
කැනේඩියානු නිශ්චල දේපළ ක්ෂේත්රයේ ඓතිහාසික ගමන් මඟ දෙස බලන විට, 1990 දශකය යනු දැවැන්ත ආර්ථීක කැළඹීම්, නාගරික පරිවර්තනයන් මෙන්ම අස්ථාවරත්වයන්ගෙන් පිරුණු කාලපරිච්ඡේදයකි. එකල පැවති ඉහළ උද්ධමනකාරී පීඩනය හමුවේ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කළ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති, වාර්තාගත ලෙස ඉහළ ගිය නිවාස ණය පොලී අනුපාත (mortgage) ශීඝ්‍රයෙන් ඉහළ ගිය විරැකියාව සහ පාරිභෝගිකයන්ගේ විශ්වාසය පළුදු වීම එකිනෙක මුසු වෙමින් සමස්ත නිවාස වෙළඳපොළම අඩපණ කරවන සුළු දැවැන්ත අර්බුදයක් නිර්මාණය කළේය.
ගෙවල් මිල ගණන් අඛණ්ඩව පහත වැටෙමින්, බොහෝ නිවාස හිමියන් තමන් ලබාගත් ණය මුදලටත් වඩා නිවසේ වටිනාකම අඩු වන මූල්‍යමය අර්බුදයට (Negative Equity) හසුවූ එම අඳුරු යුගය, දශකයකට ආසන්න කාලයක් පුරා කැනේඩියානු ආර්ථීකයේ ප්රගමනය අඩාල කිරීමට හේතු විය. අතීතයේ සිදුවූ මෙම දැවැන්ත වෙළඳපොළ කඩා වැටීම සහ ඊට බලපෑ පසුබිම, සංකීර්ණ ආර්ථීක වටපිටාවක පසුවන වර්තමාන කැනේඩියානු නිශ්චල දේපළ ක්ෂේත්රයටද වැදගත් පූර්වාදර්ශ සහ මඟ පෙන්වීම් රැසක් අනාවරණය කරයි.
උද්ධමනය, පොලී අනුපාතසහ ‘අහිමි වූ දශකය‘ (The Lost Decade)

1990 දශකයේ මුල් භාගයේදී කැනේඩියානු නිවාස වෙළඳපොළ තුළ දැකගත හැකි වූයේ විශේෂිත පාරිභෝගික හැසිරීමකි. ඉදිරියේදී උද්ධමනය සහ නිවාස මිල ගණන් තවදුරටත් දැවැන්ත ලෙස ඉහළ යනු ඇතැයි පැවති දැඩි බිය සහ අපේක්ෂාව නිසා, තමන්ට දැරිය හැකි මූල්‍ය මට්ටම ඉක්මවා ගොස් තිබුණද, කෙසේ හෝ නිවසක් හිමි කර ගැනීමේ දැඩි උනන්දුවකින් හා තරඟකාරීත්වයකින් ජනතාව නිවාස මිල දී ගැනීමට පෙළඹුණහ.
මෙලෙස වෙළඳපොළ තුළ නිර්මාණය වූ අධික ඉල්ලුම සහ උද්ධමනකාරී පීඩනය පාලනය කිරීම සඳහා කැනඩා මහ බැංකුව අඛණ්ඩව පොලී අනුපාත ඉහළ නැංවීමට පියවර ගත්තේය. එහි අතුරු ඵලයක් ලෙස ආර්ථීක ක්‍රියාකාරකම් මන්දගාමී වී, රටේ විරැකියා අනුපාතය සියයට 11 දක්වා ඉහළ ගියේය. රැකියාවල සුරක්ෂිතභාවය පිළිබඳ ඇති වූ දැඩි බිය සහ අස්ථාවරභාවය හේතුවෙන්, ජනතාව නිවාස වැනි විශාල ආයෝජනයන් කිරීමෙන් සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 1996 දක්වාම නිවාස මිල ගණන් අඛණ්ඩව පහත වැටීමට පටන් ගත්තේය.
ටොරොන්ටෝ කලාපීය නිශ්චල දේපළ මණ්ඩලය (TRREB) සහ කැනේඩියානු නිශ්චල දේපළ සංගමය (CREA) විසින් තබා ඇති ඓතිහාසික දත්ත දෙස බැලීමේදී, මෙම අර්බුදයේ ස්වභාවය සහ එහි පැවැති දීර්ඝකාලීන බලපෑම මනාව පැහැදිලි වේ. 1989 වසරේදී ටොරොන්ටෝහි සාමාන්‍ය නිවාස මිල ඩොලර් 273,698 ක් ලෙස සටහන් වෙමින් එවකට පැවති උපරිම අගයට ළඟා වූ අතර, එහි සාමාන්‍ය නැවත විකුණුම් මිල පැවතියේ ඩොලර් 254,197 ක් ලෙසය. කෙසේ වෙතත්, ඉන්පසු උදාවූ ආර්ථීක මන්දගාමීත්වය හමුවේ ඉදිරි වසර හත පුරාම නිවාස මිල ගණන් අඛණ්ඩව පහත වැටුණු අතර, 1996 වන විට සාමාන්‍ය නිවාස මිල ඩොලර් 198,150 දක්වා සියයට 27 කින් කඩා වැටුණි. එමෙන්ම එහි නැවත විකුණුම් මිලද ඩොලර් 195,311 දක්වා සියයට 23.2 කින් පහත වැටීම දැකගත හැකි විය.
මෙහි වඩාත් අභියෝගාත්මක තත්ත්වය වූයේ වෙළඳපොළ නැවත යථා තත්ත්වයට පත්වීමට ගත වූ අතිශය දීර්ඝ කාලයයි. මිල ගණන් අඛණ්ඩව පහත වැටීම නතර වී, වෙළඳපොළ යම් තාක් දුරකට හෝ ස්ථාවර මට්ටමකට පැමිණීමට පමණක් 1989 සිට වසර 8 ක කාලයක් ගත විය. තවද, නාමික අගයන් සැලකීමේදී මිල ගණන් නැවතත් 1989 දී පැවති ඩොලර් 275,000 සීමාව පසු කරමින් පැමිණීමට 2002 වසර තෙක් එනම් වසර 13 ක දීර්ඝ කාලයක් බලා සිටීමට සිදු විය.
එමෙන්ම උද්ධමන අගයන්ට අනුකූලව ගණනය කළ විට 1989 දී පැවති ඩොලර් 275,000 හි සැබෑ අගය පසුව ඩොලර් 610,000 කට ආසන්න විය. එම නිසා උද්ධමනයේ බලපෑමද සැලකිල්ලට ගත් විට, නිවාස වෙළඳපොළ තමන් අත්පත් කරගෙන තිබූ සැබෑ මූල්‍ය වටිනාකමට නැවත පැමිණීමට 2011 වසර තෙක්, එනම් වසර 22 ක අතිශය දීර්ඝ කාලයක් ගත විය. මෙම පිරිහීම හේතුවෙන් 1980 දශකයේ අග භාගයේදී අධික මිලට නිවාස මිල දී ගත් බොහෝ පිරිසකට, තමන් ලබාගත් ණය මුදලටත් වඩා නිවසේ වටිනාකම අඩු වන බැට්එසඩැ ැුමසඑහ තත්ත්වයට මුහුණ දෙමින්, දශකයකට ආසන්න කාලයක් දැඩි මූල්‍යමය පීඩනයකින් පසුවීමට සිදු විය.
90 දශකයේ සමාජ-දේශපාලනික පසුබිම
1996 වන විට නිවාස මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටී, නිවාස ණය පොලී අනුපාතද යම් තරමකට අඩු වී පැවතුණද, පාරිභෝගිකයන්ගේ බිඳ වැටුණු විශ්වාසය යථා තත්ත්වයට පත් නොවීම නිසා නිවාස ක්ෂේත්රයේ කිසිදු උත්තේජනයක් හෝ පිබිදීමක් දැකගත නොහැකි විය. 1995 සහ 1996 වසර දෙක දෙවන ලෝක යුද්ධයෙන් පසු කැනඩාවේ නිවාස ඉදිකරන්නන්ට මුහුණ දීමට සිදු වූ අතිශය දුෂ්කරම හා අඳුරුතම කාලපරිච්ඡේදය ලෙස ඉතිහාසයට එකතු විය. එම වකවානුවේදී සමස්ත කැනඩාව පුරාම නව නිවාස ඉදිකිරීම් ආරම්භ කිරීම් වාර්තාගත ලෙස පහත වැටුණු අතර, මැනිටෝබා 75% කින්ද, ක්විබෙක්හි 62% කින්ද, බ්‍රිටිෂ් කොලොම්බියාවේ 53% කින් සහ ඔන්ටේරියෝහි 5% කින්ද නව නිවාස ඉදිකිරීම් කඩා වැටුණි. මෙම තත්ත්වය හමුවේ ජාතික නිවාස වෙළඳපොළ සම්ප්‍රදායික ආර්ථීක විපරීතයකට (classic economic paradox) මැදි විය. පැවති ආර්ථීක අස්ථාවරත්වය සහ රැකියා අහිමි වීමේ බිය නිසා ජනතාව තමන්ගේ වියදම් කිරීම් දැඩි ලෙස සීමා කිරීමට කටයුතු කළහ. එහි ඍජු ප්‍රතිඵලයක් ලෙස සමස්ත ආර්ථීකයේ ඉදිරි ගමන තවදුරටත් මන්දගාමී වූ අතර, එම ආර්ථීක අඩපණ වීම විසින් මුලින් පැවති අවිශ්වාසය, අස්ථාවරත්වය සහ බිය තවදුරටත් ජනතාව තුළ තහවුරු කරනු ලැබීය. කැනේඩියානු නිවාස ඉදිකරන්නන්ගේ සංගමය (CHBA) පෙන්වා දුන්නේ, රජයට හෝ මහ බැංකුවට අවශ්‍ය තරම් පොලී අනුපාත පහත හෙළිය හැකි වුවද, තමන්ගේ රැකියාවේ සුරක්ෂිතභාව පිළිබඳ විශ්වාසයක් නැති සමාජයක ජනතාව නිවසක් වැනි විශාල මුදලක් වැය වන දේපළක් මිල දී ගැනීමට කිසිසේත්ම පෙළඹෙන්නේ නැති බවයි.

දේශීය වෙළඳපොළ තුළ පැවති මෙකී දැඩි මන්දගාමීත්වයට සහ අර්බුදයට මුහුණ දීම සඳහා ඇතැම් කැනේඩියානු ව්‍යාපාරිකයෝ අතිශය නව්‍ය හා විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් උපායමාර්ග අනුගමනය කිරීමට පෙළඹුණහ. මැනිටෝබා ප්‍රාන්තයේ පිහිටි Newton Enterprises නමැති සමාගම ඊට හොඳම උදාහරණයකි. දේශීයව නිවාස ඉදිකිරීම් අවම මට්ටමකට වැටී තිබූ පසුබිමක, එම සමාගම මැනිටෝබාහි සේවකයන් යොදවා කැනේඩියානු දැව භාවිතයෙන් නිවාස කොටස් (prefabricated components)ලෙස ඉදිකර, ඒවා මුහුදු මාර්ගයෙන් ජපානයට යවා එරටදී එකලස් කර විකිණීමට කටයුතු කළේය. කැනඩාවේදී ඩොලර් 70,000 ත් 80,000 ත් අතර මුදලකින් නිපදවිය හැකි වූ එම නිවසක්, ජපානයේදී එකලස් කර විකුණන විට ඩොලර් මිලියනයක් (ලක්ෂ 10 ක්) වැනි විශාල මුදලකට අලෙවි කිරීමට හැකි විය. දේශීය අර්බුදයෙන් ගොඩ ඒමට ආයතන සෙවූ මෙකී ආර්ථීක විවිධාංගීකරණය එකල මාධ්‍යවල පවා දැඩි අවධානයට ලක් විය.
1990 දශකයේ පැවති සමාජ-ආර්ථීක පසුබිම සහ සංක්‍රමණික ප්රවණතාවයන් දෙස බලන විට, එය වර්තමානයේ අප දකින අධි-සංක්‍රමණික යුගයට වඩා අතිශයින් වෙනස් ස්වරූපයක් ගත්තේය. එකල කැනඩාවට පැමිණි සංක්‍රමණිකයන් සංඛ්‍යාව මෙන්ම නිවාස මිල දී ගන්නා ප්‍රධාන වයස් කාණ්ඩය වූ අවුරුදු 25 ත් 34 ත් අතර ජනගහනයද සාපේක්ෂව පහළ මට්ටමක පැවතුණි. වර්තමානයේ මෙන් වසරකට අර්ධ මිලියනකට ආසන්න සංක්‍රමණික පිරිසක් මෙරටට ඇතුළු නොවූ අතර, එම නිසාම නගර තුළ දැඩි නිවාස සැපයුම් අර්බුදයක් හෝ සංක්‍රමණිකයන් මුල් කරගත් අධික නිවාස ඉල්ලුමක් එකල නිර්මාණය වූයේ නැත. වෙළඳපොළ මෙහෙයවීමට තරම් සංක්‍රමණික බලපෑමක් නොතිබීම නිසාම, 90 දශකයේ නිවාස මිල පහත වැටීම දීර්ඝ කාලයක් පුරා පවත්වාගෙන යාමට එයද සාධකයක් විය.

1993 සිට 2003 දක්වා දශකයකට ආසන්න කාලයක් කැනඩාවේ 20 වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ Joseph Jacques Jean Chrétien 1990 සිට 2003 දක්වා ලිබරල් පක්ෂයේ නායකත්වය ද දැරීය. වර්තමානය වන විට 92 වන වියෙහි පසුවන Jean Chrétien, දැනට ජීවත්ව සිටින කැනඩාවේ වයස්ගතම හිටපු අග්‍රාමාත්‍යවරයාද වේ.
එකල දේශපාලනික සහ රාජ්‍ය පරිපාලන තත්ත්වය සලකා බලන විට, කැනඩාවේ ෆෙඩරල් පාලනය ක්‍රියාත්මක වූයේ අගමැති Jean Chrétien යටතේ වූ ලිබරල් පක්ෂ රජය මගිනි. ඔන්ටේරියෝ ප්‍රාන්තයේ 1995 සිට බලයේ සිටියේ Mike Harris ප්රමුඛ කොන්සර්වේටිව් රජයයි. අයවැය පරතරයන් පියවීම සහ රාජ්‍ය ණය පාලනය සඳහා එකල රජයන් දැඩි ප්‍රතිපත්තිමය සුරක්ෂිත පියවර (Severe fiscal austerity) අනුගමනය කළ අතර, 1997 දී මයික් හැරිස්ගේ රජය විසින් කුලී පාලන සීමාවන් (rent controls) ඉවත් කරමින් ආයෝජකයන්ට වෙළඳපොළ විවෘත කර දීමට කටයුතු කළේය. එම තීරණයේ අතුරු බලපෑම අද දක්වාම කැනඩාවේ කුලී නිවාස වෙළඳපොළ කෙරෙහි තීරණාත්මක ලෙස බලපා ඇත.
එදිනෙදා ජීවන තත්ත්වය සහ මූල්‍යමය වටිනාකම් දෙස බලන විට, 1990 දශකයේ මුල් භාගයේ කැනඩාවේ මධ්‍යස්ථ වාර්ෂික පවුල් ආදායම පැවතියේ ඩොලර් 50,000 – 55,000 අතර මට්ටමකය. නගරයක සාමාන්‍ය ගෙවල් කුලිය ඩොලර් 750 ක් වැනි කුඩා අගයක් වූ අතර, එදිනෙදා බඩු මුට්ටු සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන්ද අදට වඩා බෙහෙවින් පහළ අගයක පැවතු‚ (නිදසුනක් ලෙස ලීටරයක පෙට්‍රල් මිල ශත 50-60 අතර විය). කෙසේ වෙතත්, සාමාන්‍ය වැටුප් හා ආදායම් මට්ටම් අඩු මට්ටමක පැවතීමත්, 1990 දී 14% දක්වා ඉහළ ගිය සහ 1994-1995 කාලයේ 7% සිට 10.5% දක්වා ඉහළ නැගුණු නිවාස ණය පොලී අනුපාතත් හේතුවෙන්, එකල ජනතාවට අඩු මුදලකට නිවසක් මිල දී ගැනීම පවා අද මෙන්ම විශාල මූල්‍යමය අභියෝගයක් විය.
1990 දශකය සහ වර්තමානය
1990 දශකයේ මුල් භාගයේ පැවති නිශ්චල දේපළ අර්බුදය සහ මෑත කාලීනව කැනඩා මහ බැංකුව විසින් සිදු කළ ශීඝ්‍ර පොලී අනුපාත වැඩිවීම් අතර යම් යම් සමානකම් දක්නට ලැබුණද, ක්ෂේත්රයේ ප්රමුඛ සංඛ්‍යාලේඛන හා ආර්ථීක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ වර්තමාන වෙළඳපොළේ මූලික පදනම එදාට වඩා ඛෙහෙවින් වෙනස් බවයි. මහ බැංකුව විසින් 2022 මාර්තු සිට 2023 ජනවාරි දක්වා වූ මාස 10 ක කෙටි කාලය තුළ ප්‍රතිපත්තිමය පොලී අනුපාතය 0.25% සිට 4.50% දක්වා එකවර 4.25% කින් (පදනම් අංක 425 කින්) ඉහළ නංවමින් ලබා දුන් ප්‍රබල ‘පොලී අනුපාත කම්පනය’ (interest rate shock) හමුවේ වුවද, 90 දශකයේ සිදුවූ ආකාරයේ දැවැන්ත හා දීර්ඝකාලීන වෙළඳපොළ කඩා වැටීමක් මෙවර සිදු නොවීමට ප්‍රධාන හේතු කිහිපයක් බලපා ඇත.
පළමුවැන්න නම්, නිවාස ණය පොලී අනුපාතවල (mortgage) පැහැදිලි වෙනසයි. 1990 වසරේදී වසර 5 ක ස්ථාවර නිවාස ණය පොලී අනුපාතය 14% ක තරම් අතිශය ඉහළ අගයක පැවති අතර, 1994-1995 කාල සීමාවේදී පවා එය 7.25% සිට 10.5% දක්වා ඉහළ අගයයන් අතර දෝලනය විය. ඊට සංසන්දනාත්මකව, වර්තමානයේ පවතින 5% ත් 6.5% ත් අතර පොලී අනුපාත මට්ටම ඓතිහාසික දත්ත හා සැසඳීමේදී සාපේක්ෂව පහළ මට්ටමක පවතින එකකි.
එමෙන්ම, 90 දශකයේදී සියයට 11 දක්වා ඉහළ ගිය දැවැන්ත විරැකියා අනුපාතය හේතුවෙන් පාරිභෝගික විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වී ගියද, වර්තමානයේ රැකියා වෙළඳපොළ සාපේක්ෂව ස්ථාවර මට්ටමක පැවතීම ජනතාවගේ මූල්‍යමය ශක්තිය ආරක්ෂා කිරීමට උපකාරී වී ඇත.
දෙවනුව, ජනගහන විද්‍යාත්මක සාධක සහ සංක්‍රමණික ප්රවණතා එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් චිත්‍රයක් මවා පෙන්වයි. 1990 දශකයේදී ප්‍රථම වරට නිවාස මිල දී ගන්නා ප්‍රධාන වයස් කාණ්ඩය වූ අවුරුදු 25 ත් 34 ත් අතර නාගරික ජනගහනය අඩු මට්ටමක පැවති අතර, එය වෙළඳපොළ මෙහෙයවීමට පැවති උනන්දුව අඩාල කළේය. නමුත් වර්තමානයේදී ෆෙඩරල් රජයේ සංක්‍රමණික ප්‍රතිපත්ති හරහා වසරකට 500,000 කට ආසන්න විශාල සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් රට තුළට පැමිණීම නිසා නිවාස සඳහා වන ඉල්ලුම නිරන්තරයෙන් ඉහළ මට්ටමක පවතී. අලුතින් පැමිණෙන පිරිසට අවශ්‍ය නිවාස ප්‍රමාණයෙන් අඩක්වත් ආවරණය කිරීමට නව නිවාස ඉදිකිරීම් අසමත් වීම නිසා, මෙම ‘දැවැන්ත සංක්‍රමණික පැමිණීම’ සහ පවතින සැපයුම් හිඟය එකතු වී නිවාස මිල ගණන් සීඝ්රයෙන් කඩා වැටීම වළක්වන ප්‍රධාන ආරක්ෂිත පලිහක් බවට පත්ව ඇත.
තෙවනුව, වෙළඳපොළ සැපයුම සහ නිවාස වර්ගයේ ස්වභාවයද බෙහෙවින් වෙනස් වී තිබේ. 1990 දශකයේදී දැකගත හැකි වූයේ මිල ගණන් තවදුරටත් පහත වැටීමට පෙර බියෙන් යුතුව නිවාස විකුණා දැමීමේ (panic selling) ප්‍රවණතාවයක් සහ වෙළඳපොළට එකවර නිවාස විශාල ප්‍රමාණයක් එකතු වීමයි. නමුත් වර්තමානයේදී සිදුව ඇත්තේ, ණය ගැනීමේ පිරිවැය වැඩිවීම නිසා ජනතාව තමන්ගේ පවතින නිවස විකුණා වෙනත් නිවසකට මාරු වීමට බියෙන් පසුවීමයි. එමගින් වෙළඳපොළේ නිවාස ලැයිස්තුගත කිරීම් සීමා වී දැඩි සැපයුම් හිඟයක් නිර්මාණය වී ඇත. එමෙන්ම, 1990 දශකය නගරාසන්න ප්‍රදේශවල පිහිටි තනි නිවාස (single detached homes) ප්රමුඛ යුගයක් වූ අතර, වර්තමාන කැනේඩියානු නිවාස වෙළඳපොළ නාගරික ජීවන රටාවකට හුරු high-rise condos සහ Apartments ව්‍යාපෘති මගින් මෙහෙයවනු ලබයි.
ඓතිහාසික පාඩම් සහ වර්තමාන යථාර්ථය
1990 දශකයේ පැවති පරිදි වසර ගණනාවක් පුරා ඇදී ගිය දීර්ඝ කාලීන මෙන්ම විනාශකාරී මිල කඩා වැටීමක් වර්තමාන නිවාස වෙළඳපොළ තුළ සිදුවීමේ ප්‍රවණතාව ඉතා අඩු බව ප්රමුඛ ආර්ථික විද්‍යාඥයින්ගේ සහ නිශ්චල දේපළ විශ්ලේෂකයින්ගේ පොදු මතයයි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ එදා පැවති සහ අද පවතින වෙළඳපොළේ මුලික පදනම එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් වීමයි.
කෙසේ වෙතත්, ඓතිහාසික අත්දැකීම් නැවත වරක් තහවුරු කරන්නේ නිශ්චල දේපළ ක්ෂේත්රය යනු කිසිදිනෙක අඛණ්ඩව එකම දිශාවකට පමණක් ගමන් නොකරන, චක්‍රීය ස්වභාවයක් ගන්නා සංකීර්ණ පද්ධතියක් බවයි. ආර්ථීක වර්ධනය, පොලී අනුපාත, උද්ධමනය සහ රජයේ ප්‍රතිපත්ති අනුව වෙළඳපොළ වරින් වර උච්චාවචනය වීම වැළැක්විය නොහැක.
1990 ‘අහිමි වූ දශකයේ’ අඳුරු අත්දැකීම් මඟින් වර්තමාන ආයෝජකයන්ට, ප්‍රථම වරට නිවාස මිල දී ගන්නන්ට මෙන්ම ගෙවල් හිමියන්ටද ලබා දෙන ප්‍රධානම පණිවිඩය වන්නේ, කෙටිකාලීන සහ ඉක්මන් ලාභ ලැබීමේ පරමාර්ථ වෙනුවට දීර්ඝ කාලීන මූල්‍ය ස්ථාවරත්වය සහ විචක්ෂණශීලී සැලසුම්කරණය වෙළඳපොළ තුළ නොනැසී පැවැත්මට අත්‍යවශ්‍ය වන බවයි.
විශේෂයෙන්ම, නිවසක් යනු හුදෙක් ආයෝජන මාධ්‍යයක් පමණක් නොව දීර්ඝකාලීන රැකවරණයක් සහ ජීවන අවශ්‍යතාවයක් බව වටහා ගැනීම වැදගත් වේ. 1990 දශකයේදී දැකගත හැකි වූ පරිදි, තමන්ට දැරිය හැකි මූල්‍ය සීමාවන් ඉක්මවා ගොස් අධික ණය බරක් සහිතව නිවාස මිල දී ගැනීමත්, පොලී අනුපාත ක්ෂණිකව ඉහළ යන අවස්ථාවලදී ඊට මුහුණ දීමට ප්‍රමාණවත් හදිසි අරමුදල් නොමැති වීමත් ඕනෑම මොහොතක පුද්ගල මූල්‍ය අර්බුදයකට මඟ පාදයි.
එබැවින්, වෙළඳපොළේ පවතින තාවකාලික පසුබැසීම් සහ අස්ථාවරත්වයන් හමුවේ වුවද තමන්ගේ නිවාස ණය වාරික අඛණ්ඩව ගෙවා දැමීමට ඇති හැකියාව තහවුරු කර ගැනීමත්, මූල්‍ය විවිධාංගීකරණය සහ අවදානම් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කිරීමත් වර්තමාන සංකීර්ණ ආර්ථීක වටපිටාව තුළ සාර්ථකත්වය සඳහා ඇති එකම මාර්ගයයි.


Gamini Abeysinghe
ඔන්ටේරියෝ නිවාස හා දේපල වෙළඳාම් සංගමයෙහි බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත
Tel: 1- 416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com

