June 24, 2017

බිව්ව නේද වදකහ සුදිය !

රැකගෙන තරුණ කම – ඉන්නට ආස අය

බිව්ව නේද වද කහ සුදිය……..

ලෝකෙ කොහේ සිටියත් ශ්‍රී ලාංකිකයන් එක් වන සතුටු සාජ්ජ අතරතුරදී නිතර ඇහෙන ගීතයකි මේ. ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සී. එල්. ෆොන්සේකා මහතා විසින් රචනා කර ඔහුගේ සංගීත කණ්ඩායමත් සමග ගායනා කෙරුණු මේ ගීතය පසු කලෙක බයිලා ගීත කියූ සෑම ගායකයකු විසින්ම ගායනා කරනු ලැබුණි. එකල ලංකාවේ සිදුවූ එක්තරා සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන ෆොන්සේකා මහතා විසින් ලියූ මේ ගීතයේ එන ‘වදකහ සුදිය’ කුමක්දැයි යන්න මෑත කාලයක් වනතුරුම මට නොතේරුණක් විය. පසුව ඒ පිළිබඳව සොයා බැලීමේදී එම වචනයෙන් හැඳින්වූයේ කුමක්ද යන්න පැහැදිලි වූ අතර වදකහ සුදිය පිටුපස ඇති කතාන්දරය ඉතාමත් රසවත් නිසා මෙසේ සටහන් කිරීමට සිතුවෙමි.

ශ්‍රී ලංකාව ‘සිලෝන්’ නමින් හැඳින්වූ ඒ යුගයේ පුවත්පත් ඇතුළු සන්නිවේදන මාධ්‍ය මෙතරම් ප්‍රබල නොවූ අතර ලේක්හවුසියෙන් ඛෙදාහැරුණු දිනමිණ, සිළුමිණ පුවත්පත් දෙකත්, ටයිම්ස් ආයතනයේ ලංකාදීපයත් හැරුණු කොට තිබුණේ රේඩියෝ සිලෝන් නමින් හැඳින්වූ ගුවන් විදුලි සේවය පමණි. තිබූ පුවත්පත් ස්වල්පයද මිල දී ගැනුණේ එහෙමත් නිවසක පමණක් වූ අතර ගුවන්විදුලි යන්ත්‍රයද සුලභ භාණ්ඩයක් නොවුණි. බොහෝ විට කඩපිළකට එකතු වුණ පිරිස එතැන සිටි අකුරු ශාස්ත්‍රය දැන සිටි අයකු ලවා පුවත්පත් කියවා ගැනීමට උනන්දු වූ අතර ගුවන් විදුලියට සවන්දීමද එතැනදීම සිදුවිය.

නමුත් 1955 වසරේ එක්තරා කාල සීමාවකදී අපේ රටේ තිබූ මේ පත්තර දෙක තුන උණු කැවුම් මෙන් විකිණී ඇති අතර දිනපතා පත්තර නොගත් ඇත්තන් පවා පත්තරයක් ගෙන කියවීමට උනන්දු වී ඇත. එකල ඒ සෑම පත්තරයකම මූලික පුවත ලෙස වාර්තා කොට තිබුණේ නුදුරේදී ශ්‍රී ලංකාවට පෙනෙතැයි පැවසුණු සූර්ය ග්‍රහණයක් පිළිබඳවය. පිටු ගණන් ඒ පිළිබඳව ලිපි පළ වී තිබී ඇති අතර 1955 ජූනි මස 20 වන දින සිදුවන එම සූර්යග්‍රහණයට මුහුණ දිය යුතු ආකාරය බොහෝ ලිපිවල දක්වා තිබී ඇත. තාරකා, වෛද්‍ය, ජ්‍යෙතිෂ්‍ය ආදි විද්‍යාත්මක ක්ෂේත්‍ර ගණනාවකට අයත් ලිපි සූර්යග්‍රහණයට අදාළව ලියවී තිබුණු අතර විශේෂයෙන්ම ජ්‍යෙතිෂවේදීන්ට මෙහිදී හොඳ ඉඩකඩක් වෙන්වී තිබුණි. ස්වභාවික හා අස්වාභාවික සිදුවන සෑම වෙනස්කමකටම ජ්‍යෙතිෂය පටලවාගෙන මත පළ කරන ජ්‍යෙතිෂවේදීන් මෙකල මෙන්ම එකලද සිට ඇති නිසා පත්තරවල ඔවුන්ගේ අදහස් යහමින් පළ වී තිබුණි. එක් අතකින් ජ්‍යෙතිෂය හා සූර්යයා අතර විශාල සබඳතාවක් පවතින නිසා සූර්යයාගේ සිදුවන මේ විපර්යාසය ජ්‍යෙතිෂවේදීන්ගේම කාර්යයක් යැයි ඇතැම් අය සිතුවා විය හැකිය.

රේඩියෝ සිලෝනයත් පුවත්පත්වලට නොදෙවෙනිව සිය කාර්යභාරය සිදුකර ඇති අතර සූර්යග්‍රහණය පිළිබඳ ඉතාමත් රසවත් වැඩසටහන් රැසක් එහිද ගුවන් ගතකර තිබුණි. එවකට පැවති රජයද සූර්යග්‍රහණය අවස්ථාවේදී ජනතාව හැසිරිය යුතු ආකාරය ගැන නිවේදන වරින් වර ගුවන් විදුලිය මගින් නිකුත් කිරීමට කටයුතු යොදා තිබුණි. විශේෂයෙන්ම කා හටත් නවතම අත්දැකීමක් වූ මේ සූර්යග්‍රහණයට ජනතාව සූදානම් කරවීමේ වගකීම සෑම මාධ්‍යයක් විසින්ම කරට ගෙන කටයුතු කර ඇති බව ඒ පිළිබඳව වූ පැරණි තතු විත්ති කියවීමෙන් පෙනී යයි. 1

මේ සූර්යග්‍රහණය සිදුවූ අවදිය පිළිබඳව රසවත් කතා ගොන්නක් මගේ ආච්චි අම්මා සතුවද තිබූ අතර වරින් වර අතීත කතා රස කර කියන අවස්ථාවලදී ඇය ඒවා අපට පැවසූ අයුරු මගේ මතකයේ ඇත. එවකට කුඩා ළමුන් වූ අම්මාත් මාමාත් සමග ඒ දුෂ්කර දිනයට මුහුණ දීමට සැරසුණු අයුරු ඈ අපට විස්තර කළේ මෙසේය.

“ඒක මහ පුදුම කාලයක්. ළමයින්ගෙ තාත්තා  වැඩට ගිහින් ඇවිත් කියනවා – අහවල් දවසෙ ඉඳල කාලයක් යනකම් දහවලක් නෑ කියනවා. අපෙත් වැඩ නවත්තාවි කාලෙකට – කියල. ඉතිං අපි පණ බයේ හිටියේ. ඇයි ඉතිං තිත්ත කළුවරේ මේ ළමයි එක්ක ඉන්න ලේසියැ… කෝකටත් කියල අපි ඒ දවස් වෙද්දි වැඩිපුර කෑම බීම, ලාම්පු තෙල් එහෙම ගෙනල්ල තියාගත්ත. අපි විතරක් නෙමෙයි අහළ පහළ හැමෝමයි ලංකාවෙ හැමෝමයි ඒ විදියට ඒ කළුවර කාලෙට සූදානම් වුණේ… කඩවල්වල බඩු මුට්ටුත් හිඟ වුණා හැමෝම තොග පිටින් ගත්ත නිසා. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල හිතාගන්න බැරි විදියට එක එක කතා පැතිරුණා…”

අපේ ආච්චි අම්මා කියූ ‘කාලයක් යනකම් දහවලක් නෑ’ යන්න බොහෝ විට කටකතා ඇසුරෙන් හදාගත්තක් විය හැකිය. පුවත්පත්වල පළ වී තිබූ ‘පූර්ණ සූර්යග්‍රහණයක්’ යන්න බොහෝ දෙනෙකු ‘දවස් ගණනක් ලොව අන්ධකාරයේ පවතී’ ලෙසින් තේරුම් ගත්තා වීමට පුළුවන.

ආච්චි අම්මා පැවසූ තවත් කතාවකින් කියවුණේ මෙවැන්නකි. “ඒ ආපු සූර්යග්‍රහණෙ දිහා එකපාරටම ඇස්වලින් බලන්න එපා කියල පත්තරවල ගියා. රේඩියෝ එකේ නිතරම කිව්වා. ඉතිං එදා උදේම අපේ ගෙදර ආපු අයියා අපිට දොර ජනෙල්වත් අරින්නෙ නැතුව ගෙට වෙලා ඉන්න කියල කිව්ව. මාත් බයේම දොර ජනෙල් වහන් හිටියා. මේ ළමයි බැරිවෙලාවත් බැලූවොත් ඇස් අන්ධ වෙයි කියන බය හිතට වැටිලනෙ තිබුණෙ”

මේ විදියට මහත් ආන්දෝලනයක් ඇති කළ ‘සූර්ය ග්‍රහණ’ කතාවේ උච්චතම අවස්ථාව උදා වී ඇත්තේ එම කාල වකවානුවේ පත්තරයක පළ කර තිබූ උණුසුම් පුවතකින් පසුය. දේශීය වෛද්‍යවරයකු යැයි කියූ තැනැත්තකු විසින් පළමුව ප්‍රසිද්ධ කර තිබූ මෙම පුවත පසුව ජ්‍යෙතිෂවේදීන් විසින්ද අනුමත කර නිර්දේශ කර තිබුණි. එම පුවතින් කියවුණේ සූර්යග්‍රහණය සිදුවන අවස්ථාවේදී වදකහ අඹරා බීමෙන් සිරුර පැහැපත් වී ඡවි වර්ණය ලැබී සදාකාලික තරුණ පෙනුමක් අත්කර ගත හැකි බවයි.

මඳක් සිතන්න. මෙවැනි පූර්ණ සූර්යග්‍රහණ අපට ඕනෑ ඕනෑ වේලාවට පැමිණෙන්නේ නැත. මේ පැමිණි වාසනාවන්ත දුර්ලභ අවස්ථාවේදී සුලභව ඇති වදකහ භාවිත කර සුරූපි වී තරුණ වී සිටීමේ අවස්ථාව මඟ හැර ගන්නේ කුමන නම් මෝඩයෙක්ද? පුවත කණ වැටුණු බොහෝ දෙනෙකු සිතුවේ ඒ ආකාරයෙන් විය හැක. තරුණ, මහළු, ලස්සන, අවලස්සන, සුදු, කළු, තළෙළු කවුරුත් බේදයකින් තොරව වතු පිටි, ගස් ගල් පෙරළමින් වද කහ සොයමින් වෙහෙසුණ අයුරු එදා සිටි ඇත්තන් පවසන්නේ ඔවුන්ද එයට හවුල් වූ අයුරු සිනාවෙමින් සිහිගන්වමිනි. අවලස්සන අය ලස්සන වීමටත් ලස්සන අය තවත් ලස්සන වීමටත් සිතාගෙන බීම සඳහා වද කහ සෙවීමේ නිරත වූ බව ඔවුහු පවසති. ඇතැම් අය ප්‍රසිද්ධියේ වදකහ සෙවූ අතර ඇතැම්හු කාටත් හොර රහසේ තම කාර්ය කිරීමට උත්සාහ ගෙන ඇත.

කෙසේ හෝ සූර්යග්‍රහණය සිදුවන දිනය වන විට බොහෝ නිවෙස්වල සිටි අය වදකහ කෝප්පය බැගින් සූදානම් කරගැනීමට සමත් වී තිබුණි. ඒ ‘වදකහ සුදිය’ ගැන ආච්චි අම්මා පැවසුවේ මෙවැන්නකි. “අපේ නඟා බැඳල හිටියෙත් නෑනෙ. ඉතිං මෙයත් එක පොරයට දැඟලූවා වදකහ බොන්න. ඒත් බොරු වැඩ නොකර ඉන්නව කියල අයිය හොඳටම බැනපු නිසා එයාට බොන්න වෙලා නෑ”

එදා ලස්සන වීමට වදකහ බිව් බොහෝ දෙනෙකු අද ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටිති. වදකහ බිව් පිරිස අතර බහුතරය තරුණ වයසේ සිටි කාන්තාවන් වූ අතර තරුණ පිරිමි සහ මැදි වයසේ දෙපාර්ශවයේම පිරිසද සැලකිය යුතු පමණින් සිට ඇත. මෙහිදී ඇතැම් දෙමව්පියන් තමන් බොන ගමන්ම කුඩා දරුවන්ටද වදකහ පෙවීමට කටයුතු කර තිබුණි. එදින වදකහ බිව් පාදුක්කේ පීටර් සිංඤො මහතා මෑතකදී ඒ පිළිබඳව පුවත්පතකට මෙසේ පවසා තිබුණේ සිනා නඟමිනි.

‘ඒ කාලේ කවුද කේන්දර කාරයෙක් කියලා තිබුණා සූර්යග්‍රහණය සිද්ධ වෙන වෙලාවට වදකහ බිව්වාම ලස්සන වෙනවා කියලා. අපේ හොඳ තරුණ කාලෙ නිසා තව ටිකක්ලස්සන වුණොත් කොච්චර හොඳයිද කියලා කල්පනා කළා. ඉස්සර ඕනෑම ගෙදරක වදකහ කෑල්ලක්, අරළු ගෙඩි කිහිපයක්, සාදික්කා ගෙඩියක්, වෙනිවැල්ගැට කෑල්ලක්, රත්හඳුන් කෑල්ලක් නැති වෙන්නේ නැහැ. මමත් මොකද කළේ වදකහ කෑල්ලක් අරගෙන ගෙයි පිළිකන්නට ගියා. හොඳට මැදපු රවුම් ඛෙහෙත් ගලක් ගෙදර තිබුණා. ඕකේ උරච්චි කරලා ඛෙහෙත් ගානවා අපි දැකලා තියෙනවා. මටත් දවසක් සර්පයෙක් කාලා අපේ අම්මා රත් හඳුන් කෑල්ලක් දෙහි ඇඹුලෙන් උරච්චි කරලා සතා කාපු තැන වටේ ගෑවා. මම ඉතිං ඒ ගලත් අරගෙන ගිහින් වතුර ටික ටික දාලා වදකහ කෑල්ල උරච්චි කර කර කෝප්පයකට දාගත්තා. ඊට පස්සේ වදකහ කෝප්පය තැනක හංගලා සූර්යග්‍රහණය වෙනතුරු බලාගෙන හිටියා. ඔන්න ටික ටික කරුවල වෙලා හොඳටම කරුවල වුණා. අපේ අම්මා වතුර බේසමකට නිල් දියකරලා මිදුලේ තියාගෙන සූර්යග්‍රහණය නරඹන්න සූදානම් වෙලා හිටියා. අපේ නංගිලයි, අයියලයි, ලොකු අක්කයි ඒ බේසම වටේ හිටියා. මමත් එතැනට ගියා. කරුවල වෙනවත් එක්කම මම ගෙට දුවලා හොඳටම කරුවල වෙච්ච හැටියේ වදකහ කෝප්පය අරගෙන බීගෙන බීගෙන ගියා. ටිකක් දවල් වෙද්දී ඇඟට පණ නැති වෙනවා වගේ දැනුණා. වමනේ යන්න පටන් ගත්තා. මට සිහිය නැති වුණා. සිහිය එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ. නැගිටලා වටපිට බලනකොට වදකහ බීලා ඇවිත් ලෙඩ්ඩු ගොඩක් ඉන්නවා මම දැක්කා. දොස්තර මහත්තුරු හෙදියො හිනා වෙවී අපට බැණ බැණ ඛෙහෙත් දුන්නා. ඒ වෙලාවේ හරිම ලැජ්ජාවකුත් දැනුණා. ඔන්න ටික වෙලාවකට පස්සේ අපේ හිච්චි අක්කත් වමනෙ දාන්න පටන් අරගෙන ඉස්පිරිතාලෙට ගෙනාවාම තමයි මම දැන ගත්තේ ලස්සන වෙන්න කියලා එයත් හොරෙන්ම වදකහ සුදිය බීලයි කියලා…’

ලංකාවේ හතර දිග්බාගයේ විසූ බොහෝ දෙනෙකු සූර්යග්‍රහණය අවස්ථාවේදී වදකහ බී තිබුණු නිසා රෝහල් ගත කිරීමට සිදුවී ඇති අතර පාචනය හා වමනය තත්ත්වය නිසා ඇතැම් අය නොමැරී බේරී තිබුණේ අනූනමයෙනි. සමහරු මිය ගිය බව කියතත් ඒ පිළිබඳව පිළිගත හැකි සාක්ෂි හමු නොවුණි. ඒ දිනය පිළිබඳව හෙද නිලධාරිනියක ලෙස සේවය කළ හෝමාගම මල්ලිකා මහත්මිය පුවත්පතකට පවසා තිබුණේ මෙසේය.

‘එදා අපට කිසිම ඉස්පාසුවක් තිබුණේ නැහැ. ලෙඩ්ඩු එනවා එනවා ඉවරයක් නැහැ. අන්තිමට ඇඳන්වල ඉඩත් නැහැ. මුළු ඉස්පිරිතාලෙම තිබුණු බාස්කට් අරගෙන හැම ලෙඩාටම එක බැගින් වමනෙ දාන්න කියලා දුන්නා. අන්තිමට කුණු බාස්කට් අස්කරලා හෝදලා ඒවත් ලෙඩ්ඩුන්ට දෙන්න වුණා. ඒවාත් මදිවුණා. අපේ රෝහලේ වැඩ කරපු නර්ස්ලා, ඇටෙන්ඩන්ලා කිහිප දෙනෙකුත් එදා වදකහ බීලා තිබුණා. මේ සිද්ධිය එක පැත්තකින් මුළු රෝහල් කාර්ය මණ්ඩලයටම හාස්‍ය උපදන දෙයක් බවට පත්වුණා. ඒ වගේම දින දෙකක් විතර යනතුරු රෝහලේ කිසිම කෙනෙකුට කිසිම විවේකයක් මේ නිසා ලැබුණේ නැහැ’hhu

කෙසේ වුවත් එම වදකහ බීම පසුව ‘වදකහ සුදිය’ ලෙස ජනගත වූ අතර සූර්යග්‍රහණය වෙලාවේ වදකහ බොන ලෙස මුලින්ම ප්‍රසිද්ධ කළ වෙදාට විරුද්ධව උසාවියේ නඩුවක්ද පනවා තිබුණි. එම නඩුව උසාවියේ ඇසුණු අවස්ථාවේදී වෙදා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා උසාවියට පැමිණ තිබුණේ පත්තර පිටුවක් සමග වදකහ බෝතලයක්ද රැගෙනය. එහිදී ඔහු පෙන්වූ පත්තර පිටුවේ සඳහන් වී තිබී ඇත්තේ ‘රූමත් වීම සඳහා වදකහ යුෂ තේ හැන්දක් පානය කරන’ ලෙසටය. ඒ බව උසාවියට දැක්වූ නීතිඥයා විනිසුරු ඇතුළු උසාවියේ සියල්ලන් ඉදිරියේ වදකහ තේ හැන්දක් පානය කර මෙසේ පවසනු ලැබ ඇත. ‘වදකහ ඖෂධයක්. අපි කිව්වෙ තේ හැන්දක් බොන්න කියල. ඒ මාත්‍රාව ශරීරයට අහිතකර නෑ. ඒ වුණත් මිනිස්සු වදකහ කෝප්ප ගණන් බාල්දි ගණන් බීල ලෙඩ වුණාම ඒ ගැන අපි වගකීමක් ගන්නෙ නෑ…’ නීතිඥයාගේ මේ කතාවෙන් පසු වෙදා ඇපත් නැතිවම නිදොස් කොට නිදහස් කර තිබුණි.

සැබවින්ම අබග්ගය සිදුකරගෙන තිබුණේ වදකහ නැළි ගණන් බිව් පිරිසය. පුවත නිසි ලෙස කියවා වදකහ තේ හැන්දක් බිව් කිසිවෙකුටත් කිසිවක්ම සිදුවී නොතිබුණි. කිසිවක්ම සිදුවී නොතිබුණා යැයි කියුවේ ඒ පුවතින් කියූ ලෙස ලස්සන වැඩි වීමක් හෝ සිදු වී නොතිබුණි. එහෙත් ඔවුන් රෝගී නොවුණි. මෙලෙස කියූ මාත්‍රාවට වැඩියෙන් වදකහ සුදිය ගත් අයගේ අරමුණ වන්නට ඇත්තේ වැඩියෙන් ලස්සන වීම විය හැකිය.

සූර්යග්‍රහණය මුල්කරගෙන මේ විදියට මහා කලබගෑනි රට පුරා සිදුවෙද්දී එදින උදෑසන සිට ඒ පිළිබඳව විවිධ තතු විත්ති ගුවන්විදුලියෙන් සජීවීව විකාශනය කෙරී ඇත. විශේෂයෙන්ම පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව නිරන්තරයෙන් පැවසී ඇති අතර එහිදී පක්ෂීන් හැසිරුණු ආකාරය ඉතාමත් සිත්ගන්නා අයුරින් විස්තර වී ඇත. සුපුරුදු පරිදි උදෑසන කැදලිවලින් පිටව ගිය කුරුල්ලන් ක්ෂණිකව පැමිණි කරුවලත් සමග අන්දමන්දව කෑගසමින් නැවතත් කූඩු කරා පියඹා යෑමට ගන්නා තැතත් විනාඩි කිහිපයක් ඇතුළත නැවතත් පෙර තිබූ ලෙසම හිරු මතු වී එළිය වැටීමත් සමග ඈත මෑත පියාඹමින් වල්මත් වී සිටි පක්ෂීන් කීචි බීචි හඬ නඟමින් මහත් ප්‍රීතියෙන් නැවතත් පුරුදු ජීවන රටාවේ නියැළුණු අයුරුත් එහි කියවුණි. පක්ෂීන් පමණක් නොව දෙහිවල සත්වෝද්‍යානයේ සිටි අලි ඇතුන්, ව්‍යාඝ්‍රයන් ඇතුළු සතුන් අමුතු ආකාරයකින් හ~ නැඟීමට පටන් ගත් බවද පසුව දැක්වුණු පුවත් වාර්තාවල සටහන් වී තිබුණි.

1955 ජූනි 20 වන දින ලංකාවට දර්ශනය වූ එම සූර්යග්‍රහණය පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස සටහන් වී ඇති අතර ලංකාව හැරුණු විට එය දර්ශනය වී ඇත්තේ සියමය, වියට්නාමය, පිලිපීනය යන රටවලට පමණි. විනාඩි 7 යි තත්පර 8 ක් පුරා සිදුවූ මේ සූර්යග්‍රහණය 136 ශ්‍රේණියේ විශාලතම සූර්යග්‍රහණයක් ලෙස හැඳින්වේ.

 

සටහන – චමරි අබේසිංහ

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*