුවන් සඳහා මාසිකව අමතර ඩොලර් 227 ක්ද එක් කොට ඇත.

‘මෙම නව සැලැස්ම මේ වන විට ක්‍රියාත්මක කර ඇති මහජන සෞඛ්‍ය සේවාවේ සිට වෙනත් ඕනෑම පොදු ප්‍රතිපත්තියකට වඩා ආදායම අඩු පවුල්වලට උදව් කිරීමේ වැඩ පිළිවෙළක් වේවි’ යැයි මේ පිළිබඳව අදහස් දැක්වූ ෆෙඩරල් මුදල් අමාත්‍ය බිල් මොර්න්‍යු පවසා සිටී.

මෙම නව ප්‍රතිලාභ ක්‍රමය නිසා 2017 වන විට අඩු ආදායම් සහිත පවුල්වල දරුවන් 300,000 කට පමණ යහපත් තත්ත්වයක් උදාකර දීමට හැකිවනු ඇතැයි ලිබරල් රජය අපේක්ෂා කරයි.

Share this Post