AstraZeneca එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් කැනේඩියානුවන්ට දෙවැනි මාත්‍රාව ලෙස mRNA තාක්ෂණයෙන් නිෂ්පාදිත එන්නතක් ලබා ගැනීම නිර්දේශ කරන බව කැනඩාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව – Canada’s National Advisory Committee on Immunization (NACI) ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව AstraZeneca එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් කෙනෙකුට Pfizer-BioNTech හෝ Moderna යන එන්නත් දෙකෙන් එකක් දෙවැනි මාත්‍රාවට තෝරාගැනීමේ අවස්ථාව නුදුරු දිනකදී ලැබෙන බව NACI පවසයි. නමුත් පළමු මාත්‍රාව ලෙස mRNA එන්නතක් ලබා ඇති කිසිවෙකුට දෙවන මාත්‍රාව ලෙස AstraZeneca එන්නත ලබා දීම සඳහා මණ්ඩලය යෝජනා නොකරයි. එසේ වුවත් සමාන mRNA තාක්ෂණය සහිත Pfizer හෝ Moderna පළමු එන්නත් ලෙස ලබා ඇති අයට දෙවැනි මාත්‍රාව ලෙස එම එන්නත් දෙකෙන් කුමක් හෝ එකක් ලබාගත හැකි බවද NACI නිර්දේශ කර සිටී.

ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් එන්නත් මිශ්‍ර කිරීම මගින් කොවිඩ්-19 වැළැක්වීමට සැලසෙන ඵලදායිතාවත් එම භාවිතයෙහි පවතින ආරක්ෂිත බවත් පිළිබඳව මෑතකදී ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය විසින් කරන ලද පර්යේෂණ දත්තයන්හි යාවත්කාලීන කරන ලද මග පෙන්වීම් NACI කමිටුව විසින් ගත් මේ තීරණයට පදනම් වී ඇතැයි සඳහන් වේ.

එන්නත් මිශ්‍ර කිරීම පිළිබඳව ස්පාඤ්ඤය සිදුකළ පර්යේෂණය සඳහා පළමු මාත්‍රාව ඇස්ට්‍රාසෙනෙකා ලබාගත්, වයස අවුරුදු 18-59 ත් අතර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 670 ක් යොදාගෙන තිබුණි. ඒ අතරින් පුද්ගලයන් 450 කට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට කටයුතු කර ඇත. එහිදී නිරීක්ෂණය වී ඇත්තේ එම පුද්ගලයන් අතර IgG ප්‍රතිදේහවල වැඩි වීමක් සිදුවන බවයි. මෙම IgG ප්‍රතිදේහ රුධිර ප්‍රවාහයේ බහුලව දක්නට ලැබෙන අතර වෛරසයට එරෙහිව සටන් කරන memory cells නිර්මාණය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි. දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් ලබාගත් පුද්ගලයන් තුළ IgG ප්‍රතිදේහ නිර්මාණය එක් ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවක් ලබා සිටි කණ්ඩායමට වඩා සියයට 30 සිට 40 ගුණයක් දක්වා වැඩි වූ බව මෙම පර්යේෂකයින් විසින් තහවුරු කොට සිටී. කෙසේ වුවත් මේ සඳහා සහභාගි වූවන් අතරින් සියයට 1.7 කට පමණ හිසරදය, මාංශ පේශි වේදනාව වැනි යම් අතුරු ආබාධා තත්ත්වයන් පෙන්වා ඇති නමුත් ඒවා සාමාන්‍ය ව්‍යාධිවලට පමණක් සීමා වී ඇත.

එක්සත් රාජධානිය (U.K.) මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව එන්නත් මාත්‍රා දෙක විවිධ එන්නත් මිශ්‍ර කර ලබාදීමෙන් තෙහෙට්ටුව, හිසරදය හෝ උණ වැනි මධ්‍යස්ථ අතුරු ආබාධ ඇතිවීමේ අවදානම වැඩි බව සොයාගෙන ඇත. සිරුරු තුළ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති වීමේදී මෙවැනි අතුරු ආබාධ දැකිය හැකි බව එම පර්යේෂකයින් පවසා සිටියි.

කැනඩාව තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් ඇතැම් පුද්ගලයන්ට Thrombotic Thrombocytopenia (VITT) දුර්ලභ ලේ කැටි ගැසීමේ රෝගී තත්ත්වය ඇතිවීමත් සමග එන්නතෙහි ආරක්ෂාව පිළිබඳ කැනඩා සෞඛ්‍ය අංශ වඩාත් සැලකිලිමත් විය. (ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 2 ක් අතරින් VITT රුධිර කැටි ගැසීමේ රෝගීන් 27 දෙනෙකු කැනඩාවෙන් වාර්තා වූ අතර ඔවුන් අතරින් 5 දෙනෙකු මිය ගොස් තිබුණි.) එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඔන්ටේරියෝව ඇතුළු පලාත් කිහිපයක්ම පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම අත්හිටුවා ඇත. එසේම එන්නත් වෙළඳපොළ තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි සැපයුම පිළිබඳ ඇති ගැටලුත් අධීක්ෂණයට ගෙන ගනු ලැබූ මෙම පියවර වඩාත් සාර්ථක වනු ඇතැයි NACI කමිටුව අපේක්ෂා කරයි.

කැනඩාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව විසින් ලබා දුන් මෙම නිර්දේශය කොවිඩ්-19 පාලනය කිරීම සඳහා මෙරට තුළ ගෙන යන වැඩ පිළිවෙළට විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි විවිධ වෛද්‍ය සහ සෞඛ්‍ය ප්‍රධානීහු පවසා සිටිති.

මැයි 22 වන දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති කැනඩා ෆෙඩරල් රජයේ දත්තයන්ට අනුව කැනේඩියානුවන් මිලියන 21 කට වැඩි පිරිසක් අවම වශයෙන් පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන ඇත. එයින් මිලියන 13 කට වැඩි පිරිසකට Pfizer එන්නතද මිලියන 3.5 කට අධික පිරිසකටද Moderna එන්නතද මිලියන 2.1 කට වැඩි පිරිසකට AstraZeneca එන්නතද ලැබී ඇත.

Share this Post