ලොව පහළ වූ සෑම ශාස්තෘවරයෙක්ම තම දර්ශනයේ චිරස්ථීතිය උදෙසා ශ්‍රාවක සමාජයක් ගොඩනැඟූහ. ක්‍රිස්තු පූර්ව හයවන සියවස වන විට දඹදිව පුරා විවිධ ආගමික මතවාද පතුරුවමින් සිටි බ්‍රාහ්මණ, ජටිල, තාපස, ආජීවක හා නිඝණ්ඨ ආදී විවිධ ශ්‍රමණ කණ්ඩායම් අතරින් බුදුරජාණන් වහන්සේ බිහිකළ ශ්‍රාවක සංඝ සමාජය සුවිශේෂී විය. එය ප්‍රාතිමෝක්ෂ සංවරය, සළායතන සංවරය, ආජීව පාරිශුද්ධිය සහ ප්‍රත්‍යය සන්නිශ්‍රීත ශීලය යන ‘චතුපාරිශුද්ධි ශීලය’ පදනම් කරගත්, මෝක්ෂය අරමුණු කළ, පරෝපවාදයෙන් තොර පරමාදර්ශී සමාජයකි.

මෙම චතුපාරිශුද්ධි ශීලය යනු හුදෙක් බාහිර නීති මාලාවක් නොව, භික්ෂුවකගේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය උදෙසාම සකස් වූ මඟකි. එහි ප්‍රධානතම පදනම වන ‘ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන්’ භික්ෂුව උතුම් ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද ආරක්ෂා කරමින් කායික හා වාචසික සංවරය ඇති කර ගනී. ‘සළායතන සංවර ශීලයෙන්’ ඇස, කන, නාසය, දිව, කය සහ මනස යන ඉන්ද්‍රියයන් හඹා යන රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් පාලනය කරගන්නා අතර, ‘ආජීව පාරිශුද්ධි ශීලයෙන්’ වැරදි ජීවනෝපායන්ගෙන් තොරව ධර්මානුකූලව ලැඛෙන පරිශුද්ධ ප්‍රත්‍යයන්ගෙන් (දානයෙන්) පමණක් යැපීමට භික්ෂුව හුරු වෙයි. අවසාන වශයෙන්, සිවුපසය (චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය) පරිහරණය කිරීමේදී තණ්හාවෙන් තොරව, ශරීරයේ පැවැත්ම සහ මහණදම් පිරීමේ පහසුව උදෙසා පමණක්ම සිහි නුවණින් පරිහරණය කිරීම ‘ප්‍රත්‍යය සන්නිශ්‍රීත ශීලයෙන්’ අර්ථවත් කෙරේ.

සෙසු ශ්‍රමණ කණ්ඩායම් ශරීරයට දැඩි සේ දුක් දෙන අත්තකිලමතානුයෝගය හෝ කාම සැප සෙවීමේ කාමසුඛල්ලිකානුයෝගය පසුපස හඹා යද්දී, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මැද මාවත හෙවත් ‘මජ්ඣිම පටිපදාව’ ගරු කරමින්, මෙලොව ජීවිතයද ආදර්ශවත් කරගෙන නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට කැප වූහ. මුල් යුගයේදී මෙම සමාජය කිසිදු බාහිර බලකිරීමකින් තොරව, ස්වයං විනයකින් සහ ඉහළ ආධ්‍යාත්මික මට්ටමකින් ක්‍රියා කළ පරමාදර්ශී ජන සමාජයක්ම විය.

විනය ශික්ෂාපද පැනවීමේ උපත හා අරමුණු

‘විනයෝ නාම සාසනස්ස ආයු’ යනුවෙන් සඳහන් වන පරිදි ශාසනයක ආයුෂ රඳා පවතින්නේ විනය මතය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් මුල් වසර විස්සක් ගතවන තුරු කිසිදු විනය ශික්ෂාවක් හෝ නීතියක් කල් ඇතිව පැනවූයේ නැත. මුල් කාලයේ සසුන්ගත වූ සියල්ලන්ම හේතු සම්පත් ඇති, ස්වභාවයෙන්ම ශික්ෂාකාමී පිරිසක් වීම ඊට හේතුවයි. එහෙත් පසුකාලීනව විවිධ පසුබිම් සහ මත දරන්නන් සසුන්ගත වීමත් සමඟ ඇති වූ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් ශික්ෂාපද පැනවීම අත්‍යවශ්‍ය විය.

බුදුරජාණන් වහන්සේ විනය නීති පැනවූයේ අවශ්‍යතාවක් මතු වූ විට පමණි. ශික්ෂාපද පැනවීමට හේතු වූ කරුණු   10 ක් මහාවග්ග පාලියෙහි දැක්වෙයි. සංඝ සමාජයේ අභිවෘද්ධිය හා පහසුව, නිර්ලජ්ජී (ලජ්ජා නැති) පුද්ගලයන් මැඩලීම, යහපත් භික්ෂූන්ගේ ආරක්ෂාව, වර්තමාන හා අනාගත අපචාර වැළැක්වීම, නොපැහැදුණවුන්ගේ පැහැදීම ඇති කිරීම, පැහැදුණවුන්ගේ පැහැදීම වර්ධනය කිරීම, ශාසනයේ චිරජීවනය සහ විනයගරුක බව ප්‍රවර්ධනය කිරීම ඒ කරුණු වේ. යම් හෙයකින් බුදුරජාණන් වහන්සේ අද වැනි සමාජයක වැඩසිටියේ නම්, වර්තමානයේ සිදුවන ළමා අපචාර වැනි සමාජයීය ව්‍යසනයන් දෙස බලා, දරුවන් හා ලිංගික සේවනයේ යෙදීම වැනි බරපතළ වැරදි වළකාලනු වස්ද විනය නීති තවදුරටත් දැඩි කරමින් පනවනු නිසැකය.

ශාසන ඉතිහාසය දෙස හැරී බැලීමේදී, බුද්ධත්වයෙන් විසිවන වසරේදී ප්‍රථම විනය නීතිය පැනවීමට පසුබිම සකස් වූයේ මෙම දස වැදෑරුම් අරමුණු සාක්ෂාත් කරගැනීමේ අවශ්‍යතාව මතු කරමිනි. එම ඓතිහාසික සිදුවීමට මුල් වූයේ විශාලා මහනුවර කලන්ද ග්‍රාමයේ කෝටිපති සිටු කුලයක උපන් සුදින්න නම් කුලපුත්‍රයාගේ කථා පුවතයි.

මහත් වෙහෙසක් දරා දෙමාපියන්ගෙන් අවසර ගෙන මහණදම් පිරූ සුදින්න හිමියෝ, කලකට පසු ඇති වූ දරුණු දුර්භික්ෂයක් හේතුවෙන් තම ඥාතීන්ට වැඩපි‚ස කලන්ද ගමට වැඩම කළහ. එහිදී උන්වහන්සේගේ පැර‚ බිරිඳ ලවා සිවුරු හරවා ගැනීමට දෙමාපියන් දැරූ උත්සාහයන් සියල්ල සුදින්න හිමියෝ දැඩි සේ ප්‍රතික්ෂේප කළහ. අවසානයේ මෑ‚යන් විලාප තබමින්, “පුතණුවනි, අප සතු මහා ධනය අනුන් සතු වනු වැළැක්වීමට සහ පරපුර රැකගැනීමට එකම එක දරු බීජයක් ලබා දෙන්න” යි බැගෑපත්ව ඉල්ලා සිටියාය.

එකල මෙවැනි කරුණක් පිළිබඳව ශික්ෂාපදයක් පනවා නොතිබූ බැවින් හා එහි ඇති ආධ්‍යාත්මික බරපතළකම පිළිබඳව පූර්ව අවබෝධයක් නොතිබූ බැවින්, මෑණියන්ගේ බැගෑපත් ඉල්ලීමට එකඟ වූ සුදින්න හිමියෝ මහවනයේදී සිය පුරාණ දූතිකාව (පැරණි බිරිඳ) සමඟ තෙවරක් මෙවුන්දම්හි හැසුරුණහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට පුතෙකු උපන් අතර ඔහුව ‘බීජක’ ලෙස හැඳින්විය. (පසුකාලීනව මේ මව සහ පුතා දෙදෙනාම සසුනේ පැවිදිව රහත්භාවය ලැබීම සුවිශේෂී කරුණකි).

කෙසේ වෙතත්, භූමාටු දේවතාවුන්ගේ පටන් බඹලොව දක්වා මේ අශෝභන සිදුවීම පිළිබඳව මහත් විවේචන හා උද්ඝෝෂණයක් ඇති විය. පසුව තමා අතින් සිදුවූ ක්‍රියාව

පිළිබඳව දැඩි සේ විපිළිසර වී, ශෝකයෙන් ශරීරය වැහැරී ගිය සුදින්න හිමියන් පිළිබඳව තොරතුරු දැනගත් බුදුරජාණන් වහන්සේ, වහාම මහ සඟන රැස් කරවූහ. එහිදී උන්වහන්සේට දැඩි සේ අවවාද කොට, සසුනේ චිරස්ථීතිය වෙනුවෙන් ‘‌ෙමෙථුන ධම්ම පාරාජිකා ශික්ෂාපදය’ නමින් ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය පැනවූහ.

සුදින්න හිමියන් එම වරද සිදුවන විට ශික්ෂාවක් පනවා නොතිබූ බැවින්, එම වරද මුල්ම වරට සිදුකළ පුද්ගලයා හෙවත් ‘ආදිකම්මිකයා’ ලෙස සලකා උන්වහන්සේට විනයානුකූලව ඇවතක් (වරදක්) සිදු නොවූවත්, සිදු වූ ව්‍යාකූලත්වය හා මනසේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් උන්වහන්සේට එම ආත්මයේදී කිසිදු මාර්ගඵලයක් ලැබීමට නොහැකි විය. පසුව, තිරිසන් සතෙකු සමඟ වුවද මෙවැනි හැසිරීමක් සිදු කිරීම උපසම්පදාව අහෝසි වන පාරාජිකාවක් වන පරිදි මෙයට තවදුරටත් අනුප්‍රඥප්තියක්ද එකතු කරන ලදී.

උපසම්පදාව අහෝසි කරන සතර පාරාජිකා

උපසම්පදා භික්ෂුවකගේ ජීවය රැඳී පවතින්නේ සතර පාරාජිකාවන්ගෙන් වැළකී සිටීම මතය. යම් හෙයකින් පාරාජිකාපත්තියට පත් වුවහොත් එම භික්ෂුවගේ උපසම්පදාව එතැනින්ම අහෝසි වෙයි. එයට කිසිදු ප්‍රතිකර්මයක් නැත. සත්වයකුගේ හිස කඳින් වෙන් වූ පසු නැවත පණ දිය නොහැකි සේම, පාරාජිකා වූ භික්ෂුවකටද නැවත උපසම්පදාව ලැබිය නොහැක. එවැනි අයකුට ඉතිරි වන්නේ ශ්‍රමණ වේශය පමණක් වන අතර ඔහුට සාමණේරයකු ලෙස සිටීමට හෝ උපැවිදි වීමට සිදු වෙයි. පාරාජිකා වූ බව සඟවාගෙන සඟ සතු පන්සල්, දේපළ හා සාංඝික ලාභ පරිහරණය කිරීම බරපතළ වරදක් වන අතර එයින් ඔහු සොරෙකු බවට පත් වේ.

විනය පිටකයට අනුව සතර පාරාජිකා වර්ගීකරණය

  1. මෙථුන ධම්ම පාරාජිකා: උපසම්පදා භික්ෂුවක් ශික්ෂාපද අත්නොහැර, ස්ත්‍රියක හෝ අවසානයේ තිරිසන්ගත සතෙකු සමඟ වුවද මෛථුන සේවනයේ යෙදීමයි.
  2. අදත්තාදාන පාරාජිකා: හිමිකරුවෙකු විසින් නොදුන්, රජයකින් දඬුවම් ලැබිය හැකි මට්ටමේ වටිනාකමක් ඇති වස්තුවක් සොර සිතින් ගැනීමයි. සොරකම සිදුවන සියුම් ආකාර 25 ක් විනයෙහි දක්වා ඇත.
  3. මනුස්ස විග්ගහ පාරාජිකා: මිනිසෙකු මැරීමේ චේතනාවෙන් පහරදීම, මිනී මැරීමට අණ කිරීම, උපක්‍රම හෝ උගුල් යෙදීම, මරණයේ ගුණ වැණීම මෙන්ම මව්කුස පවතින කලලයක් විනාශ කිරීම (ගබ්සා කිරීම) මගින් සිදුවන මනුෂ්‍ය ඝාතනයයි.
  4. උත්තරී මනුස්ස පාරාජිකා: තමා තුළ ධ්‍යාන, මාර්ගඵල, ත්‍රිවිද්‍යා හෝ අෂ්ටවිද්‍යා වැනි ලෝකෝත්තර ගුණාංග නොමැතිව, ලාභ ප්‍රයෝජන තකා “මා තුළ එම ගුණ ඇතැයි” පවසමින් මිනිසුන් රැවටීමයි.

විනය නීතිවලින් නිදහස් වන සුවිශේෂී පාර්ශ්වයන්

බුදුරජාණන් වහන්සේ පැනවූ විනය පද්ධතිය හුදෙක් දැඩි දඬුවම් දීම අරමුණු කරගත් එකක් නොවේ. යම් විනය ශික්ෂාපදයක් උල්ලංඝනය වුවද, පුද්ගලයාගේ මානසික හා කායික තත්ත්වය මෙන්ම පසුබිම සලකා බලා ඇවැත් සිදු නොවන බවට විනය පිටකයේ සඳහන් වන සුවිශේෂී අවස්ථා තුනකි. එනම්,

ආදිකම්මික (ප්‍රථම වරදකරු): යම් වරදක් මුල්ම වරට සිදුකළ භික්ෂුවයි. ඔහු එම ක්‍රියාව කරන විට ඒ පිළිබඳව ශික්ෂාපදයක් පනවා නොතිබූ බැවින්, ඔහු එම වරදෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වේ

උම්මත්තක (පියවි සිහියෙන් තොර වූවන්): තදබල උමතු රෝගී තත්ත්වයකින් හෝ ප්‍රකෘති සිහියෙන් තොරව සිටින අවස්ථාවක වරදක් සිදුකළ භික්ෂුවයි. චේතනාව පිරිසිදු නොමැති බැවින් හෝ සිහියක් නොමැති බැවින් එය ඇවතක් ලෙස නොසැලකේ.

ගිලාන (රෝගාතුර වූවන්): දරුණු ලෙස අසනීප වී වෛද්‍ය උපදෙස් මත, රෝගය සුවකර ගැනීමේ පරමාර්ථයෙන් පමණක් යම් ශික්ෂාපදයකට පටහැනිව ක්‍රියා කිරීමට සිදුවූ භික්ෂුවයි.

මෙම සුවිශේෂී සහන ක්‍රමවේදයන් දෙස බැලීමේදී පැහැදිලි වන්නේ බුද්ධ විනය යනු ශ්‍රාවකයන් පීඩාවට පත් කිරීමට නොව, ඔවුන්ගේ පොදු යහපත හා පහසුව පි‚සම සකස් වූවක් බවයි.

භික්ෂු ජීවිතයෙන් ගිහි ජීවිතයට පත්වීමේ විනයානුකූල නිදහස

බුදුවදන සහ විනය පිටකය සැමවිටම පදනම් වී ඇත්තේ පුද්ගල නිදහස සහ අවංකභාවය මතය. බුදුදහම තුළ පැවිද්ද හෝ උපසම්පදාව යනු බලහත්කාරයෙන් රැඳී සිටිය යුතු සිරගෙයක් නොවේ. යම් හෙයකින් භික්ෂු ජීවිතය බ්‍රහ්මචාරීව සහ විනයානුකූලව ඉදිරියට කරගෙන යාමට අපහසුතාවක් හෝ නොකැමැත්තක් පවතී නම්, උපසම්පදා භික්ෂුවකට ඉතා ගෞරවනීය ලෙස සහ නීත්‍යනුකූලව නැවත ගිහි ජීවිතයට පත්වීමට පූර්ණ අයිතිය ඇත. විනය පිටකයට අනුව මෙයට ‘ශික්ෂාප්‍රත්‍යක්ඛ්‍යානය’ (ශික්ෂාව ප්‍රතික්ෂේප කිරීම හෝ අත්හැරීම) යැයි කියනු ලැබේ.

ශික්ෂාප්‍රත්‍යක්ඛ්‍යානය සඳහා සපුරාලිය යුතු මූලික කොන්දේසි

භික්ෂුත්වයෙන් මිදී ගිහි වීමේදී සංඝ සභාවක් ඉදිරියට ගොස් කරුණු කීමට හෝ විශාල චාරිත්‍ර වාරිත්‍ර සමුදායක් ඉටු කිරීමට අවශ්‍ය නොවේ. විනය පොතේ සඳහන් වන පරිදි ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉතා සරල, නමුත් අතිශය පැහැදිලි කොන්දේසි කිහිපයක් පමණි.

  • සිහිබුද්ධිය ඇති ශ්‍රාවකයෙකු ඉදිරිපිට සිදු කිරීම: තමන් ශික්ෂාව අත්හරින බව ප්‍රකාශ කළ යුත්තේ උමතු නොවූ, බේබදු නොවූ, කියන දේ වටහාගත හැකි සිහිබුද්ධියෙන් යුත් වෙනත් ඕනෑම මනුෂ්‍යයෙකු (භික්ෂුවක්, භික්ෂු‚යක්, උපාසකයෙකු, උපාසිකාවක හෝ සාමාන්‍ය ගිහියෙකු) ඉදිරියේය.
  • සිතට එකඟව සහ ස්වේච්ඡාවෙන් ප්‍රකාශ කිරීම: කිසිදු බාහිර බලපෑමකින් තොරව, තමන්ගේම කැමැත්තෙන් සහ සිතට එකඟව මෙම තීරණය ගත යුතුය.
  • පැහැදිලිව අදහස සන්නිවේදනය කිරීම: “මම බුදුන් වහන්සේ, ධර්මය සහ සංඝයා අත්හරිමි”, “මම අද සිට ගිහියෙක් වෙමි” හෝ “මම භික්ෂු ශික්ෂාවන් අත්හරිමි” යන අදහස, ඇසුණු සැනින් අනෙක් පුද්ගලයාට වැටහෙන පරිදි ප්‍රකාශ කළ යුතුය.

මෙහිදී යමෙකු සිතින් පමණක් සිතුවහොත් හෝ තේරුම් ගත නොහැකි භාෂාවකින්, නැතහොත් සිහිබුද්ධියක් නැති අයෙකු ඉදිරියේ ප්‍රකාශ කළහොත් ශික්ෂාප්‍රත්‍යක්ඛ්‍යානය සිදුවන්නේ නැත. ඇසුණු පුද්ගලයාට “මේ භික්ෂුව ශික්ෂාව අත්හැරියා” යන වග පැහැදිලිව වැටහෙන ක්ෂණයකින් භික්ෂුභාවය අහෝසි වී ඔහු ගිහියෙකු බවට පත්වේ.

ශික්ෂාව අත්හැරීමට බලපාන හේතු

  • භික්ෂූන් වහන්සේලා මෙවැනි තීරණයක් ගැනීමට විවිධ මානුෂීය සහ සමාජයීය හේතු බලපෑ හැකිය.
  • බ්‍රහ්මචර්යාව (ස්ත්‍රී-පුරුෂ ඇසුරෙන් වැළකී සිටීම) රැකීමට ඇති අපහසුතාව.
  • ගිහි කල දෙමාපියන් හෝ යැපෙන්නන්  රැකබලා ගැනීමට වෙනත් අයෙකු නොමැති වීම.
  • ශාසනික ජීවිතයට වඩා ගිහි සමාජය තුළ සේවයක් කිරීමට ඇති කැමැත්ත.
  • තමන් තුළ ඇතිවන මානසික නොසන්සුන්තාව සහ පැවිදි ජීවිතයට හැඩගැසීමට නොහැකි වීම.

ශික්ෂාව රැකීමට නොහැකිව ‘සිවුරු හැරීමේ’ ඇති ආගමික වටිනාකම

බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ විනය නීති කඩ කරමින්, සිතින් දුස්සීලව, හොරෙන් සිවුර පොරවාගෙන සිටිනවාට වඩා, තමන්ට එය කළ නොහැකි බව අවංකව ප්‍රකාශ කර සිවුර හැර යාම අතිශයින්ම උතුම් සහ ගෞරවනීය ක්‍රියාවක් බවයි.

  • පාරාජිකාපත්තියෙන් වැළකීම: භික්ෂුවකට රැකීමට ඇති බරපතලම විනය නීති (පාරාජිකා) බිඳී ගියහොත් ඔහුට නැවත කිසිදා ඒ ආත්මයේදී භික්ෂුවක් විය නොහැක. නමුත්, ඊට පෙර ශික්ෂාව අත්හැර ගිහි වුවහොත්, ඔහු සිල්වත් උපාසකයෙකු ලෙස පවතින අතර, පසුව අවශ්‍ය නම් නැවත පැවිදි වීමේ අයිතියද සුරැකේ.
  • කර්ම විපාකවලින් මිදීම: වංචනිකව සිවුර දරා සිටීමෙන් සිදුවන මහා අකුසලයෙන් වැළකී, නිදහස් මිනිසෙකු ලෙස දැහැමි ජීවිතයක් ගත කිරීමට මෙයින් මග පෑදේ.

බුදුදහම යනු මිනිසාගේ ආධ්‍යාත්මික නිදහස අගයන දහමකි. භික්ෂු ජීවිතය පවත්වාගෙන යාමට අපහසු ඕනෑම අයෙකුට සමාජයට හෝ ශාසනයට බරක් නොවී, රහසිගත වැරදි නොකර, සිහිබුද්ධිය ඇති අයෙකු ඉදිරියේ තම අදහස ප්‍රකාශ කර ගෞරවනීය ලෙස ගිහි විය හැකිය. එය පවක් හෝ සමාජයෙන් අවමන් ලැබිය යුතු කරුණක් නොව, තමන්ගේ සහ ශාසනයේ පිරිසිදුකම වෙනුවෙන් ගන්නා වූ අවංක සහ නිර්භීත තීරණයකි.

විනය යනු ශාසනයේ මෙන්ම    භික්ෂුවගේද ආරක්ෂක ප්‍රාකාරය වන අතර, ශික්ෂාප්‍රත්‍යක්ඛ්‍යානය යනු එම ප්‍රාකාරය සුරකින විනයානුකූල කවුළුවයි.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!