ඔන්ටාරියෝවේ දේපළ මිල දී ගැනීමට කැමති විදෙශිකයින් හට වැන්කූවර්හි මෙන් බද්දක් පැනවූවොත් එයින් ආර්ථීකය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති විය හැකි බව ඔන්ටාරියෝවේ දේපළ වෙළඳ සංගම් දෙකක් පවසා සිටී.
වැන්කුවර් අඩි පාරේ යමින් විදේශ ගැනුම් කරුවන් මිල දී ගන්නා දේපළ සඳහා බද්දක් පැනවීම කෙරෙහි ටොරොන්ටෝ දේපළ වෙළඳාම් මණ්ඩලය (TREB) සහ ඔන්ටාරියෝ දේපළ වෙළඳාම් සංගමය (OREA) මේ වන විට කරුණු ගෙනහැර දක්වමින් පසු වෙතත් ටොරොන්ටෝව ඇතුළු තදාසන්න නගරවල දේපළ මිල ගණන් ඉහළ යෑම විසඳීමට එයින් පිළියමක් නොලැඛෙන බව මේ සංගම් තර්ක කර සිටී.
ටොරොන්ටෝ දේපළ මිල ගණන් ඉහළ යෑම කෙරෙහි විදේශ දේපළ මිල දී ගන්නන්ගෙන් ඇති කරන බලපෑම පිළිබඳව සැබෑ පරීක්ෂණයක් කළ යුතු බව මෙම සංවිධානය යෝජනා කර සිටී.
මේ වන විට ටොරොන්ටෝව හා තදාසන්න නගරවල දරාගත හැකි මිල ගණන් ඉක්මවා ගිය දේපළ වෙළඳපොළක් ඇති වී තිබීම කෙරෙහි ‘සංකීර්ණ හේතු ගණනාවක්’ බලපා ඇති බව මෙම සංවිධානය පෙන්වා දේ.
GTA හා ඔන්ටාරියෝ ප්‍රධාන නගර තුළ සමස්ත ගැනුම් කරුවන් සංචිතය පිළිබඳව සලකා බැලීමේදී මිල වර්ධනය සම්බන්ධයෙන් විදේශ ගැනුම්කරුවන් දායකත්වය නොසැලකිය යුතු තරම් බව මෙම දේපළ වෙළඳ සංගම් පවසයි. අසාමාන්‍ය ලෙස මිල ගණන් වර්ධනය වැළැක්වීමට නිවාස හා දේපළ සඳහා ඇති ඉල්ලූම හා සැපයුම පිළිබඳ අභියෝගාත්මක ගැටලූ පිළිබඳව මූලිකව සලකා බැලිය යුතු බවත් දේශීය හා පළාත් මට්ටමින් දැරිය හැකි මිල ගණන් සහිත නිවාස සැපයුම් සිදුකළ යුතු බවත් මෙම සංගම් පවසා සිටී.
ඔන්ටේරියෝ මහ ඇමතිනී කැත්ලීන් වේන්ද මේ පිළිබඳව අදහස් දක්වා ඇති අතර ඇය පවසා ඇත්තේ, විදේශිකයන් සඳහා වැන්කුවර්හි පැනවූ බද්ද ටොරොන්ටෝ සහ වැන්කූවර් අතර නිවාස වෙළඳපොළ තුළ ඇති කරන වෙනස පිළිබඳව සැලකිලිමත් වී ඉන් අනතුරුව ගත යුතු පියවර ගන්නා බවයි. මෙම තත්ත්වය පිළිබඳ යම් තීරණයක් ගත යුතු නම් එයින් සිදුවිය හැකි අනපේක්ෂිත ප්‍රතිවිපාකයන් පිළිබඳවත් වගබලා ගත යුතු බව ඇය පවසා සිටියි.
කෙසේ වුවත් පසුගිය අගෝස්තු 02 දා සිට විදේශික ගැනුම් කරුවන් සඳහා වැන්කූවර්හි ක්‍රියාත්මක කෙරුණු සියයට 15 බද්ද නිසා එම පළාතේ දේපළ වෙළඳාම් කටයුතු සියයට 32.6 කින් පහළ වැටී ඇත. අගෝස්තු මාසය හා සසඳා බැලීමේදී සැප්තැම්බරයේ එම පළාතේ detached houses, condos and town homes මිල ගණන් සියයට 0.1 කින් පහත වැටී ඇත.

Share this Post