ලෝක බැංකු GRADE වාර්තාව හෙළි කරයි

 

පසුගිය නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ Ditwah සුළි කුණාටුවෙන් සිදුවූ සෘජු භෞතික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් (රුපියල් ට්‍රිලියන 1.2කට අධික) පමණ වෙතැයි ලෝක බැංකුව පවසයි. ලෝක බැංකු සමූහයේ Global Rapid Post-Disaster Damage Estimation (GRADE) වාර්තාව පදනම් කර ගනිමින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, මෙම හානිය ශ්‍රී ලංකාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 4කට ආසන්න අගයකි.


මෙම GRADE වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ මෑතකාලීන ඉතිහාසය තුළ වාර්තා වූ ප්‍රබලතම මෙන්ම අතිශය විනාශකාරී ස්වභාවික ව්‍යසනයක් ලෙස මෙය සටහන් වන බවයි. මෙම සුළි කුණාටුව හේතුවෙන්, දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පුද්ගලයන් මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටිති. දත්ත වාර්තාවලට අනුව පවුල් 5,00,000 කට අධික ප්‍රමාණයක් මේ වන විට දැඩි අසීරුතාවකට පත්ව ඇති අතර, කුණාටුවේ දරුණු බලපෑම හමුවේ ජනතාවගේ ජීවනෝපායන්, අත්‍යවශ්‍ය සේවා සහ සමස්ත ආර්ථීක ක්‍රියාවලියම අඩාල වී ඇත.
හදිසි සහන සේවා සැපයීම, පශ්චාත් ආපදා ප්‍රතිසාධන සැලසුම් සකස් කිරීම සහ දිගුකාලීන ආපදා අවදානම් අවම කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක දත්ත රැසක් මෙම GRADE වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත.
මෙම තක්සේරුව සඳහා ලෝක බැංකුවේ වේගවත් හා දුරස්ථ ආකෘති මත පදනම් වූ (Remote model-based methodology), GRADE ක්‍රමවේදය භාවිතා කර ඇති අතර, එමගින් ඇස්තමේන්තු කරනු ලබන්නේ දේපළ හා යටිතල පහසුකම් වැනි භෞතික වත්කම්වලට සිදු වූ සෘජු ආර්ථීක හානිය පමණක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ජනතාවගේ ආදායම් මාර්ග අහිමි වීම හෝ නිෂ්පාදන ක්ෂේත්‍රයේ බිඳවැටීම නිසා සිදු වූ පාඩු මෙන්ම, ඉදිරියේදී සිදු කිරීමට නියමිත පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය වන මුළු පිරිවැය මෙයට ඇතුළත් නොවන බැවින්, සැබෑ ආර්ථීක බලපෑම මෙයට වඩා ඉහළ අගයක් ගත හැකි බව වාර්තාව පෙන්වා දෙයි.
ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක මෙම සෘජු හානිය ආපදාවට ලක්වූ ප්‍රදේශවල ආර්ථීක ස්ථාවරත්වයට එල්ල වූ දැවැන්ත කම්පනයක් බව ලෝක බැංකුව අවධාරණය කරයි. සමස්ත ව්‍යසනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මධ්‍යම පළාතට වන අතර, විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කය දරුණුවටම බැට කෑ ප්‍රදේශය බවට පත්ව තිබේ. ප්‍රධාන වශයෙන් ගංවතුර තත්ත්වයන් සහ සුළු වශයෙන් නායයෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට පමණක් සිදු වූ හානිය ඇමරිකානු ඩොලර් මිලියන 689 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

ක්ෂේත්‍ර ගණනාවකට දරුණු බලපෑම්:

දිට්වා සුළි කුණාටුවේ විනාශය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථීකයේ ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් මුළුමනින්ම අඩාල වී ඇති බව ලෝක බැංකු දත්ත වාර්තා කරයි. සමස්ත හානියෙන් වැඩිම කොටසක්, එනම් සියයට 42 ක ප්‍රමාණයක් වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් අංශයෙනි. මාර්ග, පාලම්, දුම්රිය මාර්ග සහ ජල සම්පාදන පද්ධති විනාශ වීමෙන් සිදු වූ අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 1.735 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙම බිඳවැටීම හේතුවෙන් ප්‍රවාහන සබඳතා අඩාල වී ඇති අතර, ජනතාවට වෙළෙඳපොළ සහ අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාවද අවහිර වී තිබේ.
නේවාසික ගොඩනැගිලි සහ පුද්ගලික දේපළ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 985 ක දැවැන්ත හානියක් සිදුව ඇති බව GRADE වාර්තාව පෙන්වා දෙයි. නිවාස මෙලෙස පුළුල් ලෙස විනාශ වීම හරහා, ඉදිරියේදී ගොඩනැගිලි ඉදිකිරීමේදී ගංවතුර පාලන ක්‍රම සහ ප්‍රබල සුළඟට ඔරොත්තු දෙන සැලසුම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව රජය වෙත අවධාරණය කර ඇත.
වී, එළවළු සහ බඩඉරිු ඇතුළු වගාවන් මෙන්ම සත්ව පාලනය සහ මිරිදිය ධීවර කර්මාන්තයට සිදු වූ පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 814 කි. කෘෂිකාර්මික යටිතල පහසුකම් විනාශ වීම දැනටමත් පීඩාවට පත්ව සිටින ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජීවනෝපායට මෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාවටද බරපතල තර්ජනයක් එල්ල කර තිබේ.
පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ කර්මාන්තශාලා වැනි නේවාසික නොවන ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඇමරිකානු ඩොලර් මිලියන 562 කි. විශේෂයෙන් ගංගා සහ ඇළ මාර්ග ආශ්‍රිතව පිහිටා තිබූ මෙම ආයතන විනාශ වීම නිසා පීඩාවට පත් ප්‍රදේශවල අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා සැපයීම අතිශය අසීරු තත්ත්වයකට පත්ව ඇත.

‘දිට්වා’ හමුවේ දෙගුණ වූ පීඩනය: කඩිනම් සහන සඳහා ලෝක බැංකුවෙන් හදිසි ප්‍රතිපාදන

මෙම ව්‍යසනය හුදෙක් ආර්ථීකමය හානියක් පමණක් නොව, ලාංකේය සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි පිරිස් වෙත එල්ල වූ මරු පහරක් බව ලෝක බැංකු GRADE වාර්තාව පෙන්වා දෙයි. පවතින දිළිඳුකම, සේවාවන් සඳහා ඇති සීමිත ප්‍රවේශය සහ දේශගුණික අවදානම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද විය හැකි බවට මෙම තක්සේරුව මගින් අවධාරණය කෙරේ.
විශේෂ අවධානයක් අවශ්‍ය පිරිස්, විශේෂයෙන්ම කාන්තාවන්, ළමුන්, වැඩිහිටියන් සහ කාන්තාවන් මූලිකත්වය දරන පවුල් ඒකක මෙම සුළි කුණාටුව හමුවේ දැඩි අනාරක්ෂිතභාවයකට පත්ව ඇත. එබැවින් වැඩිම අවදානමක් ඇති ප්‍රජාවන් වෙත සහන සැලසීම සහතික කිරීම සඳහා ඉලක්කගත ප්‍රතිසාධන ප්‍රයත්නයන් අත්‍යවශ්‍ය වනු ඇත.
ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ලෝක බැංකු සමූහයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කළමනාකරු Gevorg Sargsyan සඳහන් කළේ, බදුල්ල, කෑගල්ල සහ පුත්තලම වැනි දිස්ත්‍රික්කවල දැනටමත් දිළිඳු මට්ටමේ පවතින නිවාසවලට දැවැන්ත හානි සිදුව ඇති බවයි. මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සෑම නිවාස හතරකින් දෙකකම මූලිකත්වය දරන්නේ කාන්තාවන් හෝ වැඩිහිටියන් බැවින්, ඔවුන්ගේ ආරක්ෂාව සහ ජීවනෝපාය වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිසාධන ප්‍රයත්නයන් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
‘දිට්වා’ සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ලෝක බැංකු සමූහය සක්‍රීයව මැදිහත් වී සිටින බව එම වාර්තාව තවදුරටත් අනාවරණය කරයි.
ඒ අනුව, හානියට පත් ප්‍රදේශවල සෞඛ්‍ය සේවා, පිරිසිදු පානීය ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ සන්නිවේදන පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් යළි ස්ථාපිත කිරීම සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවලින් ඇමරිකානු ඩොලර් මිලියන 120ක් (රුපියල් බිලියන 36 කට අධික)දක්වා වූ මුදලක් වෙන් කිරීමට ලෝක බැංකු සමූහය පියවර ගෙන ඇත.

ප්‍රතිසංස්කරණ පිරිවැය තවත් ඉහළට: ආපදා ඔරොත්තු දෙන සංවර්ධනයක අවශ්‍යතාව ලෝක බැංකුව අවධාරණය කරයි

ලෝක බැංකුවේ GRADE වාර්තාව මගින් සෘජු භෞතික හානිය පිළිබඳ වේගවත් තක්සේරුවක් ලබා දුන්නද, රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන සැබෑ පිරිවැය මෙම සංඛ්‍යාලේඛනවලට වඩා ඛෙහෙවින් ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. හුදෙක් හානි වූ දේ ප්‍රතිසංස්කරණය කිරීමෙන් ඔබ්බට ගොස්, මානුෂීය අවශ්‍යතා සපුරාලීම, බිඳවැටුණු ජීවනෝපායන් යළි ස්ථාපිත කිරීම සහ අනාගත දේශගු‚ක විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණ දිය හැකි ‘ඔරොත්තු දෙන සුළු’ (Resilient) නිවාස හා යටිතල පහසුකම් ගොඩනැගීමේ අත්‍යවශ්‍යතාව මෙම වාර්තාව මගින් දැඩිව අවධාරණය කර ඇත.
ව්‍යසනයක අඳුරු සෙවනැලි මැද වුවද, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ කැපවීම ‘දිට්වා’ කුණාටුවෙන් බැට කෑ ජනතාවට නව බලාපොරොත්තුවක් එක් කර ඇත.
කෙසේ වෙතත්, ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන පරිදි, සැබෑ සාර්ථකත්වය රඳා පවතින්නේ හුදෙක් මුදල් ලබා ගැනීම මත නොව, එම ප්‍රතිපාදන නිසි පරිදි කළමනාකරණය කරමින් වඩාත් විනිවිදභාවයකින් යුතුව අවදානමට ලක්වූවන් අතට පත් කිරීම මතය. අනාගත ස්වභාවික විපත්වලට නොසැලී මුහුණ දිය හැකි ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නම්, මෙම ‘භෞතික ප්‍රතිසංස්කරණය’ මානුෂීය වගකීමක් ලෙස සලකා කඩිනමින් ඉටු කිරීම කාලීන අවශ්‍යතාවක් බව GRADE වාර්තාව සඳහන් කර ඇත.

 

 

 

 

 

 

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!