සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා ඇති පුද්ගලයින් එළිමහනේදී මුහුණු ආවරණ පැළදිය යුතු නැතැයි ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය – Disease Control and Prevention (CDC) පවසයි. මේ පිළිබඳව උපදෙස් මාලාවක් CDC ඉදිරිපත් කොට ඇති අතර එයට අනුව විශාල පිරිසක් ඒකරාශී නොවන (ප්‍රසංග, ක්‍රීඩා උත්සව, පෙළපාලි ආදි ජන සමූහ රැස් නොවන) ස්ථානවල පමණක් එන්නත් මාත්‍රා සම්පූර්ණ කළ අයට මුහුණු ආවරණ ඉවත් කර සිටීමට හැකියාව ඇති බව සඳහන් කොට ඇත.

දැනට ඇමරිකාවේ අනුමත කොට ඇති Pfizer හෝ Moderna වැක්සීනවල මාත්‍රා දෙකම හෝ එක මාත්‍රාවක් පමණක් අඩංගු Johnson & Johnson වැක්සීනය ලබා සති දෙකක් ගත වූ පුද්ගලයින්ට මෙසේ මුහුණු ආවරණ ඉවත් කිරීමට හැකියාව ඇතැයි CDC වැඩිදුරටත් පවසයි.

සම්පූර්ණ වැක්සීන ලබාගත් පුද්ගලයින් හට තවත් එවැනිම වැක්සීන මාත්‍රා සම්පූර්ණ කළ පුද්ගලයින් හා මුහුණු ආවරණ නොමැතිව ගැවසිය හැකි අතර CDC නව මාර්ගෝපදේශවලට අනුව,

  • එකම නිවසක පිරිසක් එක්ව එළිමහනේ ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම ආදියේදී මුහුණු ආවරණ අවශ්‍ය නැත.
  • කුඩා කණ්ඩායම් සමග එළිමහන්  එක්රැස්වීම්වලට සහභාගි වීමේදී (සම්පූර්ණ එන්නත් කළ අය සමග) මුහුණු ආවරණ අවශ්‍ය නැත.
  • කුඩා කණ්ඩායම් සමග එළිමහන්  එක්රැස්වීම්වලට සහභාගි වීමේදී (සම්පූර්ණ එන්නත් කළ අය සහ එන්නත් නොකළ පිරිස සමග) මුහුණු ආවරණ අවශ්‍ය නැත.
  • එකම නිවසේ නොවන පුද්ගලයින් සමග භෝජනාගාර එළිමහනේ ආහාර ගැනීමේදී මුහුණු ආවරණ අවශ්‍ය නැත. 

නමුත් තවදුරටත් ආවරණය වූ ස්ථානවල සහ අධික ජනතාවක් ගැවසෙන ස්ථානවලදී මුහුණු ආවරණය පැළදීම අනිවාර්යයෙන්ම කළ යුතු බව CDC පෙන්වා දේ. එසේම පුද්ගල දුරස්ථභාව සහ අත් පිරිසිදු කිරීම ආදි මූලික සෞඛ්‍ය පුරුදුද නොකඩවා සිදුකළ යුතු බව ඔවුන් පෙන්වා දේ.

මෙම මාර්ගෝපදේශන පිළිබඳව අදහස් දක්වන CDC අධ්‍යක්ෂිකා Rochelle Walensky පවසන්නේ,  කොවිඩ්-19 පාලනය කිරීම සඳහා ඇමරිකාව විසින් ගෙන ගිය එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සහ එයින් රට තුළ රෝගය මර්ධනය වෙමින් පවතින ආකාරය පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම නව මාර්ගෝපදේශනය සිදු කළ බවයි.

 

 

 

 

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!