June 24, 2017

නිල සංකේත – Official symbols

රටක සංස්කෘතිය, අනන්‍යතාව, සාරධර්ම හා ප්‍රෞඨත්වයත් විදහා දැක්වෙන කැඩපතක් ලෙස නිල සංකේත හැඳින්විය හැක. මේ නිසාම රටක ජනතාවගේ සිතුම් පැතුම් ආකල්පයන් පිළිබඳව සැලකිල්ල යොමු කොට ඒ ඒ රටවලටම ආවේණික වූ ආකාරයකට එම සංකේත නිර්මාණය කිරීමට සෑම රටක්ම උත්සුක වී ඇත. මෙම සංකේතයන් සඳහා ජීවී මෙන්ම අජීවී වස්තූන්ද යොදාගෙන ඇති අවස්ථා දැක ගත හැක.

කැනඩාවේ වෙසෙන අපි මේ වන විට මෙරට නිල සංකේත ගැන යම් තරමකට දැනුවත්ව සිටිමු. විශේෂයෙන්ම කැනඩා පුරවැසිභාවය අයදුම් කළ සියලූම දෙනා තුළ කැනඩාවේ නිල සංකේතයන් පිළිබඳ යම් අදහසක් ඇත්තේ එහිදී පෙනී සිටින පරීක්ෂණවලදී ජාතික සංකේතයන් පිළිබඳව අනිවාර්යයෙන්ම විමසන හෙයිනි. ඒ අනුව මෙරට රාජ්‍ය ලාංඡනය, ආදර්ශ පාඨය, ජාතික කොඩිය, ජාතික ගීතය, නිල වර්ණ, ජාතික වෘක්ෂය, ජාතික සත්වයා, ජාතික ක්‍රීඩාව ආදිය පිළිබඳව අප දැනුවත් වී ඇත.

මෙහි පැමිණ වසර කීපයක් ඉක්ම යෑමත් සමග නාමිකව කැනේඩියානුවන් බවට පත් වුවත් කිසිදු විටෙක උපන් රටෙන් බැහැර විය නොහැකි අන්දමින් අපි මවුරට සමගද බැඳී සිටිමු. එනිසාම අපේ මවුරට වන ශ්‍රී ලාංකාවේ නිල සංකේත එසේත් නොමැති නම් ජාතික සංකේත පිළිබඳවත් දැන සිටීම බොහෝ සෙයින් වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ ජාතික සංකේත අතර රාජ්‍ය ලාංඡනය, ජාතික කොඩිය, ජාතික ගීතය, ජාතික ඇඳුම, නිදහස් මන්දිරය, ජාතික වෘක්ෂය, ජාතික පක්ෂියා, ජාතික පුෂ්පය, ජාතික ක්‍රීඩාව ආදි සංකේත රාශියක් පවතී.

රාජ්‍ය ලාංඡනය

රාජ්‍යයක අයිතිය ප්‍රකාශ කෙරෙන ප්‍රධාන සංකේතය රාජ්‍ය ලාංඡනය වේ. අතීත ශ්‍රී ලංකාවේ සිංහල රජුන් පැළඳි පේරැස් මුදුව රාජ්‍ය ලාංඡන මුද්‍රාව ලෙස භාවිත කර ඇති බව ඒ පිළිබඳව ඇති සන්නස් ලියවිලිවල දක්වා ඇත. පසු කාලීනව යටත් විජිත පාලන කාලයන් අතරතුරදී එනම්, පෘතුගීසි (1505-1796), ලන්දේසි (1796-1815), ඉංග්‍රීසි (1815-1948) පාලන කාලවලදී රාජ්‍ය ලාංඡනය ලෙස ඇත් රූප සහිත මුද්‍රාවන් භාවිත කර ඇති අතර ඇතෙකුගේ රූපයක්ද පොල් ගස් කීපයක්ද ඒ සෑම ලාංඡනයකම දක්නට ලැබී ඇත.

  පෘතුගීසි යුගයේ රාජ්‍ය ලාංඡනය Sri_Lanka

ලන්දේසි යුගයේ රාජ්‍ය ලාංඡනය   Coat_of_arms_Ceylon_dutch_colony

ඉංග්‍රීසි යුගයේ රාජ්‍ය ලාංඡනය   Coat_of_arms_Ceylon_british_colony

1948 පෙබරවාරි 04 වන දින ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ඩොමීනියන් රාජ්‍යයක් ලෙස කටයුතු කරනු ලැබුණි. එම කාල වකවානුවේදී එනම් 1948 සිට 1952 දක්වාත් ඉහත දැක්වෙන ඉංග්‍රීසි පාලන සමයේ භාවිත කෙරුණු රාජ්‍ය ලාංඡනය භාවිත කර ඇති අතර 1952 වසරේදී අලූත් රාජ්‍ය ලාංඡනයක් හඳුන්වා දීමට කටයුතු කර තිබුණි. ඒ අනුව සිංහ රුවක් සහ ඔටුන්නක් සහිතව සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන් ලංකා යනුවෙන් ලියවුණු රාජ්‍ය ලාංඡනයක් 1952 සිට 1972 දක්වා ලංකා රජය විසින් භාවිත කර ඇත.

100px-Coat_of_Arms_Ceylon_dominion.svg

1952 න් පසු ඩොමීනියන් ලංකාව භාවිත කළ රාජ්‍ය ලාංඡනය

පසුව 1972 මැයි 22 වන දින සම්මත කරගත් ව්‍යවස්ථාව යටතේ ජනරජයක් බවට පත් වූ ලංකාව ජනරජ දින උත්සවය සමරන අවස්ථාවේදී නව රාජ්‍ය ලාංඡනයක්ද නිර්මාණය කරගනු ලැබුණි. වත්මනේදී භාවිත වන මෙම රාජ්‍ය ලාංඡනය කලාකරුවන් කීපදෙනෙකුම සම්බන්ධ වී නිර්මාණය කර තිබූ හෙයින් මෙහි අවසන් නිර්මාපකයා කවුද යන්න පිළිබඳව මතභේදයක්ද පවතී. මෙය ප්‍රකට චිත්‍ර ශිල්පී එස්. එම්. සෙනෙවිරත්නයන්ගේ බවට මත පළ කරන පිරිසක්ද පූජ්‍ය මාපලගම විපුලසාර හිමියන්ගේ නිර්මාණයක් බවට මත පළ කරන පිරිසක්ද සිටිති. එනිසාම අපේ ජනරජ ලාංඡනය නිශ්චිතව කාගේ නිමැවුමක්දැයි පැවසිය නොහැකි වීම කණගාටුවට කරුණකි.

ඕනෑම රටක රාජ්‍ය ලාංඡනයක මෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ ඇති සලකුණුවලින්ද විවිධ අරුත් ලබා දේ. කවාකාර හැඩයකින් නිම වූ රාජ්‍ය ලාංඡනයේ දැක්වෙන ඉර-හඳ මගින් සමෘද්ධිමත් ස්වයංපෝෂිත රටක් සහ ඉර හඳ පවතින තාක් ධර්මයේ ආරක්ෂාව ලැඛෙන රටක් සංකේතවත් වේ. අසිපතක් අතින් ගත් සිංහයා මගින් ජාතියේ ප්‍රෞඪත්වය සංකේතවත් කෙරෙන අතර සිංහයා වටා ඇති පළා පෙති(නෙළුම් පෙති) මෝස්තරය මගින් නිර්මල බව සංකේතවත් වේ. එයට පිටතින් ඇති වී කරල්වලින් (ධාන්‍ය) සෞභාග්‍ය, සශ්‍රීකත්වයත් නෙළුම් මල් සහිත පුන්කළසින් පරිපූර්ණ බවත් පෙන්නුම් කෙරේ. ලාංඡනයේ ඉහළින්ම ඇති ධර්ම චක්‍රය මගින් අටලෝ දහමෙන් නොසෙලෙන ධාර්මික බව සංකේතවත් කෙරේ. ලාංඡනය වටා ඇති මායිම් රේඛාවෙන්ද අර්ථයක් දැක්වෙන අතර එය රටේ ඒකීය බව පෙන්වන ලකුණ ලෙස සැලකේ.

රාජ්‍ය ලාංඡනය රජයේ නිල කටයුතුවලදී පමණක්ම යොදා ගැනෙන්නක් වන අතර මොනම හේතුවක් නිසාවත් ඉන් බැහැර කටයුත්තකට යොදා නොගැනේ. පෞද්ගලික කාර්යයන්හිදී රාජ්‍ය ලාංඡනය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර රාජ්‍ය ලාංඡනය කිසිදු ආකාරයක වෙනස් කමකට විකෘතියකට හෝ අවභාවිතයකට යොදා ගැනීමද සපුරා තහනම් වේ.

ජාතික කොඩිය

රටක අභිමානය පිළිබිඹු කෙරෙන ප්‍රධානතම සංකේතයකි ජාතික ධජය. ලෝකයේ ඕනෑම තැනකදී ශ්‍රී ලංකා කොඩිය දුටු වහාම අප සිත් තුළ ඇති වන්නේ ප්‍රබල ජාතික හැඟීමකි.

ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික කොඩිය පැරණි රාජකීය කොඩි ආභාෂයට ගනිමින් නිර්මාණය වී ඇත. ඈත අතීතයේ සිටම ලංකාවේ සිංහ රුව සහිත ධජ භාවිත කර ඇති බවට සාක්ෂි දක්නට ඇත. ශ්‍රී ලංකාවේ පැරණිම ජාතික කොඩිය ලෙස සැලකෙන්නේ දඹුලු විහාරයේ සිතුවමක ඇති දුටුගැමුණු රජතුමාගේ කොඩියයි. දුටුගැමුණු රජුගේ සේනාව විසින් රැගෙන යන එම කොඩියේ දැක්වෙන්නේද සිංහ රුවකි. ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් භාවිත කළ කොඩි හතරෙන් තුනකමද සිංහ රුව දැක්වේ.

1948 පෙබරවාරි 04 වෙනි දින පළමු නිදහස් උත්සවයේදී ඔසවනු ලැබුවේ පැරණි රාජකීය සිංහ ධජය වන අතර එය මෙරුන් පැහැති පසුබිමක අසිපත ගත් කහ පැහැති සිංහයෙකු සහිත වූවක් විය. එම පැරණි ජාතික කොඩිය වෙනුවට නව ජාතික කොඩියක් නිර්මාණය කිරීමේ කටයුතු ඒ වන විටත් ක්‍රියාත්මකව පැවතුණත් නිදහස ලබන දිනය වන විට එහි නිර්මාණ කටයුතු අවසන් වී නොතිබුණි.tt

අලුත් ජාතික ධජයේ නිර්මාණ කටයුතු සඳහා අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් නිල කමිටුවක් පත්කරන ලද අතර එය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ආචාර්ය ලලිත් අභය රාජපක්ෂ, ටී. බී. ජයා, එස්. නඩේසන්, ආචාර්ය සෙනරත් පරණවිතාන යන මහත්වරුන්ගෙන් සමන්විත විය. මෙම කමිටුවේ අදහස් අනුව තීරණය වූ ජාතික ධජයේ චිත්‍ර නිර්මාණ කටයුතු භාර වූයේ රජයේ කලායතනයේ විදුහල්පතිවරයා වූ ජේ. ඩී. ඒ. පෙරේරා මහතාටය. කලාශ+රී එස්. පී. චාල්ස් මහතා එහිදී සහායක ලෙස කටයුතු කළේය. මේ පිරිස එක්වී නිර්මාණය කළ ජාතික ධජය සඳහා පැරණි ජාතික ධජයේ සිංහයා සහ වර්ණයන් යොදාගන්නා ලද අතර ඊට අමතරව සිංහල ජාතිය හැර සෙසු ජාතීන් දැක්වීම සඳහා කොළ සහ තැඹිලි පැහැති සිරස් තීරු දෙකක්ද එක් කර තිබුණි. ඒ ආකාරයෙන් නිම කරන ලද ජාතික කොඩිය 1952 පෙබරවාරි 04 වෙනිදා පැවැත්වූ නිදහස් උළෙලේදී ප්‍රථම වරට ඔසවනු ලැබුණි.

වත්මනෙහිදී අප භාවිත කරන ජාතික ධජය අවසන් වරට වෙනස් වීමකට භාජන කර ඇත්තේ 1972 වසරේදීය. ලංකාව ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් වීමෙන් පසුව සිදුකෙරුණු ව්‍යවස්ථා සංශෝධනයත් සමග ජාතික කොඩියේ මෙම වෙනස්කම් සිදුකරන ලදී. එහිදී  ජාතික කොඩියේ කොන් හතරෙහි තිබූ කොත් වැනි සටහන් හතර ඉවත් කොට බෝ කොළ සතරක් ඇතුළත් කොට නිර්මාණය වුණි. ප්‍රථම ජනරජ දිනය යෙදුණු 1972 මැයි 22 වෙනිදා මුල්වරට එම ජාතික ධජය ඔසවනු ලැබුණි.

1978 සැප්තැම්බර් 9 වන දින ජනරජ ව්‍යවස්ථාවට ජාතික ධජය පිළිබඳ නීති රීති ඇතුළත් කෙරුණු අතර එයින් ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ඇඟවෙන ප්‍රධානතම සංකේතයෙහි පැවැත්ම ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ජාතික කොඩියේ දිග පළල සහ එහි ඇතුළත් සියලූම චිත්‍ර රේඛා සැලසුම්ද වර්ණයන්ද ජාතික ප්‍රමිතියකට අනුව ප්‍රමිතිගත කිරීම සිදුකර ඇත.

ජාතික කොඩියෙන් නිරූපිත අදහස්

  • තද රතු (මෙරුන් පැහැය) ශ්‍රී ලංකාවේ සියලූම ජනතාවගේ ජීව රුධිරය සහ පැරණි සිංහල රාජකීය ධජයේ නියෝජනය පෙන්නුම් කෙරේ.
  • කහ පැහැති සිංහයා ශ්‍රී ලාංකිකයන්ගේ නායකත්ව ශක්තිය, උදාරත්වය, විනයගරුක බව හා සිංහල ජාතිය සිංහයාගෙන් පැවත එන බව පැවසීම
  • කහ අසිපත ජාතියේ ශ්‍රේෂ්ඨත්වය, අභිමානය
  • සිංහයාගේ හිසේ කේශර සහ වලිගයේ නැමුණු කොටස මේ දෙකොටස එක සමාන මට්ටමේ පිහිටන පරිදි ඇති අතර එයින් පාලකයාත් පුරවැසියාත් අතර සමානාත්මතාව පෙන්නුම් කරයි.
  • බෝ පත් සතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන් පිළිබිඹු කරයි.
  • හරිත සහ තැඹිලි සිරස් පටි දෙක දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ජා ආදි සියලුම අනෙකුත් ජාතීන් නියෝජනය වේ.
  • සමාන පළලකින් යුතු කහ පටිය ජාතික කොඩියේ සියලූ කොටස් මේ කහ පටියෙන් එකට බැඳී ඇති අතර එයින් සියලු ජාතීන් අතර එකමුතුව, සාමය හා අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රකාශ කෙරේ.

ජාතික ගීය

ලෝකයේ හතර දිග්භාගයේ ජීවත් වුවත් උපන් රටේ ජාතික ගීතය ඇසෙන ඇසිල්ලෙන් නොනැගිටෙන පුද්ගලයෙකු ඇතැයි සිතිය නොහැක. ඕනෑම රටක පුරවැසියකුගේ සිරුරේ ලේ මස් ඇට නහර පුරා කා වැදී ඇති ජාතිකත්වයේ උත්තරීතර බව පෙන්වන තවත් සංකේතයකි ජාතික ගීය.

1948 පෙර ලාංකිකයන් ජාතික ගීය ලෙස ගරු බුහුමන් කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික ගීය වූ ඨදා  God  Save the King ගීතයටයි. නිදහස් ජාතියක් ලෙස හිස එසැවීමේ අවශ්‍යතාව දැඩිව මතුවීමත් සමග අපටම අනන්‍ය වූ ජාතික ගීයක් නොමැති අඩුපාඩුව කාහටත් වැඩි වැඩියෙන් දැනුණේ ඒ අනුව අපේම ජාතික ගීයක් නිර්මාණය කර ගැනීමේ කටයුතු ඇරඹුණු අතර 1940 වසරේදී සුප්‍රකට සංගීතඥ ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත ‘නමෝ නමෝ මාතා’ නම් ගීතය මේ සඳහා තෝරා ගැනුණි. ආනන්ද සමරකෝන් මහතා මේ ගීතය රචනා කරන විට ගාල්ල මහින්ද විද්‍යාලයේ ආචාර්යවරයකුව කටයුතු කර ඇති අතර ඔහු විසින් මෙය එම පාසලේ සිසුන් තුළ දේශානුරාගය, ජාත්‍යාලය ඇති කිරීම සඳහා රචනා කර ඇති බව සඳහන් වේ. පසුව මෙම ගීතය එච්. එම්. වී තැටියකට ගායනා කෙරුණු අතර ආනන්ද සමරකෝන් මහතාගේ සෙසු ගීත මෙන්ම නිතර ගුවන් විදුලියෙන්ද ප්‍රචාරය විය.

1948 ජනවාරි මාසයේ ශ්‍රී ලංකා ගාන්ධර්ව සභාවේ අනුමැතිය පරිදි ජාතික ගීයක් තෝරා ගැනීම සඳහා තරඟයක් පැවති අතර එකල රටේ නමගිය ගීත රචකයන් සියල්ලන්ම ඊට ගී නිර්මාණ ඉදිරිපත් කර තිබුණි. එවකට අධ්‍යාපන ඇමතිව සිටි ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ටිඛෙට් ජාතික ඇස්. මහින්ද හිමි, ඇම්. ෙජ්. පෙරේරා, පී. බී. ඉලංගසිංහ යන පිරිසගේ ගීත ඊට ඇතුළත් වී තිබුණු අතර ආනන්ද සමරකෝන් මහතාගේ ‘නමෝ නමෝ මාතා’ ගීතය ඔහුගේ බිරිඳ වූ කැරලයින්ද සිල්වා මහත්මිය ඉදිරිපත් කර තිබුණි. මෙම තරඟයේදී ජාතික ගීය ලෙස තෝරා ගැනුණේ පී. බී. ඉලංගසිංහ සූරීන් විසින් රචිත ‘ශ්‍රී ලංකා මාතා – පාලා යස මහිමා ජය ජය’ යන ගීතයයි ඒ අනුව පළමු නිදහස් උළෙලේදී ජාතික ගීය ලෙස මෙය පුරුදු පුහුණු කර ගායනා කරනු ලැබුණි. නමුත් එම ගීතයේ පද රචක පී. බී. ඉලංගසිංහයනුත් සංගීතය හා තනුව නිර්මාණය කළ විශාරද ලයනල් එදිරිසිංහයනුත් ගී තරගයේ විනිශ්චය මණ්ඩලයේ සිටි බැවින් අක්‍රමිතාවක් සිදුවූ බවට එල්ල වූ චෝදනාවත් සමග රජය විසින් එම ගීය ‘ජාතික ගීය’ ලෙස පිළිගත් නිල භාවය අහෝසි කරනු ලැබුණි.

1950 දී එවකට මුදල් ඇමතිව සිටි ෙජ්. ආර්. ජයවර්ධන මහතා කැබිනට් සංදේශයක් ගෙන එමින් ගුවන් විදුලියේ නිතර ප්‍රචාරය වන ජනතාව විසින්ද නිල නොවන ජාතික ගීය ලෙස සලකන ආනන්ද සමරකෝන්ගේ ‘නමෝ නමෝ මාතා’ ගීතය ජාතික ගීය ලෙස පිළිගත යුතු බව පැවසීය. දීර්ඝ කතාබහකින් පසු ආනන්ද සමරකෝන් සූරීන් විසින්ම කරන ලද වචන 2 ක වෙනසකින් පසු 1951 නොවැම්බර් 22 දා ‘නමෝ නමෝ මාතා’ ගීතය ලංකාවේ ජාතික ගීය බවට පත් විය. එහෙත් එලෙස නිල ජාතික ගීය ලෙස නිවේදනය කිරීමට පෙර මෙම ගීය 1949 නිදහස් උළෙලේදී සිංහලෙන් මෙන්ම දෙමළ භාෂාවෙන්ද ගායනා කොට තිබුණි.

පසු කලෙක මෙම ගීතයේ ‘නමෝ’ පදයේ ‘න’ අක්ෂරය අසුබ බව කියමින් ආන්දෝලනයක් හටගත් අතර 1961 දී ආනන්ද සමරකෝන් සූරීන්ද නොදැනම එම නමෝ යන්න වෙනුවට ‘ශ්‍රී ලංකා මාතා’ යන්න එකතු කොට තිබුණි. මේ වෙනස් කිරීම නිසා ආනන්ද සමරකෝන් සූරීන් දැඩි සිත් තැවුලට පත් වූ බවත් ඒ නිසාම ඔහුගේ මරණය පවා සිදුවූ බවත් පැවසෙන අතර 1962 අප්‍රේල් 02 දා අධික ලෙස නිදි පෙති ගැනීමෙන් ආනන්ද සමරකෝන් සූරීන් දැයෙන් සමුගෙන තිබුණි.

අපේ රටේ ජාතික ගීතය පිළිබඳව නොයෙකුත් මති මතාන්තර ආරම්භයේ සිටම පළ වුවත් ජාතියක අනන්‍යතාව පෙන්වන මෙම ගීතය අප හදවත්හි ලැගුම් ගෙන අවසන්ය. එහෙත් ලොව සෙසු රටවල ජාතික ගී ගායනා හා සසඳන කල බොහෝ ප්‍රධාන උත්සව අවස්ථාවලදී පවා රටක ජාතික ගීයකින් කොටසක් ගායනා කරන එකම රට අප පමණක් විය හැකි බව සිතේ. එය ඇත්තෙන්ම කණගාටුවට කරුණක් වන අතර දීර්ඝ වූ ජාතික ගීයක් හිමිවූ පමණින් එය කපා කොටා ගායනා කිරීම සුදුසු නොවන්නක් බව කිව යුතුවේ. මෙම කැපීම නිසා කුඩා දරුවන් පමණක් නොව ඇතැම් වැඩිහිටියන් පවා අපේ ජාතික ගීයේ අග කොටස් නිවැරදිව ගායනා කිරීමට නොදන්නා බව කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇත.

ජාතික ගීය MP3

 

ශ්‍රී ලංකා මාතා

අප ශ්‍රී……. ලංකා

නමෝ නමෝ නමෝ නමෝ මාතා

සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා

ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා

අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා

පිළිගනු මැන අප භක්තී පූජා

නමෝ නමෝ මාතා

අප ශ්‍රී …… ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ඔබ වේ අප විද්‍යා – ඔබමය අප සත්‍යා

ඔබ වේ අප ශක්තී – අප හද තුළ භක්තී

ඔබ අප ආලෝකේ – අපගේ අනුප්‍රාණේ

ඔබ අප ජීවන වේ – අප මුක්තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා

ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා

එක මවකගෙ දරු කැල බැවිනා

යමු යමු වී නොපමා

ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා

අප ශ්‍රී…….. ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

 

සටහන – චමරි අබේසිංහ

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*