

කැනඩාවේ සියලුම ප්‍රාන්ත නායකයින් සහ අගමැති මාර්ක් කාර්නි අතර විශේෂ හමුවක් පසුගියදා ඔටාවා නගරයේදී පැවැත්වුණු අතර, ඇල්බර්ටා ඛෙදුම්වාදී ව්‍යාපාරය සහ ඔවුන් ඇමරිකානු නිලධාරීන් සමඟ පැවැත්වූ රහස් සාකච්ඡා පිළිබඳ පුවත එහි ප්‍රධාන මාතෘකාව බවට පත් විය.
මෙම හමුවේදී අගමැති මාර්ක් කාර්නි කැනඩාවේ එක්සත්කම සහ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටිමින් අවධාරණය කළේ, කැනඩාව යනු කිසිවෙකුට කැමති පරිදි කැබලි කළ නොහැකි ස්වාධීන රාජ්‍යයක් බවයි. ඇමරිකානු පාර්ශවයන් ඛෙදුම්වාදීන් සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් කාර්නි පවසන්නේ, “ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සෑම විටම කැනේඩියානු ස්වෛරීභාවයට ගරු කරනු ඇතැයි මම අපේක්ෂා කරනවා” යනුවෙනි. ජනාධිපති ට්‍රම්ප් සමඟ තමා පැවැත්වූ පෞද්ගලික සංවාදවලදී ඔහු කිසිවිටෙකත් ඇල්බර්ටා හෝ ක්විඛෙක් වෙන්වීම පිළිබඳව කරුණු මතු කර නොමැති බව පවසන කාර්නි, මෙය කැනඩාවේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියක් මිස විදේශීය බලපෑම්වලට ඉඩක් නොමැති කලාපයක් බව අවධාරණය කළේය.
කාර්නි පැහැදිලි කරන්නේ, ඛෙදුම්වාදය යනු රටේ ආර්ථීකයට එල්ල කරන මරු පහරක් බවයි. “ඛෙදුම්වාදය නිසා ජීවන වියදම අඩු වන්නේ නැහැ. එය රෝහල් ඇඳන් හදන්නේ හෝ අධ්‍යාපනය දියුණු කරන්නේ නැහැ. එය කරන්නේ ආයෝජකයින් බිය ගන්වා අපට දිනපතා රැකියා අහිමි කිරීම පමණයි” යන්න ඔහුගේ ප්‍රධාන තර්කයයි. දේශපාලන අස්ථාවරත්වය පවතින විට ජාත්‍යන්තර ආයෝජකයින් කැනඩාවෙන් ඉවත් වීමේ අවදානමක් පවතින බවත්, එය සමස්ත කැනේඩියානුවන්ගේම සමෘද්ධියට බාධාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
වෙනත් ප්‍රාන්ත නායකයින් මෙම ක්‍රියාව ‘රාජද්‍රෝහී’ ක්‍රියාවක් ලෙස හංවඩු ගසද්දී, කාර්නි වඩාත් රාජ්‍ය තාන්ත්‍රික ස්වරූපයක් අනුගමනය කළේය. ඛෙදුම්වාදීන් සමඟ සෘජුව ගැටෙනවා වෙනුවට, කැනේඩියානු සමූහය (Confederation) තුළම ඇල්බර්ටා වැසියන්ට සාර්ථක අනාගතයක් ගොඩ නැගිය හැකි බවත් එය රජයේ වගකීම බවත් ඔහු විශ්වාස කරයි.
කෙසේ වෙතත්, මෙම හමුවේදී Alberta පලාත් අගමැතිනී Danielle Smith සිය ස්ථාවරය නොවෙනස්ව ඉදිරිපත් කළාය. ඇය කියා සිටියේ ඛෙදුම්වාදීන් හෙළා දකිනවා වෙනුවට, කැනඩාව තුළ ඇල්බර්ටාවට සැබවින්ම සාර්ථක විය හැකි බව මධ්‍යම රජය විසින් වචනයෙන් පමණක් නොව ‘ක්‍රියාවෙන්’ ඔප්පු කර පෙන්විය යුතු බවයි. සාධාරණ දුක්ගැනවිලි ඇති පුරවැසියන් කොන් කිරීම වෙනුවට ඔවුන්ට විසඳුම් ලබා දීම රජයේ වගකීම බව ඇය මෙහිදී අවධාරණය කළාය.
ඇල්බර්ටා අර්බුදයේ පසුබිම
කැනඩාවේ බලශක්ති මර්මස්ථානය බඳු Alberta ප්‍රාන්තය, කැනේඩියානු රාජ්‍ය ව්‍යුහයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් විය යුතු බවට කෙරෙන බලපෑම, මේ වන විට පෙර නොවූ විරූ දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ. කාලාන්තරයක් තිස්සේ පැවති ආර්ථීක අසහනය සහ දේශපාලන කොන්කිරීම් පදනම් කරගත් මෙම ඛෙදුම්වාදී ව්‍යාපාරය, මේ වන විට ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත්තේ එහි ක්‍රියාකාරීන් සහ ඇමරිකානු නිලධාරීන් අතර පැවැත්වුණු රහසිගත සාකච්ඡා පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟය.
මෙම වත්මන් දේශපාලන කැළඹීමට සෘජු හේතුව වී ඇත්තේ Alberta Prosperity Project (APP) සංවිධානය විසින් දියත් කර ඇති දැවැන්ත ජනමත විචාරණ පෙත්සමයි. ‘ඇල්බර්ටාව කැනඩාවෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයක් විය යුතුද?’ යන තීරණාත්මක ප්රශ්නය මත පදනම් වූ මෙම පෙත්සම සඳහා, ලබන මැයි මාසය වන විට අත්සන් 178,000 ක කඩඉම පසු කිරීමට එම සංවිධානය අපේක්ෂා කරයි.
මෙය හුදෙක් ඉලක්කයක් පමණක් නොව, ඇල්බර්ටා වැසියන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරන අගයකි. මෙම අත්සන් සංඛ්‍යාව සම්පූර්ණ වුවහොත්, ප්‍රාන්ත රජයට එය තවදුරටත් නොසලකා හැරිය නොහැකි වන අතර, ඛෙදුම්වාදය පිළිබඳ ජනමත විචාරණයක් කැඳවීම සඳහා වන නීතිමය පසුබිමක් ඉන් නිර්මාණය වේ.
මෙම තත්ත්වය ඇල්බර්ටා පළාත් අගමැතිනී Danielle Smith ට දැඩි දේශපාලන හිසරදයක් වී ඇත්තේ ඇගේම පාලක United Conservative පක්ෂයේ (UCP) අභ්‍යන්තර ඛෙදීමක් මේ හරහා අනාවරණය වීමත් සමඟය. මෙම පෙත්සම් ව්‍යාපාරය සංවිධානය කරන Stay Free Alberta කණ්ඩායමේ නීතිඥ Jeff Rath පවසන පරිදි, ස්මිත්ගේ මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනෙකු දැනටමත් මෙම පෙත්සමට රහසිගතව අත්සන් තබා ඇත. ඇය නිල වශයෙන් ‘එක්සත් කැනඩාවක් තුළ ස්වෛරී ඇල්බර්ටාවක්’ ගැන පෙනී සිටියද, ඇගේම
මන්ත්‍රීවරුන් ‘සම්පූර්ණ වෙන්වීමක්’ (Separation) වෙනුවෙන් අත්සන් කිරීම ඇගේ පාලන අධිකාරිය දුර්වල කරන ලකුණකි.
විපක්ෂ නායක Naheed Nenshi මෙම තත්ත්වය සිය දේශපාලන අවියක් කර ගනිමින් ස්මිත්ගේ රජය දැඩි ලෙස විවේචනය කරයි. ඔහු තර්ක කරන්නේ ස්මිත් දැන් නායකත්වය දෙන්නේ “ප්රජාතන්ත්රවාදී රජයකට වඩා ඛෙදුම්වාදී කල්ලියකට” බවයි. තම මන්ත්‍රීවරුන් පාලනය කර ගැනීමට අගමැතිනිය අපොහොසත් වීම තුළින් ප්‍රාන්තයේ අනාගතය අවදානමක පවතින බව පවසන නෙන්ෂි, මෙම පෙත්සමට අත්සන් කළ මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් වී ඒ බව ප්‍රකාශ කරන ලෙස අභියෝග කරයි.
ඇමරිකානු සම්බන්ධය
මෑතකදී අනාවරණය වූ වඩාත් ආන්දෝලනාත්මක තොරතුර වන්නේ, ඛෙදුම්වාදීන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවති රහසිගත හමුවීම් පිළිබඳ පුවතයි. මෙහිදී ස්වාධීන ඇල්බර්ටා රාජ්‍යයක් බිහිකිරීමේ ක්‍රියාවලියට සහය වීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 500 ක දැවැන්ත ණය පහසුකමක් (Credit Facility) ලබා ගැනීමේ ‘උපකල්පිත’ සැලසුම් පිළිබඳව සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
මෙම හමුවීම්වලට සහභාගී වූ නීතිඥ Jeff Rath පවසන පරිදි, අනාගත ස්වාධීන රාජ්‍යයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට ඇමරිකානු පාර්ශවය ‘ඉතා උද්යෝගිමත්’ ප්‍රතිචාරයක් දක්වා ඇත.
විශේෂයෙන්ම, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Scott Bessent වැනි ප්‍රබල නිලධාරීන් ඇල්බර්ටාව සහ එක්සත් ජනපදය ‘Natural Partners’ ලෙස හැඳින්වීම ඔටාවාහි මධ්‍යම රජය තුළ දැඩි නොසන්සුන්තාවක් ඇති කර තිබේ. ඛෙස්න්ට්, 2026 ජනවාරි මාසයේදී ස්විට්සර්ලන්තයේ Davos නගරයේදී කළ එම ප්රකාශයන්ට අනුව, කැනඩාවේ මධ්‍යම රජය බලශක්ති අංශයට පනවා ඇති බාධාවන් හමුවේ ඇල්බර්ටාව ඇමරිකාව දෙසට නැඹුරු වීම තාර්කික යැයි සිතන බව හැඟවෙයි.
ස්කොට් ඛෙස්න්ට්, ඇල්බර්ටාව සහ එක්සත් ජනපදය Natural Partners ලෙස හැඳින්වීම පිටුපස ප්‍රබල භූ-දේශපාලනික සහ ආර්ථීක තර්කනයක් පවතී. මෙහි ප්‍රධාන පදනම වන්නේ ඇල්බර්ටා ප්‍රාන්තය සතු අතිමහත් බලශක්ති සම්පත (තෙල් සහ ස්වභාවික වායු) සහ ඇමරිකානු කර්මාන්ත ශාලාවලට අවශ්‍ය වන බලශක්ති ඉල්ලූම අතර ඇති මනා ගැලපීමයි. කැනඩාවේ මධ්‍යම රජය පනවා ඇති දැඩි පාරිසරික රෙගුලාසි සහ කාබන් බදු හේතුවෙන් ඇල්බර්ටාවේ බලශක්ති ක්ෂේත්රය යම් සිරවීමකට ලක්ව ඇති මොහොතක, ඛෙස්න්ට් අදහස් කරන්නේ එම බාධාවන් ඉවත් කර ඇල්බර්ටාව සහ ඇමරිකාව අතර සෘජු බලශක්ති පද්ධතියක් (Pipelines) ශක්තිමත් කිරීම දෙපාර්ශවයටම වාසිදායක බවයි. මෙය හුදු වෙළඳ ගනුදෙනුවකට වඩා එහා ගිය, උතුරු ඇමරිකානු කලාපය බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීමේ සහ රුසියාව වැනි බාහිර බලවතුන් මත යැපීම අවම කිරීමේ ‘උපායමාර්ගික සන්ධානයක්’ ලෙස ඔහු දකියි. එමෙන්ම, සංස්කෘතිකමය වශයෙන්ද ඇල්බර්ටා වැසියන් සතු නිදහස්වාදී සහ ව්‍යවසායකත්ව නැඹුරුව ඇමරිකානු දේශපාලන චින්තනයට වඩාත් සමීප වීම
මෙම ‘ස්වාභාවික සහයෝගීතාව’ තවදුරටත් තහවුරු කරයි.
රාජද්‍රෝහී චෝදනා
ඇල්බර්ටා ඛෙදුම්වාදීන් ඇමරිකානු නිලධාරීන් හමුවීමේ පුවත කැනඩාවේ සෙසු ප්‍රාන්ත නායකයින් අතර දැඩි කම්පනයක් සහ දේශපාලන කුණාටුවක් ඇති කිරීමට සමත් විය.
විශේෂයෙන්ම ඔන්ටේරියෝ අගමැති Doug Ford මෙම ක්‍රියාව දැඩිව හෙළා දුටුවේය. ඇල්බර්ටා අගමැතිනී ස්මිත් වෙත සෘජු බලපෑමක් කරමින් ඔහු ප්‍රකාශ කළේ, “ප්‍රිමියර් ස්මිත්ට මෙය අවස්ථාවක්, Enough is enough යැයි පවසමින් නැගී සිටීමට” බවයි. “කැනඩාවට පිටුපසින් ගොස් විදේශ බලවතුන් සමඟ රට කැබලි කිරීමට සාකච්ඡා කිරීම කිසිසේත් පිළිගත නොහැකියි. එක්කෝ ඔබ කැනඩාව සමඟ සිටිනවා, නැතිනම් ඔබ කැනඩාව සමඟ නැහැ”. ඛෙදුම්වාදී රජයක් තේරී පත්වීම සමස්ත කැනඩාවටම විනාශයක් වනු ඇති බව ඔහුගේ අදහසයි.
බ්‍රිටිෂ් කොලොම්බියා අගමැති David Eby මෙම ක්‍රියාව හැඳින්වූයේ ‘රාජද්‍රෝහී’ (Treason) ක්‍රියාවක් ලෙසයි. විදේශ බලවතෙකුගේ සහය ඇතිව කැනඩාව කැබලි කිරීමට දරන උත්සාහය කිසිසේත් අනුමත කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය.
ක්විඛෙක් සහ අත්ලාන්තික් ප්‍රාන්ත නායකයින්ද පෙන්වා දුන්නේ කැනඩාවේ ශක්තිය පවතින්නේ එහි එකමුතුකම තුළ බවත්, විදේශීය රටක මූල්‍ය සහය පැතීම ප්රජාතන්ත්රවාදී සීමාවන් ඉක්මවා යාමක් බවත්ය.
මෙවැනි දැඩි විවේචන මධ්‍යයේ වුවද, අගමැතිනී ඩැනියෙල් ස්මිත් ඛෙදුම්වාදීන් හෙළා දැකීම ප්‍රතික්ෂේප කළාය. ඇය ප්‍රකාශ කළේ, “ෆෙඩරල් රජය කෙරෙහි විශ්වාසය බිඳී ගිය සාධාරණ දුක්ගැනවිලි ඇති මගේ සහෝදර පුරවැසියන් මිලියනයක් යක්ෂයින් ලෙස හැඳින්වීමට (Demonize) හෝ කොන් කිරීමට (Marginalize) මම සූදානම් නැත” යනුවෙනි. ඇයගේ අරමුණ කැනේඩියානු සමූහය තුළම ඇල්බර්ටාවට උපරිම ස්වාධීනත්වයක් ලබා දෙන ‘ස්වෛරීත්ව පනත’ (Sovereignty Act) ක්‍රියාවට නැංවීම වුවද, ඛෙදුම්වාදී හඬ පාලනය කිරීමට ඇය දක්වන මැළිකම විවේචකයන්ගේ දෝෂාරෝපණයට හේතු වී ඇත.
මහජන මතය
ඇල්බර්ටාවේ වත්මන් මහජන මතය දෙස බැලීමේදී පෙනී යන්නේ ප්‍රාන්තය තුළ බහුවිධ අදහස් පවතින බවයි. මෑතකදී සිදුකළ මත විමසුම්වලට අනුව ඇල්බර්ටා වැසියන්ගෙන් බහුතරයක්, එනම් 60% -70% අතර පිරිසක් තවමත් විශ්වාස කරන්නේ කැනඩාව සමඟ රැඳී සිටීම තම ප්‍රාන්තයේ අනාගතයට යහපත් බවයි. ඔවුන් ඛෙදුම්වාදය දකින්නේ ආර්ථීක වශයෙන් අවදානම් සහගත සහ අනවශ්‍ය පියවරක් ලෙසය.
කෙසේ වෙතත්, ඛෙදුම්වාදය සඳහා සහය දක්වන 25% – 30% ක සුළුතරය දේශපාලනික වශයෙන් ඉතා ප්‍රබල බලපෑමක් එල්ල කරයි. මෙම ප්‍රතිශතය සංඛ්‍යාත්මකව ගත් විට මිලියනයකට ආසන්න ජනතාවකි. ඕනෑම ප්රජාතන්ත්රවාදී රටක ජනගහනයෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් රාජ්‍යයෙන් වෙන්වීමට කැමැත්ත පළ කිරීම සුළුකොට තැකිය නොහැකි තත්ත්වයකි.
මෙම මහජන මතය තීරණාත්මක වීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් මෙසේයි.
නිහඬ බහුතරය සහ ක්‍රියාකාරී සුළුතරය:
වෙන්වීමට කැමති පිරිස ඉතා ක්‍රියාකාරීව පෙළගැසී සිටින අතර (උදා: APP ව්‍යාපාරය වැනි කණ්ඩායම්), ඔවුනට මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කිරීමේ හැකියාව පවතී.
වෙනස් වන ආර්ථීක මනෝභාව
ජීවන වියදම ඉහළ යාම සහ බලශක්ති අංශයට එල්ල වන බාධක හමුවේ, කැනඩාව සමඟ සිටීමට කැමති පිරිස පවා ක්‍රමයෙන් කලකිරීමට පත්වීමේ අවදානමක් පවතී. මෙය ඛෙදුම්වාදී සහය ඉහළ යාමට මග පාදයි.
දේශපාලන අස්ථාවරත්වය:
බහුතරය වෙන්වීමට අකමැති වුවද, ප්‍රාන්ත රජය තුළම ඛෙදුම්වාදී අදහස් ඇති මන්ත්‍රීවරුන් සිටීම නිසා පාලන තන්ත්රය අස්ථාවර වී ඇත.
මෙම සිදුවීම් මාලාව දෙස අවධානය යොමු කරන විට, 2026 වසරේ ඉදිරි මාස කිහිපය කැනේඩියානු ඉතිහාසයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇති බවට දේශපාලන විචාරකයෝ පුරෝකථනය කරති. විශේෂයෙන්ම APP සංවිධානය ජනමත විචාරණයක් සඳහා අවශ්‍ය අත්සන් සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට සමත් වුවහොත්, එමගින් නිර්මාණය වන දේශපාලන හා නීතිමය කුණාටුව සමස්ත කැනේඩියානු රාජ්‍ය ව්‍යුහයේම අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකය බවට පත්වනු ඇත.

