මැක්සිකෝවට පිටුවහල් කෙරුණු ෆිදෙල් කැස්ත්‍රෝ එහිදී මුණගැසුණු Ernesto Guevara (චේ) සමග එක්ව නැවතත් 1956 දෙසැම්බර් 02 වැනි දින කියුබාවට ගොඩ බැස කෙටි කලකින් නැවතත් තම අරගලය ක්‍රියාත්මක කළහ. නමුත් සැඟවී පහර දීම්වලදී ඔවුන්ගෙන් වැඩි පිරිසක් මිය ගිය අතර කැස්ත්‍රෝ, චේ ඇතුළු 20 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පළා ගොස් සැඟවුණි.
මේ වන විට කියුබාව පුරා Fulgencio Batista විරෝධීන් බිහිවෙමින් තිබූ අතර ශිෂ්‍ය ව්‍යාපාර එහි මුල් තැන ගෙන තිබුණි. වරින් වර තැන් තැන්වල සිදුවන අසාර්ථක පහරදීම් සුලභ සිදුවීම් විය. මේ කාලයේදී Sierra Maestra කඳුකරයේ සැඟව සිටි කැස්ත්‍රෝ, චේ ඇතුළු ගරිල්ලා සටන් කරුවන් නැවතත් සංවිධානය වීමට පටන් ගෙන තිබුණි. ප්‍රාදේශීය වශයෙන් සහාය දැක්වීමට ඉදිරිපත් වූ පිරිස් අතරින් ගරිල්ලා භටයන් බඳවා ගැනීමට මෙහිදී ඔවුහු යුහුසුළු වූහ. කෙටි කලකින් කඳුකර ප්‍රදේශයේ සිට බැටිස්ටා හමුදාව වෙත ප්‍රහාර එල්ල කරමින් Sierra Maestra ප්‍රදේශයේ බලය තමන් සතු කර ගැනීමට ගරිල්ලන් සමත් විය. ඒ සමගම Radio Rebelde ගුවන් විදුලි නාලිකාව ක්‍රියාත්මක කොට ඒ හරහා තම අරමුණු හා පණිවුඩ කියුබානුවන් වෙත ලබාදීමට මෙම කණ්ඩායම කටයුතු කළහ. මෙමගින් වැඩ වර්ජන ආදි රජයට බලපෑම් කළ හැකි අවස්ථා නිර්මාණය කිරීමට මොවුන් අවධානය යොමුකර තිබුණි.
බැටිස්ටා විසින් Sierra Maestra ගරිල්ලන් මර්ධනයට ආක්‍රමණ කිහිපයක්ම දියත් කර ඇතත් ඒ සියල්ල සැඟවී සිට පහර දීමෙන් අකර්මණ්‍ය කිරීමට සටන් කරුවන් සමත් විය. ගරිල්ලා නායකයකු වූ Camilo Cienfuegos ගේ ප්‍රධානත්වයෙන් Santa Clara නගරයට එල්ල කළ ප්‍රහාරයෙන් බැටිස්ටා හමුදාව අන්ත පරාජයට පත්වූ අතර 1958 දෙසැම්බර් 31 වෙනි දා Santa Clara හි බලය තහවුරු කිරීමට ගරිල්ලා සටන් කරුවන් සමත් විය.
1959 ජනවාරි 01 වන දින ජනාධිපති බැටිස්ටා ඉල්ලා අස්වී Dominican Republicවෙත පළා ගිය අතර ජනවාරි 03 වන දා චේ ප්රමුඛ පළමු ගරිල්ලා භට කණ්ඩායම හවානා නගරයට ඇතුළු විය. බැටිස්ටා පළා යාමත් සමග සටන් නැවතුනු අතර ෆිදෙල් ඇතුළු 9000 ක් පමණ වූ ගරිල්ලා සටන් කරුවන්ට කිසිදු බාධාවකින් තොරව අගනගරය වන හවානා වෙත පැමිණීමට හැකි විය. 1959 පෙබරවාරි 16 වන දින කියුබානු විප්ලවයට නායකත්වය දුන් ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ අගමැතිවරයා ලෙස පත් විය. පසුව සිදුකරන ලද අධිකරණ ක්‍රියාවලීන් තුළින් රටට වින කළ බැටිස්ටා අනුගාමිකයින් රැසකට මරණ දඬුවම හිමි කර දීමට කැස්ත්‍රෝ රජය කටයුතු කර තිබුණි. කියුබාවේ සිදුවූ මේ පෙරළිකාර වෙනසත් සමග බැටිස්ටා හිතවාදීන් සහ කොමියුනිස්ට් න්‍යාය පත්‍රයට විරුද්ධ වූ කියුබානුවන් එක්සත් ජනපදයට පළා යාමට පටන් ගත්හ. මෙම කියුබානුවන් දේශපාලන සරණාගතයින් ලෙස නම් කරමින් ඔවුන්ට එක්සත් ජනපදයට ඇතුළු වීමට අවසර දුන් අතර 1966 දී කියුබානු සරණාගතයින් වෙනුවෙන්ම පමණක්ම වූ Cuban Adjustment Act අත්සන් කරමින් සංක්‍රමණිකයන්ට වසර දෙකක් තුළ නීත්‍යනුකූල පදිංචිය ලබාදීම සඳහා ඉක්මන් මාවතක්ද විවර කළහ. මෙය 1976 දී වසරක් දක්වා අඩු කළ අතර සරණාගතභාවය අයදුම් කරන්නන් ගුවන් තොටුපළවලින් කුමන හෝ වීසා බලපතක් සහිතව නීත්‍යනුකූලව ඇමරිකාවට ඇතුළු වීම අවශ්‍ය නොවන බවද ප්‍රකාශ කෙරුණි. වෙනත් කිසිදු රටක සංක්‍රමණිකයකුට ලබා
නොදුන් මෙම විශේෂ සැලකිල්ල එක්තරා ආකාරයකට කැස්ත්‍රෝ රජය අස්ථාවර කිරීමට ගත් උත්සාහයක් ලෙසද සැලකේ.
මෙම පනත නිසා සරණාගතයින් ලක්ෂ ගණන් බෝට්ටුවල නැගී එක්සත් ජනපදයට ඒමට පටන් ගති. එක්සත් ජනපදයේ, Cuban Adjustment පනත නොයෙක් අවස්ථාවලදී සිදු කළ සුළු සංශෝධ යටතේ ක්‍රියාත්මක වූ අතර දශක දෙකකට පසු 1995 දී ජනාධිපති Bill Clinton විසින් එහි ප්‍රධාන වෙනස්කමක් සිදුකිරීමට පියවර ගෙන තිබුණි. එය ‘wet foot, dry foot’ policy ලෙස හැඳින්විය. මෙයින් කියුබානු සංක්‍රමණිකයන් යම් තරමකට සීමා කිරීමක් සිදුකොට තිබුණි. එහිදී එක්සත් ජනපද භූමියට කුමන අයුරකින් හෝ පා තැබූ
සංක්‍රමණිකයන්ට පමණක් රටෙහි රැඳී සිටීමට අවසර දුන් අතර මුහුදේදී අත්අඩංගුවට පත්වන පුද්ගලයන් නැවතත් හරවා යැවීම සිදුකරනු ලැබීය. 1959 සිට 1993 දක්වා මිලියන 1.2 ක පමණ පිරිසක් ඇමරිකාවට පළා ගොස් සරණාගතභාවය ලබාගෙන තිබූ බව සඳහන් වේ.
කැස්ත්‍රෝ පාලනය ආරම්භ වූ මුල් කාලයේදී ඇමරිකාව සහ කියුබාව යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබදතා පවත්වා ගැනීමට ක්‍රියා කොට ඇතත් 1961 ජනවාරි මාසයේදී එම තත්ත්වය වෙනස් විය. කියුබාවේ සියලු ඉඩම් සහ ව්‍යාපාර ජනසතු කිරීමට කියුබානු රජය පියවර ගැනීමත් සමග මෙම විරසකය ආරම්භ වූ බව පැවසෙතත් ඊට එහා ගිය හේතු ගණනාවක් මේ තුළ පවතී. විශේෂයෙන්ම ඇමරිකාව වැනි ධනවාදී රටකට, භූගෝලීය වශයෙන් තමන්ට ආසන්නයේම ඇති (කියුබාවේ සිට ඇමරිකාවේ බටහිර ෆ්ලොරිඩාවේ දකුණු ප්‍රදේශයට ඇති දුර කිලෝමීටර 150 ක් පමණි) සමාජවාදී රටක් යම් තරමකට හෝ නැගී සිටීම ඉවසා සිටීමට අපහසු කරුණකි. කැරිබියන් මුහුදේ පිහිටි දූපත් අතර ජනාකීර්ණම සහ සශ්‍රිකම රට කියුබාවයි. යම් හෙයකින් කියුබාව ආර්ථික වශයෙන් ශක්තිසම්පන්න වුවහොත් එය කවදා හෝ ඇමරිකාවට තර්ජනයක් වනු ඇතැයි ඔවුන් සිතනවා විය හැක.
කෙසේ වෙතත් කියුබානු ජනසතුවත් සමග එතෙක් ඇමරිකානුවන්ට අයත්ව තිබූ ඉඩම්, ව්‍යාපාර ආදි සියල්ල රජයට පවරා ගැනීම සිදුවිය. එතෙක් කියුබාව තම පරවේණියක් යැයි සිතා හැසිරුණු එක්සත් ජනපදයට මෙය කණේ පහරක් විය. ඔවුන් ඒ බලය නැවත ලබා ගැනීමට නොයෙකුත් උපක්‍රම යෙදූහ. 1961 දී ඇමරිකාවට පළා විත් පදිංචිව සිටි කියුබානුවන් 1500 කින් සැදුම්ලත් හමුදාවක් නිර්මාණය කරන මධ්‍යම ඇමරිකානු රහස් ඔත්තු සේවය (CIA) ඔවුන් හරහා කියුබාව ආක්‍රමණය කිරීමේ මෙහෙයුමක නිරත විය. එය අසාර්ථක මෙහෙයුමක් වුවත් අඬන්න සිටියෙකුගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාක් වැනි සිදුවීමක් විය. එයින් පසු එකිනෙකා අතර තරමකට හෝ තිබූ විශ්වසනීයත්වය මුළුමනින්ම බිඳ වැටී රටවල් දෙක පරම සතුරන් බවට පත්විය. එහිදී දෙරටම තම තමන්ගේ තානාපති කාර්යාල ඉවත්කර ගැණුනි. එතැනින් නොනැවතුණු ඇමරිකාව කියුබාවෙන් පළා ආ කියුබානුවන් ඇමරිකාවේ Miami හි පදිංචි කර ඔවුන් වෙත නීත්‍යනුකූල ස්ථිර පදිංචිය හා රැකියා බලපත්‍ර ලබා දෙමින් කියුබාව මානව හිමිකම් උල්ලංඝනය කරන රටක් ලෙස ලෝකයට හුවා දැක්වීමට කටයුතු කෙරුණි. මෙයින් ඇමරිකානු හිතවාදී රටවල්වලට කියුබාවට සම්බාධක පැනවීමට පෙළඹවීමක් සිදුකරනු ලැබුණි. ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රායලය, යුරෝපා සංගමය, ඇතැම් ලතින් ඇමරිකානු රටවල් මෙසේ සම්බාධක පැනවීමට එක්වීය. මිලිටරි භාණ්ඩ, සංවේදී තාක්ෂණ උපකරණවල සිට අත්‍යවශ්‍ය වෙළඳ හුවමාරු දක්වා එම සම්බාධකවලට හසුවිය.
එක්සත් ජනපදය මුලින්ම ළදරු ආහාර, අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ආදිය කියුබාවට යැවීමේදී සම්බාධක දැමූවත් කියුබාවෙන් ගෙන්වන වෙළඳ භාණ්ඩවලට බාධාවක් නොකළහ. නමුත් 1962 John F. Kennedy ජනාධිපතිවරයා විසින් දෙරට අතර සම්පූර්ණ වෙළඳ තහනමක් ප්‍රකාශයට පත් කොට එය වහාම ක්‍රියාත්මක කළ යුතු බවට වාණිජ දෙපාර්තමේන්තුවට සහ භාණ්ඩාගාරයට නියෝග කළේය. ඒ වන විට කියුබානු අපනයනයන්ගෙන් අඩකටත් වඩා ඇමරිකාව වෙත යවමින් තිබූ අතර මෙම තීරණයත් සමග කියුබාව දැඩි ආර්ථික අස්ථාවරත්වයකට පත්විය. ආර්ථික පීඩනයත් සමග කැරළි ගසන ජනතාවක් දැකීම ඇමරිකාවේ අභිලාශය වුවත් එවැනි තත්ත්වයක් කරා ජනයා නොයැවීමට ෆිදෙල් කැස්ත්‍රො රජය වග බලා ගති. ආනයන වෙනුවට ආදේශකයන් තම රටින්ම සපයා ගැනීමටත්, දූෂණය නාස්තිය නැති කිරීමට දැඩි නීති ගෙන ඒමටත් කියුබාව කටයුතු කළ අතර ආනයනය කළ යුතුම ළදරු ආහාර සහ ඖෂධ සඳහා යුද සිරකරුවන් හිලවු කිරීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කෙරුණි.
කියුබානුවන් පවසන ආකාරයට ඔවුන්ව සහමුලින්ම අඩපණ කිරීම සඳහා නොයෙකුත් ක්‍රම ඇමරිකාව විසින් අත්හදා බලා ඇත. කියුබාවේ ප්‍රධාන භෝගය වන උක් වගාවට අහසින් විෂ රසායන විද විනාශ කිරීම, 1971 දී ඌරු උණ වෛරසය රට තුළ ව්‍යාප්ත කිරීම සහ ඩෙංගු වෛරසය ව්‍යාප්ත කිරීම වැනි ක්‍රියා ඊට උදාහරණ වේ.
එසේම රටෙහි නායකයා ලෙස කටයුතු කළ ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමට CIA සංවිධානය විසින් 638 වාරයක් උත්සාහ දරා ඇති බව 2012 වසරේ පළ වූ Mental Floss සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැස්ත්‍රො පවසා ඇත්තේ ඝාතන උත්සාහයයන්ගෙන් බේරීම ඔලිම්පික් ඉසව්වක් ලෙස තිබුණා නම් තමන්ට එහි රන් පදක්කම හිමිවන බවයි. (“If surviving assassination attempts were an Olympic event, I would win the gold medal.”) ඔහුව ඝාතනය කිරීමට කළ උත්සාහයන් අතර දුම්වැටියට විෂ ඇතුළත් කිරීම, ආහාරවලට සයනයිඩ් මුසු කිරීම, විෂ සහිත සිරින්ජර හා ලේන්සු ආදි විවිධ උපක්‍රම විය.
කෙසේ වෙතත් 1959 කියුබාව භාර ගත් කැස්ත්‍රෝ කිසි දිනෙක කියුබාවට නිදහස නොගෙනා බව ඇතැම් කියුබානුවන්ගේ අදහසයි. ඒකාධිපතියෙකු ලෙස රට පාලනය කළ ඔහු එරටට මර්දනකාරී කොමියුනිස්ට් පාලනයක් හඳුන්වා දුන්නේය. ස්වාධීන කම්කරු සංගම් නීති විරෝධී ලෙස නම් කරන ලද අතර සියලු දේශපාලන නැගී සිටීම් මුලිනුපුටා දැමීය. 1960-1970 දක්වා කියුබානු ආර්ථිකය එක තැන පවතින තත්ත්වයක පැවතුණි. එකල ඇමරිකාවේ සම්බාධක හමුවේ කියුබාවේ ආර්ථිකය මුළුමනින්ම සෝවියට් සංගමය මත රඳා පැවතුණි. එහෙත් 1991 සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග කොමියුනිස්ට් කියුබාව මංමුලා තත්ත්වයකට පත් විය. කියුබාවේ සාමාන්‍ය ජන ජීවිතය තවත් නරක අතට හැරුණි. එබැවින් නිදහස් ව්‍යවසායකයන්ට ඉඩ දීමට කැස්ත්‍රෝ ට සිදුවිය. ඒ නිසා ඔහු සංචාරක ව්‍යාපාරය කියුබාව තුළ පුළුල් ලෙස විවෘත කළේය.
රටේ ජනයා කරදර මැද සිටියත් කැස්ත්‍රෝ සුඛෝපභෝගි සෙල්ලක්කාර ජීවිතයක් ගත කළහ. වසර 58 ක් කියුබාව පාලනය කළ කැස්ත්‍රෝ 2008 දී දේශපාලනයෙන් සමුගන්නා
බව ප්‍රකාශ කළ අතර එවිට ඔහු 82 හැවිරිදි වියේ පසුවිය. එතැන් සිට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස Raúl Castro කටයුතු කළ අතර 2018 සිට Miguel Díaz-Canel ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටී. 1959 සිට තිබූ කැස්ත්රෝවරුන්ගේ පාලනය මෙසේ වෙනත් අයෙකු අතට පත් වීම මෙහිදී විශේෂත්වයක් ලෙස දැක්විය හැක. 2016 නොවැම්බර් 25 වෙනි දින ෆිදෙල් කැස්ත්‍රෝ අභාවප්‍රාප්ත වූ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. ‘කියුබානු විප්ලවයේ අණදෙන නිලධාරියා අද සවස 22.29 ට මිය ගියේය’ “The commander in chief of the Cuban revolution died at 22:29 hours this evening [03:29 GMT 25 November].” යනුවෙන් එම නිවේදනයේ සඳහන් විය.
චමරි අබේසිංහ