පසුගියදා (ජූලි 03 දා) ටොරොන්ටෝවේ පැවති සමරිසි පෙළපාලිය සමරිසියන්ගේ අභිමානය යථාර්ථයක් කළ අවස්ථාවක් ලෙස එම පෙළපාලියේ සංවිධායකයෝ පවසා සිටිති. මෙවර සමරිසි පෙළපාලියේ කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝද ගමන් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු අතර මෙරට නායකයකු මේ ආකාරයට සමරිසි පෙළපාලියක ගමන් ගත් ප්‍රථම අවස්ථාව ලෙස එය ඉතිහාසගත වනු ඇත.

කැනඩාව තුළ LGBTQ ප්‍රජාව නීත්‍යනුකූලව පිළිගෙන ඇති අතර ඔවුන් වෙනුවෙන් වසරක් පාසා නොයෙකුත් උත්සව, පෙළපාලි කැනඩාවේ සෑම පළාතකම පැවැත්වේ. ටොරොන්ටෝ සමරිසි අභිමාන පෙළපාලිය (Toronto Pride Parade) සැම අතරින් විශාලතම  පෙළපාලිය ලෙස සැලකේ.

කැනඩාවේ විවිධ පළාත්වලින් මෙන්ම ලොව නන් දෙසින්ද (විශේෂයෙන්ම එක්සත් ජනපදය සහ දකුණු ඇමරිකානු රටවලින් මෙම පෙළපාලියට එක්වීම සඳහා වාර්ෂිකව විශාල පිරිසක් පැමිණේ්) පැමිණෙන දස දහස් සංඛ්‍යාත සමරිසි වූවෝ මෙම දේදුණු වර්ණවත් පෙළපාලියෙහි ගමන් ගන්නේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සමගිනි. 36 වන වරටත් මෙවර පැවැත්වුණු අභිමානි සමරිසි පෙළපාලිය Bloor සහ Church වීදියෙන් ආරම්භ වූ අතර Yonge වීදියෙන් සහ Dundas Square වලින් අවසන් විය.

මෙවර පෙළපාලිය තුළ දේශපාලන නියෝජනය වැඩිපුර දක්නට ලැබුණු අතර අගමැති ටෘෘඩෝ හැරුණු විට ඔන්ටේරියෝ මහ ඇමතිනි කැත්ලීන් වේන් සහ ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටොරීද එහි ගමන් ගන්නා අයුරු දක්නට ලැබුණි.

පසුගිය මාසයේදී එක්සත් ජනපදයේ ඔර්ලන්ඩෝ සමරිසි සමාජශාලාවේදී වෙඩි ප්‍රහාරවලට ගොදුරුව මියගිය පිරිස සිහිකිරීම මෙවර පෙළපාලිය තුළදී සිදුවූ අතර එහිදී මියගිය 49 දෙනාගේ නම් සහිත බැනර ප්‍රදර්ශනය කිරීමත් ඔවුන් වෙනුවෙන් ශෝකය පළ කිරීමත් සඳහා මොහොතක නිශ්ශබ්දතාවයකට පත් වීම සිදු කෙරුණි. එම ප්‍රහාරය සිහිකරමින් කතා කළ අගමැතිවරයා පැවසූවේ වෛරය වපුරමින් ඉදිරියට යෑමක් සිදුකළ නොහැකි බව සෑම දෙනෙකුම තේරුම්ගත යුතු බවයි.

සිරියා සහ අරාබි ජාතික සමරිසියෝ සැලකිය යුතු සංඛ්‍යාවක් මෙවර මෙම දේදුණු පෙරහැරේ ගමන් කරන අයුරු දක්නට ලැබුණු අතර ඔවුන් අතර සිටි සිරියානු සරණාගතයකු ලෙස මෙහි පැමිණි සමරිසියෙකු, තමන්ට මෙවැනි නිදහසක් ලබා දීම පිළිබඳව අගමැති ටෘෘඩෝට ස්තූතිය පළ කිරීමටද අමතක නොකළහ.

වර්තමානයේදී සමරිසි ජීවිත ගත කිරීමට පෙළඹෙන පුද්ගලයන් දැඩි ලෙස වර්ධනය වීමෙන් අනාගතයේදී මිනිස් ප්‍රජාව දැඩි අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දිය හැකි බවත් මෙය තරුණ වැඩිහිටි හැමදෙනෙක් තුළම දැඩි උන්මාදයක් මෝස්තරයක් වී ඇති බවත් මෙය අසම්මතය සම්මතයක් කර ගැනීමට වෙර දැරීමක් බවත් රාජ්‍ය මට්ටමින් ඊට අනුග්‍රහය ලබා දීම කණගාටුවට කරුණක් බවත් සමරිසි වූවන් නොරුස්සන ඇතැම් අය පවසා තිබුණි.

 

Share this Post