ඔටාවාහිදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගැටුමක් ඇති කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ සෝමාලියා-කැනේඩියානු මුස්ලිම් ජාතිකයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව හදිසියේ මිය යෑම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මුස්ලිම් සහ කළු ජාතික සංවිධාන රජයෙන් ඉල්ලා සිටී.

කැනේඩියානු මුස්ලිම් ජාතික සභාව පවසන්නේ, 37 හැවිරිදි ඩිරහ්මන් අබ්දිගේ මරණය වර්ගවාදී භූමිකාවක් තුළින් මතු වූවක්ද යන්න අනිවාර්යයෙන්ම සොයා බැලිය යුත්තක් බවයි.  පසුගිය ඉරිදා (24 දා) ඔටාවාහි කෝෆි අවන්හලක් තුළදී හටගෙන ඇති මෙම ගැටුමෙන් අනතුරුව අබ්දි අත්අඩංගුවට ගෙන ඇත. ඒ අවස්ථාවේදී දරුණු ලෙස තුවාල සිදුවී තිබූ අබ්දි රෝහල් ගත කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී පසුදින ඔහු මිය ගිය බව පවුලේ ප්‍රකාශකයකු පවසා තිබුණි.

මානසික සෞඛ්‍ය ගැටලු සහිත පුද්ගලයකු බවද පැවසෙන ආබ්දිගේ මරණය පිළිබඳව කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නඟන සංවිධානද දැඩි අප්‍රසාදය පළ කොට ඇත.

කළු ජාතිකයින් සහ ඇමරිකානු සහ කැනේඩියානු පොලිසිය අතර සිදුවන මෙවැනි දරුණු ඝට්ටන දිනෙන් දිනම ඉහළ යමින් පැවතීම ඉතාමත් ඛේදජනක තත්ත්වයක් බව මේ පිළිබඳව අදහස් දැක්වූ ටොරොන්ටෝහි බ්ලැක් ලිව්ස් මැටර් සංවිධානයේ සම නිර්මාතෘවරිය වන පැස්කල් ඩයිවර්ලස් පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය “සෑම දිනකම ලැයිස්තුවට අලුතින් නමක් එක් වෙනවා. කවද්ද මේක අවසන් වෙන්නේ….?” යැයි ප්‍රශ්න කර සිටී.

“මේ සිදුවීම කළු ප්‍රජාවටම දැඩි ශෝකයක් ගෙන එන්නක්. මේ මොහොතේ අපි හැමෝම එකට එක්වී සිටින්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම සෝමාලියානු ප්‍රජාව සමග ඔවුන්ගේ දුක බෙදා ගැනීම සිදුකරනවා” ඩයිවර්ලස් පැවසීය.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!