පසුගිය දින කිහිපය පුරා ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යජාල කැළඹීමට සමත් වූ ප්‍රධාන මාතෘකාවක් වූයේ, පාසල් සිසුවෙකු සමඟ අයථා සබඳතා පැවැත්වූ බව කියන ගුරුවරියන් සිව්දෙනෙකු පිළිබඳ පුවතයි. මෙම සිදුවීමත් සමඟ සමාජය තුළ ප්‍රබල සංවාදයක් නිර්මාණය වී ඇති අතර, විශේෂයෙන්ම 18 හැවිරිදි ‘වැඩිහිටි’ සිසුවෙකු සහ ගුරුවරියක අතර පවතින මෙවැනි සබඳතාවක් නීතිය හමුවේ වරදක් ලෙස සලකන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරති.
ලොව දියුණුතම අධ්‍යාපන සහ නීති පද්ධතීන්ට හිමිකම් කියන කැනඩාව වැනි රටවල් දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ, මෙවැනි වෘත්තීය විෂමාචාරයන් සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන නීතිමය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට වඩා ඛෙහෙවින් වෙනස් මෙන්ම අතිශය දැඩි ස්ථාවරයක පවතින බවයි. ශිෂ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් පෙනී සිටින කැනේඩියානු නීතිය, ගුරු-සිසු සබඳතාවල සීමා ඉක්මවා යන්නන් හට කිසිදු සමාවක් නොදෙන අතිශය තීරණාත්මක බලපෑමක් සහිත එකක් බව නොරහසකි. ඒ් සම්බන්ධයෙන් කැනඩාවේ පවතින තත්ත්වය විමසා බලමු.
18 ඉක්මවූ පසු ගුරු-සිසු ඇසුර වරදක්ද?
කැනේඩියානු නීතියට අනුව, ලිංගික සබඳතාවක් සඳහා කැමැත්ත ලබා දිය හැකි අවම වයස් සීමාව අවුරුදු 16කි. වයස අවුරුදු 16 ට අඩු පුද්ගලයන් බාලවයස්කරුවන් ලෙස සැලකෙන අතර, ඔවුන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම බරපතළ අපරාධයකි.
කැනේඩියානු නීතියට අනුව, ගුරුවරයෙකු වැනි අධිකාරී බලයක් දරන (Position of authority) පුද්ගලයෙකු සහ සිසුවෙකු අතර සබඳතාවලදී නීතිමය වයස් සීමාව අවුරුදු 18 දක්වා ඉහළ යයි. එහෙත් සිසුවාට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පමණින් එවැනි සබඳතාවකට නීතිමය අවසරයක් හිමි නොවේ. එහිදී අධිකරණය ප්‍රධාන වශයෙන් සලකා බලනු ලබන්නේ දෙපාර්ශවය අතර පවතින විශ්වාසවන්තභාවය මත පදනම් වූ සබඳතාව (Position of trust) යන්නයි.
මෙහි ඇති විශේෂත්වය නම්, සිසුවාට වයස අවුරුදු 18 හෝ 19 සම්පූර්ණ වී තිබුණද, එම සබඳතාව වෘත්තීය විෂමාචාරයක් (Professional misconduct) ලෙස සලකා දඩුවම් පැමිණවීමට ප්‍රතිපාදන පැවතීමයි. එවැනි අවස්ථාවකදී ශිෂ්‍යයාගේ ‘කැමැත්ත’ තිබීම පමණක් එම සබඳතාව නීත්‍යනුකූල කිරීමට ප්‍රමාණවත් සාධකයක් නොවන බව අවධාරණය කළ යුතුය.
අපරාධ නීතිය සහ ‘153 වන වගන්තිය’
කැනේඩියානු අපරාධ නීති සංග්‍රහයේ 153 වන වගන්තියට අනුව, වයස අවුරුදු 18 ට අඩු දරුවෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වීම ‘ලිංගික සූරාකෑමක්’ (Sexual Exploitation) ලෙස සැලකේ. ගුරුවරයෙකු තමා යටතේ ඉගෙනුම ලබන 18 ට අඩු දරුවෙකු සමඟ ලිංගික සබඳතාවක් පැවැත්වීම වසර 14 ක් දක්වා සිරදඩුවම් ලැබිය හැකි බරපතළ වරදකි.
කෙසේ වෙතත්, ශිෂ්‍යයාට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති විට අපරාධ නඩුවක් ගොනු කිරීමේ නීතිමය ඉඩකඩ සීමිත වේ. එහිදී ගුරුවරයා සිය අධිකාරී බලය හෝ ලකුණු ලබාදීමේ බලතල අවභාවිත කරමින් ශිෂ්‍යයා පොළඹවා ගත් බවට ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් පමණක් එය ‘ලිංගික අපයෝජනයක්’ ලෙස සලකා නඩු පැවරිය හැකිය. එහිදී ගුරුවරයා වරදකරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.
මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කැනඩා අධිකරණය ක්‍රියා කරන ආකාරය පිළිබඳ මෑතකාලීන උදාහරණයක් 2021 වසරේ කැල්ගරි නගරයෙන් වාර්තා විය. එහි උසස් පාසල් ගුරුවරයෙකුට එරෙහිව ලිංගික සූරාකෑමේ චෝදනා එල්ල වූ නමුත්, වසර තුනක නඩු විභාගයකින් පසු 2024 දී අධිකරණය තීන්දු කළේ ඔහු ‘වැරදිකරු නොවන’ බවයි.
අධිකරණය මෙම නිගමනයට එළඹීමට හේතු වූයේ: අදාළ සිදුවීම වන විට ශිෂ්‍යාව වයස අවුරුදු 18 සම්පූර්ණ කළ නීත්‍යනුකූල වැඩිහිටියෙකු වී තිබීම සහ ගුරුවරයා ඇය කෙරෙහි සිය අධිකාරී බලය අයුතු ලෙස භාවිත කළ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීමයි.
වැරදිකරු වුවහොත් ලැඛෙන දඩුවම්
කැනේඩියානු අපරාධ නීතිය (Criminal Code of Canada) යටතේ යම් හෙයකින් ගුරුවරයෙකු ලිංගික සූරාකෑමේ වරදකට වැරදිකරු වුවහොත්, ඔහුට හෝ ඇයට අත්වන ඉරණම අතිශය දරුණුය:
- වෘත්තීය බලපත්‍රය අහිමි වීම: අදාළ පුද්ගලයාගේ ගුරු වෘත්තීය බලපත්‍රය සදහටම අහෝසි කරනු ලැබේ.
- සිරදඩුවම්: වරදේ ස්වභාවය අනුව දීර්ඝකාලීන සිරද~ුවම් විඳීමට සිදු වේ.
- ලිංගික අපරාධකරුවන්ගේ ලේඛනය: ඔහුගේ හෝ ඇයගේ නම ‘ලිංගික අපරාධකරුවන්ගේ ලේඛනයට’ (Sex offender registry) ඇතුළත් කරනු ලබන අතර, එය සමාජයීය වශයෙන් විශාල අපකීර්තියකි.
වෘත්තීය මරණය (Professional Death)
කැනඩාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින විශේෂත්වය වන්නේ අපරාධ නීතියටත් වඩා මෙවැනි සිදුවීමකදී ගුරු නියාමන ආයතන සක්‍රීයව සහ දැඩිව ක්‍රියාත්මක වීමයි. එහිදී ගුරුවරයෙකුට හිමිවන දරුණුතම ද~ුවම නීතිමය සිරද~ුවමකට වඩා වෘත්තීමය වශයෙන් එල්ල වන්නකි. මෙය බොහෝ විට හඳුන්වනු ලබන්නේ ‘වෘත්තීය මරණය’ (Professional Death) ලෙසයි.
කැනඩාවේ අනෙකුත් ප්‍රාන්ත හා සැසඳීමේදී, ඔන්ටාරියෝහි ‘සිසුන් ආරක්ෂා කිරීමේ පනත’ (Protecting Students Act) මගින් ක්‍රියාත්මක වන විධිවිධාන ඉතා දැඩි වේ. එහිදී ගුරු-සිසු සබඳතාවල වෘත්තීය සීමාවන් (Professional Boundaries) උල්ලංඝනය කිරීම බරපතළ වරදක් සේ සලකා දැඩි පියවර ගනු ලබයි. එම පනත යටතේ:
- ගුරු බලපත්‍රය: ශිෂ්‍යයෙකු සමඟ ලිංගික සබඳතාවක් පැවැත්වූ බව තහවුරු වුවහොත්, අදාළ ගුරුවරයාගේ ගුරු බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථීරවම අහෝසි කරනු ලැබේ.
- අසාදු ලේඛනය: වරදකරු වන ගුරුවරයාගේ නම සහ කළ වරද පිළිබඳ විස්තර ‘ගුරු විද්‍යාලීය ප්‍රසිද්ධ ලේඛනයට’ (Public Registry) ඇතුළත් කෙරේ. මෙලෙස අසාදු ලේඛනගත වීම නිසා, ඔවුන්ට ජීවිත කාලය පුරාම කැනඩාවේ කිසිදු අධ්‍යාපන ආයතනයක රැකියාවක නිරත වීමට නොහැකි වන පරිදි වෘත්තීය මාවත සම්පූර්ණයෙන්ම ඇහිරී යයි.
ඔන්ටාරියෝහි වාර්තා වූ ඇතැම් නඩුවලදී ශිෂ්‍යයාට වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබුණද, එම ශිෂ්‍යයා තවමත් අදාළ පාසලේම ඉගෙනුම ලබන්නේ නම් හෝ එම ගුරුවරයා යටතේ සෘජුව අධ්‍යාපනය ලබන්නේ නම්, එය ‘බලය අවභාවිත කිරීමක්’ ලෙස නීතිය හඳුනා ගනී. මෙහිදී අධිකරණය පෙන්වා දෙන්නේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර පවතින්නේ සමාන මට්ටමේ සබඳතාවක් නොව, එක් අයෙකු අනෙකා මත යැපෙන ‘අසමාන සබඳතාවක්’ බවයි.
පාසල් පද්ධතියේ සිටින තාක් ගුරුවරයා සතු ‘අධිකාරී බලය’ සක්‍රීයව පවතින බැවින්, එම බලය හමුවේ සිසුවා ලබා දෙන කැමැත්ත ‘නිදහස් කැමැත්තක්’ ලෙස සැලකිය නොහැකි බව නීතියේ මතයයි.
ඔන්ටාරියෝ ගුරු විද්‍යාලයේ (OCT) දැඩි විනය
මෙහි ඇති සුවිශේෂී තත්ත්වය නම්, ගුරුවරයෙකු අපරාධ නීතියෙන් (Criminal Law) නිදහස් වුවද, ගුරු විද්‍යාලය පවත්වන විනය පරීක්ෂණයකින් වැරදිකරු වීමට ඇති ඉඩකඩයි.
නිදසුනක් ලෙස, ගුරුවරයෙකු සහ 18 හැවිරිදි ශිෂ්‍යයෙකු අතර සිදුවන ලිංගික නොවන කෙටි පණිවුඩ හුවමාරුවක් හෝ පවතින ‘අනවශ්‍ය සමීපතාවක්’ පවා ‘වෘත්තීය විෂමාචාරයක්’ (Professional Misconduct) ලෙස සැලකේ. එවැනි අවස්ථාවලදී වුවද ගුරු බලපත්‍රය අහෝසි කිරීමට තරම් කැනේඩියානු බලධාරීන් දැඩි ක්‍රියාමාර්ග ගනු ලබයි.
‘කැමැත්ත’ යන තර්කය බිඳ වැටෙන හැටි
ඔන්ටාරියෝ අධිකරණ තීන්දුවල නිතර සඳහන් වන කරුණක් වන්නේ, ගුරුවරයා සතු ‘බල අසමතුලිතතාව’ (Power Imbalance) හේතුවෙන් ශිෂ්‍යයා ලබා දෙන ‘කැමැත්ත’ යන්න වලංගු නොවන බවයි. එබැවින්, “සිසුවා හෝ සිසුවිය 18 සම්පූර්ණයි, ඔවුන් කැමති වුණා” යන තර්කය කැනේඩියානු නීතිය ඉදිරියේ ගුරුවරයෙකුට ආරක්ෂක පවුරක් නොවේ.
ශ්‍රී ලංකාවේ වාර්තා වූ සිදුවීම දෙස බලනවිට, නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිසුවාගේ ‘වයස’ සහ ‘කැමැත්ත’ පිළිබඳව විවිධ තර්ක මතු විය හැකිය. එහෙත් කැනඩාවේ
අත්දැකීම් පෙන්වා දෙන්නේ ගුරුවරයෙකු සහ ශිෂ්‍යයෙකු අතර පවතින සබඳතාවයකදී ‘කැමැත්ත’ යන්න ද්විතීයික වන අතර, එහිදී ගුරුවරයා විසින් සිදුකරන වෘත්තීමය විශ්වාසය කඩකිරීම (Breach of Trust) ප්‍රමුඛ වන බවයි.
කැනඩාවේ නීතියට අනුව, 18 හැවිරිදි ශිෂ්‍යයාට මෙය නීත්‍යනුකූල ක්‍රියාවක් විය හැකි වුවත්, ගුරුවරයාට එය තම වෘත්තීය ජීවිතයේ අවසානයයි.



