“වෙනිසියුලාවෙන් පසු අපේ ඊළඟ අවධානය යොමු වන්නේ කියුබාව දෙසටයි” යනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී කළ ප්‍රකාශයත් සමඟ, මෙම කැරිබියන් දූපත් රාජ්‍යයේ ඉරණම තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබේ. මෙය හුදෙක් දේශපාලන ප්‍රකාශයක් නොව, දශක හයකට අධික කාලයක් ජාත්‍යන්තර සම්බාධක සහ ආර්ථීක හුදකලාවේ කුණාටු හමුවේ අකම්පිතව නැගී සිටි කියුබාව මුළුමනින්ම දණගැස්වීමේ මෙහෙයුමක සමාරම්භය බව දැන් පැහැදිලිය. ට්‍රම්ප්ගේ මෙම දැඩි ස්ථාවරයත්, වෙනිසියුලාවේ බල පෙරළියත් හමුවේ කියුබාව අද වන විට සිය ඉතිහාසයේ අඳුරුතම සහ දරුණුතම ආර්ථීක අගාධය හමුවේ මරණාසන්න අරගලයක නිරතව සිටී. ඉන්ධන අර්බුදය හමුවේ සැපයුම් පද්ධතීන් අකර්මන්‍ය වීමත් සමඟම ජීවනෝපායන් ඇහිරී යාමෙන් කියුබානු ජන ජීවිතය දැඩි අවිනිශ්චිත අඳුරු ඉමකට ඇද දමා තිබේ.

මෙම සමස්ත අර්බුදයේ කේන්ද්‍රීය සාධකය වී ඇත්තේ පවතින උග්‍ර ඉන්ධන හිඟයයි. අගනුවර වන හවානාහි මෙන්ම ප්‍රාදේශීය නගරවලද ඉන්ධන පිරවුම්හල් අද වන විට හුදු හිස් ගොඩනැගිලි බවට පත්ව ඇත. පොදු ප්‍රවාහන සේවාවන් සම්පූර්ණයෙන්ම පාහේ අකර්මන්‍ය වීම නිසා ජනතාවට තම අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා සැතපුම් ගණනාවක් පයින් ගමන් කිරීමට සිදුව තිබේ.

 

1959 විප්ලවයෙන් පසු එළඹි  අඳුරුතම හෝරාව

මෙම අර්බුදය 1959 විප්ලවයෙන් පසු කියුබාව මුහුණ දෙන දරුණුතම සමාජ හා ආර්ථීක ව්‍යසනය ලෙස බොහෝ විචාරකයින් දැනටමත් හඳුන්වා දී හමාරය. එදා මෙදා තුර විදෙස් පීඩනය හමුවේ අභිමානයෙන් සිටි කියුබාව, වර්තමාන ගෝලීය දේශපාලන කුණාටුව හමුවේ අසාර්ථක රාජ්‍යයක් වීමේ අවදානමට මුහුණ දී සිටී.
මෙම අභ්‍යන්තර කඩාවැටීම තවදුරටත් වේගවත් කරනු ලැබුවේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විදේශ ප්‍රතිපත්ති සහ වසර ගණනාවක් පුරා කියුබාවේ ප්‍රධානතම බලශක්ති සගයා සහ ආරක්ෂකයා වූ වෙනිසියුලාව මුහුණ දුන් දේශපාලන ඉරණම සමගිනි. කියුබන් වෛද්‍යවරුන් සහ ආරක්ෂක උපදේශකයින් වෙනිසියුලාවට ලබා දීම වෙනුවට, එරටින් ලැබුණු සහනදායී බොරතෙල් සැපයුම මෙතෙක් කලක් කියුබාවේ විදුලිබල පද්ධතිය සහ කර්මාන්ත පණගන්වා තිබුණි.
එහෙත්, 2026 වසරේ මුල් භාගයේදී ඇමරිකානු විශේෂ බලකායන් විසින් වෙනිසියුලානු නායක Nicolás Maduro  බලයෙන් පහ කර එරට තෙල් නිධි තම පාලනයට නතු කර ගැනීමත් සමඟ, කියුබාවට එතෙක් ලැබුණු තීරණාත්මක තෙල් සැපයුම අහිමි වී ගියේය.

තෙල් අවහිරතාව සහ ජනතා යුද්ධය

තත්ත්වය තවදුරටත් බිහිසුණු කරමින් ජනාධිපති ට්‍රම්ප් විසින් පැනවූ නවතම ‘තෙල් අවහිරතාව’ (Fuel Blockade) කියුබාව දණගැස්සවීමට එල්ල කළ මාරක ප්‍රහාරයක් විය. 2026 ජනවාරි 29 වන දින ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගය හරහා කියුබාවට තෙල් විකුණන හෝ සපයන ඕනෑම රටකට හෝ නැව් සමාගමකට ඇමරිකාව හරහා දැඩි වෙළඳ බදු සහ සම්බාධක පැනවීමට අවසර ලැබු‚. මෙම ‘උපරිම පීඩනය’ හමුවේ කියුබාවේ දෙවන විශාලතම සැපයුම්කරු වූ මෙක්සිකෝව පවා සිය තෙල් නැව්ගත කිරීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේය. එය හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක් නොව, මුළු මහත් දූපත් රාජ්‍යයක් වටා ඉදිකළ අදෘශ්‍යමාන යකඩ වැටකි.
1959 විප්ලවයේ උරුමය රැක ගැනීමට වෙහෙසෙන කියුබන් රජය මෙය ‘ජනතා යුද්ධයක්’ ලෙස හඳුන්වමින් විකල්ප සෙවීමට උත්සාහ කරයි. රජයට ඉන්ධන සැපයිය නොහැකි බැවින්, ජනතාවට තමන්ගේම ක්‍රම සොයා ගැනීමට (පයින් ගමන් කිරීම, අත් කරත්ත භාවිතය, සතුන් ප්‍රවාහනයට යොදා ගැනීම වැනි ක්‍රම) මෙහිදී බල කෙරෙයි.

කුසගින්න සහ අඳුර විඳ දරා ගැනීම පුද්ගලික දුෂ්කරතාවක් නොව, ‘මාතෘ භූමිය වෙනුවෙන් කරන කැපකිරීමක්’ ලෙස අර්ථකථනය කිරීමට රජය උත්සාහ කරයි. නමුත් කියුබාව අද මුහුණ දී සිටින්නේ එරට ඉතිහාසය මින් පෙර කිසිදා අත්නොවිඳි මහා මානුෂීය කඩා වැටීමකටය. මෙය හුදෙක් සංඛ්‍යා ලේඛනවලින් පෙන්විය හැකි ආර්ථීක පසුබෑමක් නොවේ. එය මිලියන සංඛ්‍යාත ජනතාවකගේ දෛනික ජීවිතයට ඍජුවම බලපාන බරපතල ව්‍යසනයකි.

නිහ වූ විදුලි පද්ධතිය සහ මියැදෙන සෞඛ්‍ය සේවය

59 විප්ලවයෙන් පසු කියුබාව සිය කාර්මික හා සමාජයීය අභිමානයේ සංකේතය ලෙස සැලකූ විදුලිබල පද්ධතිය අද වන විට මුළුමනින්ම පාහේ අකර්මන්‍ය වී ඇත. කියුබාවේ වත්මන් බලශක්ති අර්බුදය හුදු විදුලි කප්පාදුවකට හෝ ප්‍රවාහන සීමාවකට පමණක් සීමා නොවී, එරට සෞඛ්‍ය පද්ධතියේ කොඳු නාරටිය බිඳ දමන මාරාන්තික ව්‍යසනයක් දක්වා ව්‍යාප්ත වී තිබේ. දශක ගණනාවක් පුරා මුළු මහත් ලෝකයටම ආදර්ශයක් වූ කියුබානු නිදහස් සෞඛ්‍ය සේවය, අද බලශක්ති අහේනිය හමුවේ දණගසා ඇත. දිනකට පැය 20 ක් දක්වා ඇදෙන විදුලි කප්පාදුව රෝහල් තුළ නිර්මාණය කර ඇත්තේ බිහිසුණු තත්ත්වයකි. රෝහල් සතු ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩීසල් පවා සලාක ක්‍රමයට ලැබීම නිසා, ජීවිතය රැක දෙන Ventilators  සහ මොනිටර් යන්ත්‍ර අක්‍රිය වී තිබේ. බොහෝ විට වෛද්‍යවරුන්ට සිදුව ඇත්තේ රෝගීන්ගේ හුස්ම පවත්වා ගැනීමට අතින් ක්‍රියා කරවන Ambu bags භාවිත කිරීමටයි. අත්‍යවශ්‍ය නොවන සියලුම ශල්‍යකර්ම අත්හිටුවා ඇති අතර, අත්‍යවශ්‍ය හදිසි සැත්කම් පවා සිදු කෙරෙන්නේ ජංගම දුරකථනවල විදුලි පන්දම් ආලෝකයෙනි.
එසේම, ලොව උසස්ම මට්ටමේ ඖෂධ නිෂ්පාදනය කළ රටක් වුවද, අද වන විට කියුබාවේ ඖෂධ කර්මාන්තශාලා අමුද්‍රව්‍ය හිඟය සහ විදුලිය නොමැති වීම නිසා වැසී යමින් පවතී. වේදනා නාශක, ප්‍රතිජීවක (Antibiotics) සහ නිර්වින්දන ඖෂධ පවා රෝහල්වල අවසන් වී ඇත. සරල සැත්කමකට පවා අවශ්‍ය නිර්වින්දන ඖෂධ නොමැති වීම නිසා රෝගීන් විඳින වේදනාව වචනයෙන් විස්තර කළ නොහැකිය.

මීට අමතරව තවත් බරපතල ගැටලු කිහිපයක් උද්ගත වී ඇත:
විෂබීජහරණය අඩාල වීම: සබන් සහ විෂබීජ නාශක හිඟය මෙන්ම උපකරණ විෂබීජහරණය කිරීමට අවශ්‍ය තාපය නිපදවීමට බලශක්තිය නොමැති වීම නිසා රෝහල් තුළ ද්විතීයික ආසාදන පැතිරීමේ අවදානම ඉහළ ගොස් ඇත.
ලේ බැංකු අක්‍රිය වීම: රුධිරය සහ ප්ලාස්මා සුරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය අධිශීතකරණ අක්‍රිය වීම නිසා හදිසි රුධිර පාරවිලයනයන් පවා සිදු කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
ගිලන්රථ සේවය: ඉන්ධන හිඟය නිසා ගිලන්රථ බොහොමයක් ධාවනයෙන් ඉවත් කර ඇත. හදිසි රෝගියෙකු රෝහලට රැගෙන යාම අද ඔවුන් විසින්ම පෞද්ගලිකව විසඳාගත යුතු මහා අර්බුදයක් වන අතර, රෝහලට ළඟා වන විටත් බොහෝ රෝගීන් අවසන් හුස්ම හෙළා තිබීම අතිශය කණගාටුදායකය.
උඩුයටිකුරු වූ ළදරු මරණ අනුපාතය: කියුබාව වරෙක ඇමරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටවලට පවා අභියෝග කරමින් අවම ළදරු මරණ අනුපාතයක් පවත්වා ගැනීමට සමත් විය. එහෙත් වත්මන් බලශක්ති අර්බුදය එම ජයග්‍රහණය උඩුයටිකුරු කර ඇත. 2021 වසරේදී සජීවී උපත් 1,000 කට 5 ක්ව පැවති ළදරු මරණ අනුපාතය, 2025 අග භාගය වන විට 14 දක්වා තෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. නොමේරූ බිළිඳුන් තබන Incubators  සඳහා අවශ්‍ය උණුසුම ලබා දීමට විදුලිය නොමැති වීමෙන් බිළිඳුන් මිය යාම අද එහි සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

මෙම සෞඛ්‍යමය කඩා වැටීමට අමතරව, නාගරික සනීපාරක්ෂාවද බිඳ වැටී තිබේ.
කුණු ලොරි ධාවනයට ඉන්ධන නොමැති වීමෙන් කඳු ගැසී ඇති කසල අර්බුදයට විසඳුමක් පෙනෙන දුරක නැත. ජල පොම්ප ක්‍රියාත්මක කිරීමට විදුලිය නොමැති වීම නිසා ජනතාව අපිරිසිදු ජලය පරිභෝජනයට පෙළඹීමෙන් පාචනය සහ විවිධ මාරාන්තික වෛරස රෝග දිවයින පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

බිඳ වැටෙන ගුවන් සේවා සහ හිස්වන හෝටල්

විටෙක නිල්වන් දිය දහරින් හා රිදී පැහැ වැලිතලාවෙන් සුසැදි පාරාදීසයක් බඳු වූ කියුබාවේ Varadero  ඇතුළු වෙරළ තීර අද පාළු වී ගොසිනි. 2026 පෙබරවාරි 8 වැනිදා, කියුබාව සතු ගුවන් යානා ඉන්ධන තොග අවසන් වෙමින් පවතින බවට එරට රජය කළ නිල ප්‍රකාශයත් සමඟ, කියුබා ආර්ථීකයේ ජීවනාලිය බඳු වූ සංචාරක කර්මාන්තය අගාධයට ඇද වැටී තිබේ.

මේ වන විට කියුබාවට වැඩිම සංචාරකයන් පිරිසක් ගිය කැනඩාවේ ප්‍රධාන ගුවන් සේවාවන් (Air Canada, WestJet iy Air Transat) සිය ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇත. මේ හේතුවෙන් අප්‍රේල් මාසය වන විට ගුවන් වාර 1,700 කට අධික ප්‍රමාණයක් අවලංගු වනු ඇති අතර, එය එරටට පැමිණෙන සංචාරක සංඛ්‍යාව ලක්ෂ ගණනකින් පහත හෙළීමට සමත් වනු ඇත.
සංචාරකයන්ගේ පැමිණීම දැඩි ලෙස පහත වැටීම හේතුවෙන් දිවයිනේ ප්‍රධාන හෝටල් ජාල මේ වන විටත් සිය මෙහෙයුම් අත්හිටුවා ඇත. හෝටල් නඩත්තු කිරීමට අවශ්‍ය විදුලිය සහ ජලය සැපයීමට නොහැකි වීමත්, ආපසු ඒමට ගුවන් යානා නොමැති වීමෙන් අතරමංව හෝටල් තුළ රැඳී සිටින සංචාරකයින් වෙනුවෙන් දරන්නට වන අධික පිරිවැයත් හමුවේ, දැනට ක්‍රියාත්මක වන සීමිත හෝටල් පවා නුදුරේදීම වසා දැමීමේ අවදානමකට ලක්ව තිබේ.
දශක ගණනාවක් පැරණි මෝටර් රථ (Classic Cars) වීදි පුරා ධාවනය වන, ලොව පවතින එකම ‘සජීවී කෞතුකාගාරය’ ලෙස විරුදාවලිය ලත් කියුබාව, අද එම අතීත උරුමය පවා නඩත්තු කරගත නොහැකි බරපතල බලශක්ති අර්බුදයක සිරවී සිටී.
1959 සිට පවතින ඇමරිකානු සම්බාධකවලින් පසුව, අලුත් වාහන හෝ අමතර කොටස් ගෙන්වීමට නොහැකි වූ පසුබිමක, කියුබානුවන් සිය සහජ දක්ෂතාවය සහ නව නිපැයුම් කුසලතාව භාවිත කරමින් මෙම වාහන දශක හයක් තිස්සේ පණගන්වා ගෙන සිටිති. 1930 සිට 1950 දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද Chevrolet, Ford සහ Buick වැනි ඇමරිකානු සම්භවයක් සහිත මෝටර් රථ 60,000 ක් පමණ අදටත් කියුබාවේ දෛනික ගමනාගමනය සඳහා යොදා ගැනේ. Yank Tanks ලෙස ජනප්‍රිය මෙම වර්ණවත් රථ, සංචාරකයන්ගේ ප්‍රධානතම ආකර්ෂණයකි.

පෙසෝ මුදලේ බිඳවැටීම සහ මුදල් හිඟය

කියුබන් Peso මුදල අද වන විට හුදු කඩදාසි කැබැල්ලක අගයට ඇද වැටෙමින් පවතී. සංචාරක කර්මාන්තය අඩාල වීම සහ ජාත්‍යන්තර සම්බාධක දැඩි වීම නිසා රට තුළට ඩොලර් හෝ යුරෝ පැමිණීම මුළුමනින්ම පාහේ නතර වී ඇත. මෙය රජයේ ආනයන ශක්තිය බිඳ දැමීමට හේතු වී ඇති අතර, ඒ හරහා දේශීය වෙළඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය තවදුරටත් උග්‍ර වී තිබේ.
පවතින දුෂ්කරතා තවත් තීව්‍ර කරමින් දිවයින පුරා දැඩි මුදල් හිඟයක්ද නිර්මාණය වී ඇත. නගර පුරා ඇති ATM  යන්ත්‍ර අසල දිගු පෝලිම් දැකිය හැකි අතර, බොහෝ යන්ත්‍රවල මුදල් නොමැති වීම නිසා ජනතාව අන්ත අසරණ වී සිටිති. දෛනිකව ලබාගත හැකි මුදල් සීමා කර තිබීම නිසා එදිනෙදා අවශ්‍යතා පවා සපුරා ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත.

මිනිස් බලය රටින් බැහැර වීම

කියුබාව මුහුණ දෙන දරුණුතම ඛේදවාචකයන් අතරින්, රටේ අනාගතය තීරණය කරන වටිනාම සම්පත වන ‘මිනිස් ශ්‍රමය’ රටට අහිමි වී යාම අතිශය බරපතල අර්බුදයකි. 2021 වසරේ සිට මේ දක්වා වෘත්තීය පුහුණුව ලැබූ සහ උගත් කියුබන් වැසියන් මිලියන දෙකක් පමණ රට හැර ගොස් ඇත. දශක ගණනාවක් පුරා කියුබාව ආයෝජනය කළ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අස්වැන්න අද නෙළා ගනිමින් සිටින්නේ විදේශ රටවල්ය. වරෙක ජාත්‍යන්තරය පවා මවිත කළ කියුබාවේ ‘වෛද්‍ය බලකාය’ අද වන විට බිඳ වැටෙමින් පවතී. දක්ෂ වෛද්‍යවරුන් සිය වෘත්තීය ගෞරවයට වඩා තම දරුවන්ගේ කුසගින්න නිවීම ගැන සලකා ඇමරිකාව වැනි රටවලට සංක්‍රමණය වීමට තීරණය කිරීම ජාතික මට්ටමේ අවාසනාවකි.
එසේම, රට තුළ ජීවත් වීමට මඟක් නොමැති තැන ආර්ථීක පීඩනයෙන් ගැලවීම සඳහා කියුබන් තරුණයින් දහස් ගණනක් රුසියාව වෙනුවෙන් යුක්රේන යුද්ධයට කුලී හේවායන් ලෙස මේ වන විට එක්ව සිටී. විප්ලවයේ පරමාදර්ශ උදෙසා සටන් කළ අභිමානවත් යුගයක සිට, හුදු පැවැත්ම සඳහා විදේශීය යුද්ධයක කුලී හේවායන් වීමට සිදුවීම තරම් දරුණු ඉරණමක් තවත් තිබිය හැකිද?

ජාත්‍යන්තර මැදිහත්වීම සහ කැනඩාවේ භූමිකාව

කියුබාවේ මෙම මානුෂීය ශෝකාන්තය හමුවේ ලෝක බලවතුන් අද කඳවුරු දෙකකට ඛෙදී සිටිති. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ කියුබාවට පක්ෂව විශාල බහුතරයක් (ඡන්ද 165-7 ක් ලෙස) ගොඩනැගී තිබුණද, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘ආර්ථීක දණ්ඩනයට’ ඇති බිය නිසා බොහෝ රටවල් සහයෝගය පළ කිරීමට පසුබට වෙති.
මෙම මහා බලපෑම් හමුවේ පවා මෙක්සිකෝව සිය අසල්වැසි මිතුරා අත්නොහැරීමට තීරණය කිරීම අගය කළ යුත්තකි. 2026 පෙබරවාරි මස මුල් භාගයේදී, ට්‍රම්ප් පාලනය විසින් පනවන බවට තර්ජනය කළ දැඩි වෙළඳ බදු නොතකා, ආහාර සහ ඖෂධ ටොන් 2,300 කට අධික ප්‍රමාණයක් රැගත් මෙක්සිකානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් හවානා වරායට ළඟා විය. මෙය හුදෙක් ආධාර සැපයීමක් නොව, ඇමරිකානු ඒකපාර්ශ්වීය සම්බාධක හමුවේ මෙක්සිකෝව දැක්වූ ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික විරෝධයක් ලෙස ජාත්‍යන්තර විචාරකයෝ දකිති.
මේ අතර, කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සිය දේශපාලන ජීවිතයේ තීරණාත්මක මංසන්ධියකට පැමිණ සිටී. කැනඩාව දශක ගණනාවක් පුරා කියුබාවේ ප්‍රධානතම ආර්ථීක හවුල්කරුවෙකු මෙන්ම එරටට වැඩිම සංචාරකයින් පිරිසක් ගිය රටද ‌ලෙස මහා බලවතුන්ගේ බිය ගැන්වීම් හමුවේ නොසැලී, කියුබාව සමඟ පවතින එම දීර්ඝකාලීන සබඳතාවය තවදුරටත් ආරක්ෂා කරගන්නා ලෙස NDP සහ Bloc Québécois වැනි විපක්ෂ කණ්ඩායම් රජයෙන් ඉල්ලා සිටිති. අග්‍රාමාත්‍යවරයාගේ ‘කාර්නි දර්ශනයට’  (Carney Doctrine) අනුව, කැනඩාව මධ්‍යස්ථ බලවතෙකු ලෙස ස්වාධීන තීරණ ගත යුතු බවත් මෙක්සිකෝව මෙන් කියුබාවට මානුෂීය සහ බලශක්ති ආධාර සපයා මෙම දර්ශනය ප්‍රායෝගිකව පෙන්වීමට කටයුතු කළ යුතු බවත් විචාරකයෝද පවසති.
එහෙත්, ට්‍රම්ප් පාලනය කැනඩාවට එරෙහිව වෙළඳ යුද්ධයක් ප්‍රකාශ කරනු ඇතැයි පවතින බිය නිසා, අග්‍රාමාත්‍ය කාර්නි සහ විදේශ කටයුතු අමාත්‍ය අනීතා ආනන්ද් තවමත් පසුවන්නේ දැඩි අවදානම් සහගත පිළිවෙතකය. ඔවුන්ගේ වත්මන් අවධානය යොමු වී ඇත්තේ කියුබාවේ සිටින කැනේඩියානු සංචාරකයින්  ඉවත් කර ගැනීමට පමණි.

අනාගතයේ අඳුරු සෙවණැලි සහ කියුබාව හමුවේ ඇති විකල්ප මාවත්

ඉදිරි මාස කිහිපය කියුබාවේ ඉරණම තීරණය කරන අතිශය තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇත. මේ මොහොතේ කියුබාව හමුවේ අපේක්ෂා කළ හැකි එක් විකල්ප මාවතක් වන්නේ ට්‍රම්ප් පාලනය සහ කියුබන් රජය අතර තිරය පිටුපස සිදුවිය හැකි රහසිගත රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවන්ය. කියුබාවේ වටිනා සංචාරක දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය විදේශීය ආයෝජකයන්ට විවෘත කිරීම හෝ ඇමරිකාවෙන් සෘජුවම ඉන්ධන මිල දී ගැනීමට ඉඩ දීම වැනි ආර්ථීක ගනුදෙනු හරහා යම් සහනයක් ලබා ගැනීමට මෙහිදී උත්සාහ කළ හැකිය. එහෙත්, වත්මන් කියුබන් දේශපාලන ව්‍යුහයේ හදිසි බිඳවැටීමක් සිදු වුවහොත් එය මුළු කලාපයේම ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති.
සම්බාධක තවදුරටත් දැඩි වුවහොත් කියුබාව යුධ නීතිය සහ දැඩි මිලිටරි පාලනයක් කරා තල්ලු වීම වැළැක්විය නොහැකි වනු ඇත. එවැනි තත්ත්වයකදී අතිශය දැඩි සලාක ක්‍රම ක්‍රියාත්මක විය හැකි අතර ජනතාවගේ පෞද්ගලික නිදහස තවදුරටත් සීමා වනු නිසැකය. මෙය තවත් මහා ජන සංක්‍රමණයකට මඟ පාදමින් ඇමරිකාවට පවා දේශසීමා අර්බුදයක් නිර්මාණය කිරීමට ඉඩ ඇත.
මේ මොහොතේ පවතින වඩාත්ම මානුෂීය විකල්පය වන්නේ ලෝක බලවතුන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සක්‍රීය මැදිහත් වීමයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ප්‍රකාශ කළ විරෝධය හුදු වචනවලට පමණක් සීමා නොකර, ඇමරිකානු පීඩනය නොතකා කියුබාව සමඟ ඍජු වෙළඳාම සහ මානුෂීය ආධාර ජාලයන් ගොඩනැගීමට ලෝක ප්‍රජාව ඉදිරිපත් විය යුතුය.
ජාත්‍යන්තර ප්‍රජාව අද කියුබාවේ මේ මරණාසන්න විලාපය නොසලකා හැරියහොත්, ඉතා ඉක්මනින් අප හමුවේ දිග හැරෙනු ඇත්තේ 21 වන සියවසේ දරුණුතම මානුෂීය ව්‍යසනයයි. එය හුදෙක් එක් දූපත් රාජ්‍යයක කඩාවැටීමක් නොව, සමස්ත මානව වර්ගයාගේම හෘදය සාක්ෂියට එල්ල වන මැකී නොයන කළු පැල්ලමක් වනු නිසැකය.
බලවත් රාජ්‍යයක දේශපාලනික උවමනාවන් සහ පටු අභිමතාර්ථයන් වෙනුවෙන්, අභිමානවත් ඉතිහාසයක් ඇති ස්වාධීන රටක් මෙලෙස විනාශ කර දැමීමට ඉඩ දීම තරම් මහා ඛේදවාචකයක් තවත් තිබිය හැකිද? අද කියුබාව ඉල්ලා සිටින්නේ හුදු අනුකම්පාව නොව, ජීවත් වීමට ඇති යුක්ති සහගත අයිතියයි.

 

 

(Image generated by AI)

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!