කැනඩාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ස්ථාවර සහ ඵලදායී මාවතකට අවතීර්ණ වී ඇති බව කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carney ප්‍රකාශ කර තිබේ. මැයි 29 වන දින තෙදින නිල සංචාරයක් සඳහා කැනඩාවට පැමිණි චීන විදේශ අමාත්‍ය Wang Yi සමඟ පැවැත්වුණු ඉහළ පෙළේ සාකච්ඡාවලින් අනතුරුව, අග්‍රාමාත්‍යවරයා මේ බව තහවුරු කළේය. වසර දහයකට පමණ පසු චීන විදේශ අමාත්‍යවරයෙකු කැනඩාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම සංචාරය දෙරටේ සබඳතාවල කැපී පෙනෙන හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකේ.

කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සහ මෙරට විදේශ අමාත්‍ය Anita Anand සමඟ චීන විදේශ ඇමතිවරයා පැවැත්වූ  සාකච්ඡාවලදී, ආර්ථීක සහයෝගීතාව පුළුල් කිරීම, වෙළෙඳ සබඳතා දියුණු කිරීම සහ වාර්ෂික විදේශ අමාත්‍ය මණ්ඩල රැස්වීම් ආයතනිකරණය කිරීම පිළිබඳව එකඟතාවකට පැමිණ ඇත.

මෙහිදී කැනඩාවේ ජාතික ආරක්ෂාව සහ මානව හිමිකම් සුරැකීමට මුල්තැන දෙමින්, විදේශීය මැදිහත්වීම්, අනිවාර්ය ශ්‍රමික පීඩනය සහ කොන්සියුලර් කටයුතු වැනි සංවේදී කරුණු පිළිබඳවද කැනඩා පාර්ශවය විවෘතව සාකච්ඡා කර තිබේ. කැනඩාවේ ඉලක්කය වී ඇත්තේ 2030 වන විට චීනය වෙත සිදුකරන අපනයන සියයට 50 කින් ඉහළ නැංවීමයි.

මෙම නව රාජ්‍යතාන්ත්‍රික හිතවත්කමේ ප්‍රතිඵලයක් ලෙස චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන (EV) කැනඩාවට ආනයනය කිරීම දැනටමත් ආරම්භ වී ඇත. පසුගිය ජනවාරි මාසයේදී අග්‍රාමාත්‍ය කාර්නි සහ චීන ජනාධිපති Xi Jinping අතර ඇති වූ එකඟතාවකට අනුව, මීට පෙර පැවති සියයට සියයක (100%) ඉහළ බදු අනුපාතය සියයට 6 දක්වා අඩු කර ඇත. මේ යටතේ වසරකට චීන විද්‍යුත් වාහන 49,000 ක් දක්වා සහනදායී බදු ක්‍රමයකට කැනඩාවට ආනයනය කිරීමට අවසර හිමිවේ.

මෙම කෝටාව කැනේඩියානු නව වාහන වෙළෙඳපොළෙන් 3% කට වඩා අඩු ප්‍රමාණයක් නියෝජනය කරන නමුත් එය වසරින් වසර ඉහළ යාමට නියමිත අතර, මේ වන විටත් ෂැංහයි හි නිෂ්පාදිත Tesla සහ Lotus සුඛෝපභෝගී රථ රැගත් නෞකා කැනඩාවේ වැන්කුවර් වරායට ළඟා වෙමින් පවතී.

කෙසේ වුවද, කැනේඩියානු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා චීන බදු අඩු කරවා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්නි විද්‍යුත් වාහන සම්බන්ධයෙන් මෙම තීරණය ගැනීම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු එරට ප්‍රතිපත්ති සම්පාදකයින් සහ General Motors හි ප්‍රධාන විධායක Mary Barra වැනි මෝටර් රථ නිෂ්පාදකයින්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත. විශේෂයෙන්ම මිචිගන් ප්‍රාන්තයේ ඇමරිකානු නියෝජිතයින් විසින් චීනයට සම්බන්ධ වාහන ඇමරිකාවට ඇතුළු වීම තහනම් කිරීමට යෝජනාවක්ද ඉදිරිපත් කර ඇති අතර, එම තහනම කැනඩාවේ හෝ මැක්සිකෝවේ සිටින එවැනි වාහන හිමිකරුවන්ටද බලපානු ඇත. චීනයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන EV ක්ෂේත්‍රය හේතුවෙන් චීන අයිතිය සහිත සමාගම් රැසක් ප්‍රථම වරට කැනේඩියානු වෙළෙඳපොළට පිවිසීමට සූදානම් වන අතර, ඒ යටතේ ප්‍රමුඛ පෙළේ චීන සමාගමක් වන BYD සමාගම සිය හවුල්කරුවන් සමඟ එක්ව කැනඩාව පුරා අලෙවි මධ්‍යස්ථාන 20 ක් පමණ ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බවද වාර්තා වේ.

2018 වසරේදී Huawei සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වැන්කුවර්හිදී අත්අඩංගුවට ගැනීම සහ ඊට ප්‍රතිචාර ලෙස චීනය විසින් කැනේඩියානු ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම නිසා කැනඩා-චීන සබඳතා දැඩි ලෙස පිරිහී ගියේය. ඉන් අනතුරුව කොවිඩ් වසංගතයද සමග චීනය විසින් කැනඩාව සඳහා සමූහ සංචාරක සීමා පනවනු ලැබීය.

නමුත් 2025 අගභාගයේදී මෙම සීමාවන් ඉවත් කිරීමත් සමඟ චීන සංචාරකයින් නැවතත් කැනඩාව වෙත ආකර්ෂණය වෙමින් පවතී. නිල දත්තවලට අනුව, පසුගිය මාර්තු මාසයේදී පමණක් චීන සංචාරකයින් 17,940 ක් කැනඩාවට පැමිණ ඇති අතර, එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව දෙගුණයක වර්ධනයකි. එමෙන්ම කැනේඩියානු වැසියන් අතරද චීනය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්වෙමින් තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබූ දැඩි ගෝලීය බදු ප්‍රතිපත්තීන් හමුවේ කැනේඩියානු ආර්ථීකය විවිධාංගීකරණය කිරීමට සහ නව වෙළෙඳ මිතුරන් සොයා ගැනීමට අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි ගත් උපායමාර්ගික පියවරක් ලෙස මෙම චීන-කැනඩා සබඳතා අලූත් වීම දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!