හොඳයි! ටිකයි!
‘ඕනෑම දෙයක් ඕනැවට වැඩිය ඕනෑම නෑ’. මෙහෙම කතාවක් ඔබ අසා ඇති. ඇපල් සයිඩර් විනාකිරි ගැන අපි අද කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්.
මෑත කාලයේදී ඇපල් සයිඩර් විනාකිරි ‘කෝකටත් තෛලය’ මට්ටමටම කතාබහට ලක්වෙමින් පවතී. මිනිස් ශරීරවල පවතින විවිධ රෝගාබාධ සඳහා අද කාලයේ සමාජ මාධ්‍යය සහ වෙළෙන්දන් යෝජනා කරන්නේ ඇපල් සයිඩර්ය. දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනය කිරීම, ගැස්ට්‍රයිටීස් වැනි ආමාශයික ආම්ලික ගති මර්ධනය, ශරීරයේ විෂ නැසීමේ ඩෙටොක්ස්කාරකයක් ලෙස, විශේෂයෙන්ම ශරීරයේ බර අඩු කර ගැනීම ආදි කරුණු රැසක් සඳහා බොහෝ දෙනෙකු ඇපල් සයිඩර් ගැනීමට පුරුදු වී සිටිති. නමුත් මේ කියන තරමටම ඇපල් සයිඩර්වලින් සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබේද? එය සනාථ කිරීමට සාක්ෂි තිබේද? එසේත් නැතිනම් ඇපල් සයිඩර් ගැන ජනතාව තුළ ඇත්තේ මිථ්‍යා විශ්වාසයක් පමණක්ද?
අතීතයේ ඇපල් සයිඩර් භාවිතය
ඇපල් සයිඩර් අළුත් දෙයක් මෙන් හැඟුනද එහි ඉතිහාසය ශත වර්ෂ ගණනක් ඈතට දිව යයි. අතීතයේ සිට ඇපල් සයිඩර් භාවිතයට ගෙන ඇතත් එකල එය ප්‍රචාරාත්මකව සිදු නොවුණි. එහෙත් පුරාණ මිනිසුන් ඇපල් සයිඩර් භාවිත කළ බවට විවිධ සාක්ෂි ඇත. පළතුරු සහ වෙනත් ද්‍රව්‍යයන් යොදා ගනිමින් විනාකිරි සෑදීම ක්‍රි.පූ. 5000 තරම් දුරාතීතයට දිව යයි. බැබිලෝනියන්වරුන් විනාකිරි සාදා ඇත්තේ රටඉඳිවලිනි. පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් (ක්‍රි.පූ. 3000) සොයාගන්නා ලද භාජනවල විනාකිරි අපද්‍රව්‍ය කොටස් හමුවී ඇත. එසේම, ‘ඇපල්’ ඈත අතීතයේ සිටම ලෝකයේ බොහෝ රටවල පළතුරක් ලෙස ආහාරයට ගෙන ඇති නිසා ඇපල්වලින් සාදාගන්නා සයිඩර් විනාකිරි ආදිතම මිනිසුන් භාවිත කළ බව සිතිය හැක. ක්‍රිස්තු පූර්ව 3300 තරම් ඈත කාලයේ ඇපල් සයිඩර් විනාකිරි තුවාලවල විෂබීජහරණය කිරීමට සහ කෘමීන් දෂ්ට කීරීම්වලට ප්‍රතිකාර කිරීමේදී යොදාගෙන ඇති බවට සාක්ෂි පවතී. ක්‍රි.පූ. 400 දී පමණ නවීන විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටීස් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු විවිධ රෝග රැසක් මැඩ පැවැත්වීම සඳහා මී පැණි සමග ඇපල් සයිඩර් විනාකිරි ගැනීමට නියම කොට තිබූ බව සඳහන් වේ. එසේම ඇපල් සයිඩර් විනාකිරි, විකල්ප ඖෂධයක් ලෙස භාවිත කිරීම ගැන අප්‍රිකාවට සහ චීනයට දීර්ඝ ඉතිහාසයක් ඇත.
ඇපල් සයිඩර් ගැන පර්යේෂණ
වසර දහස් ගණනක් තිස්සේ විනාකිරි, ආහාර රස කිරීමට සහ කල් තබා ගැනීමට මෙන්ම තුවාල සුව කිරීමට, ආසාදනවලට එරෙහිව සටන් කිරීමට, දියවැඩියාව, අධිරුධිර පීඩනය පාලනය කිරීමට යොදාගෙන ඇතත් එහි ඖෂධීය ගුණාගුණ පැහැදිලි කිරීමට තරම් සෑහෙන පිළිතුරක් තාමත් ලැබී නැත. එසේම ඇපල් සයිඩර්වලට තම තමන්ගේ සෞඛ්‍ය යහපත් කිරීමට හැකි වූ බව නොයෙක් දෙනා අතරින් කියවුණත් මෙය පාවිච්චි කරන පුද්ගලයන්ගේ සෞඛ්‍ය ගැටලු විසඳුනේ ඇපල් සයිඩර් නිසාම යැයි නියත වශයෙන් කීමට හැකි පිළිගත හැකි සාධකත් නොමැත.
බටහිර විද්‍යාත්මක අධ්‍යයනයන් තුළ විනාකිරි ප්‍රති-ආසාදක කාරකයක් ලෙස සඳහන් නොවෙයි. එහෙත් වර්තමානයේ ඇපල් සයිඩර් ගැනීමට මිනිසුන් දක්වන උනන්දුව නිසා දැන් දැන් මේ ගැන නොයෙකුත් සොයා බැලීම් පර්යේෂණ සිදුකරමින් පවතී. මේ පිළිබඳව අදහස් දක්වන Arizona State University හි පෝෂණය පිළිබඳ මහාචාර්ය වෛi Carol Johnston පවසන්නේ, ඇපල් සයිඩර් විනාකිරිවල පවතින සෞඛ්‍ය ප්‍රකාශයන් පිටුපස කුඩා විද්‍යාත්මක සත්‍යතාවන් ඇතත් අතිශයෝක්තියෙන් ගෙන එන ඇතැම් ප්‍රකාශයන් තවමත් නිසි ලෙස අධ්‍යයනය කර නොමැති බවයි.
2009 වර්ෂයේදී ඇපල් සයිඩර් පිළිබඳ යම් පිළිගත හැකි පර්යේෂණයක් පුද්ගලයන් 175 දෙනෙකු නියැඳි ලෙස ගෙන ජපානයේදී සිදුවී ඇත. එහිදී ඇපල් සයිඩර් මේස හැඳි 0,1, 2 වශයෙන් ජලයට මිශ්‍ර කොට මේ පිරිසට බීමට දී මාස තුනක් තුළ ඇපල් සයිඩර් විනාකිරි පානය කළ පුද්ගලයන්ගේ බර පානය නොකළ පිරිසට වඩා පැහැදිලි ලෙස අඩු වී ඇති බව නිරීක්ෂණය කරගෙන ඇත. එසේම කොලෙස්ටරෝල් සම්බන්ධයෙන් වැදගත් වන ට්‍රයිග්ලිසරයිඩ් මට්ටමද ඇපල් සයිඩර් ගත් පිරිසගේ පාලනය වී ඇති බව පැහැදිලි විය.
2009 දී ජපානය විසින් තවත් පර්යේෂණයක් මීයන් යොදාගෙන සිදුකළ අතර එහිදී ඇපල් සයිඩර් විනාකිරිවල ඇති ඇසිටික් අම්ලය මේද දහනය කර මීයන්ගේ බර අඩු කිරීමටත් රුධිරයේ සීනි මට්ටම අඩු කර ඉන්සියුලින් සංවේදිතාව වැඩි කිරීමටත් සහාය දක්වන බව සොයාගෙන ඇත.
2007 දී පළමු වර්ගයේ දියවැඩියා රෝගීන් කීප දෙනෙකු යොදාගෙන සිදුකළ පර්යේෂණයකදී, ඇපල් සයිඩර් ලබා දුන් අයගේ ආහාර අමාශයේ සිට කුඩා අන්ත්‍රය දක්වා ගමන් කරන වේගය අඩු බව සොයාගන්නා ලදී. මෙය මිනිසුන් තුළ දිගු වේලාවක් කුස පිරී ඇති බව දැනීමට උපකාරී වන අතර එමගින් ගනු ලබන ආහාර ප්‍රමාණය පාලනය කළ හැකිවන නිසා ශරීරයේ බර පාලනය කිරීමට උපකාරී වේ. මෙහිදී මෙම නියැදියට තෝරාගත් පිරිසගේ කොලෙස්ටරෝල් සහ, ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම් ගැනද නිරීක්ෂණය කර තිබූ අතර ඒවායේ තත්ත්වයද යහපත් ලෙස පහත ගොස් තිබුණි. නමුත් මෙය ඍජුවම ඇපල් සයිඩර් ගැනීමේ ප්‍රතිඵලයක්ද එසේත් නැතිනම් ආහාර පරිභෝජනය අඩු කිරීම නිසා ඇති වූ තත්ත්වයක්ද යන්න පැහැදිලි නැති බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
ඇපල් සයිඩර් සහ බර
ඇපල් සයිඩර් වර්තමානයේදී බොහෝ අය ශරීරයේ බර අඩු කර ගැනීමට භාවිත කළත් එය ඒ ආකාරයෙන්ම සිදුවේද යන්න සොයා බැලිය යුතු දෙයකි. මේ පිළිබඳව අදහස් දක්වන Houston Methodist Research Institute ආමශයික රෝග විශේෂඥවරියක වූ වෛද්‍ය Neeharika Kalakota මෙසේ පවසයි. ‘මිනිසුන් සෑමවිටම බර අඩු කර ගැනීමට සහ ඔවුන්ගේ සෞඛ්‍යය සම්බන්ධ අනෙකුත් අංශ වැඩි දියුණු කර ගැනීමට පහසු ක්‍රම සොයනවා. එහිදී ඇපල් සයිඩර් විනාකිරි ගැන ඔවුන් නිරතුරුව මගෙන් විමසනු ලබනවා. මම ඔවුන්ට නිතරම කියන්නේ, ඔබට එය උත්සාහ කර බැලීමට අවශ්‍ය නම් එය කරන්න. එයින් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව යථාර්ථවාදීව සිතීම ඔබට බාරයි. නමුත් සෑම විටෙකම මෙය තනුක කර බීමට සිහි තබාගන්න.’
උතුරු අප්‍රිකානු කාන්තාවන්ගෙන් (ඇල්ජීරියා, මොරොක්කෝ, ලිබියා, ඊජිප්තු, සූඩාන්, වෙස්ටන් සහරා, ටියුනීසියා) බහුතරයක් ශරීර තරබාරුව නැති කර ගැනීම සඳහා දිනපතා ඇපල් සයිඩර් කෝප්පයක් (ජලය යොදා තනුක කරන ලද) පානය කිරීමට හුරුව සිටී.
ඇපල් සයිඩර් විනාකිරි (ACV)
තලා පොඩිකර ගන්නා ඇපල්, යීස්ට් සහ සීනි හෝ වෙනත් කාබෝහයිඩ්‍රේට් සමග මිශ්‍ර කිරීමෙන්නි ACV ෂ්පාදනයෙහි මූලික අදියර ආරම්භ කෙරේ. මෙසේ සති කිහිපයක් ස්වභාවික බැක්ටීරියා සහ යීස්ට් යුෂ පැසවීමේ ක්‍රියාවලියේදී කාබෝහයිඩ්‍රේට් මධ්‍යසාර බවට පත් වේ.
ඉන්පසුව දෙවන වරට සිදුකරන පැසවීමේ ක්‍රියාවලිය මගින් ඇල්කොහොල් ඇසිටික් අම්ලය බවට බිඳ දමනු ලබයි. එයින් විනාකිරිවල තියුණු රසය සහ සුවඳ ලබා දෙයි. එසේම මෙම පැසවීමේ ක්‍රියාවලිය තුළ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන probiotics එන්සයිමය සාදනු ලබයි. එසේ සාදන විනාකිරිවල ඇපල් යුෂවලට වඩා සැලකිය යුතු තරම් අඩු සීනි සහ කැලරි ප්‍රමාණයක් අඩංගු වේ. ඇපල් සයිඩර් වර්ගීකරණය කිරීම අපහසු සංකීර්ණ වූවකි. එහිදී ඒ සඳහා යොදා ගන්නා ඇපල් වර්ගය සහ එහි පැණි රස ප්‍රමාණය අනුව ගුණාත්මකභාවය වෙනස් වේ.
එසේම ඇපල් සයිඩර් විනාකිරි බෝතල්වල සඳහන් පෝෂණ කරුණු ලේබලයෙහි විටමින්, ඛනිජ ලවණ හෝ කැලරි ප්‍රමාණයන් ඉතාමත් අඩුවෙන් පවතින බව දැක්වේ. ඇපල් සයිඩර් විනාකිරිවල සියයට 94 ක්ම ඇත්තේ ජලය වන අතර යකඩ, කැල්සියම්, මැග්නීසියම්, සින්ක්, සෝඩියම්, සීනි සහ පොටෑසියම් කුඩා ප්‍රමාණවලින් අඩංගු වේ.
ඇපල් සයිඩර් භාවිත කළ හැකි ආකාර
ඇපල් සයිඩර්වලින් බර පාලනය කර ගැනීම පිළිබඳව ඇති වාර්තා අධ්‍යයනවල සඳහන් වන ආකාරයට දිනකට මේස හැඳි 1 ක් හෝ 2 ක් ජලය කෝප්පයකට මිශ්‍ර කර දිවා සහ රාත්‍රි ආහාර ගැනීමට පෙර ගැනීම ආරක්ෂිත බව කියවේ.
ACV ආහාර සඳහා යොදාගැනීමෙන් ප්‍රණීත රසයක් ගෙන දෙනවා මෙන්ම සලාද වැනි අමුවෙන් ආහාරයට ගන්නා කොළ ආදියෙහි විෂබීජ නැසීමටත් උපකාරී වේ.
ඔබගේ ශරීරයේ දද, තුවාල වැනි දෑ හට ගන්නේ නම් ජලයෙහි තනුක කළ ඇපල් සයිඩර් පැලැස්තරයකින් එම ප්‍රදේශය ආවරණය කර තැබීමෙන් යම් සුවයක් ඔබට ලබාගත හැක.
ශරීරයේ තුවාල සමනය කර ගැනීම සඳහා ස්නානය කිරීමේදී ජලය හා මිශ්‍ර කර ඇපල් සයිඩර් භාවිත කළ හැක. එසේම හිස කෙස් සේදීම සඳහාද සතියකට වරක් ජලය හා මිශ්‍ර කළ ඇපල් සයිඩර් යොදාගත හැක. ගෙදර දොර පිරිසිදු කිරීමේදීද වතුර කෝප්ප කීපයකට ඇපල් සයිඩර් දමා භාවිත කළ හැක. ඔබගේ බල්ලන්, පූසන් වැනි සුරතල් සතුන්ගේ සමේ ආසාදන සඳහාද ඉතාමත් සුළු ප්‍රමාණයක් ඇපල් සයිඩර් භාවිත කළ හැක.
ඇපල් සයිඩර් ගැනීමට පෙර සැලකිලිමත් වන්න
ඇපල් සයිඩර් ගුණාගුණ වෛද්‍ය විද්‍යාත්මකව සනාථ වී නැතත් එය පාවිච්චි කරන පිරිසේ කිසිදු අඩුවක් නැත. එනිසා ඔබ ඇපල් සයිඩර් ගන්නා අයෙකු නම් මතක තබාගත යුතු අනතුරු ඇඟවීම් කිහිපයක් මෙසේයි.
ඇපල් සයිඩර් අධික ආම්ලික ද්‍රවයකි. එම නිසා එය ඍජුවම පානය කිරීම හෝ වැඩිපුර පානය කිරීමෙන් උගුර සහ ආමාශය සම්බන්ධ වන නාලයට (esophagus) හානි සිදුවිය හැක. එසේම තනුක නොකළ විනාකිරි පානයෙන් දත්වල එනමලය විනාශ වී යා හැක.
ACV ඇතැම් අයට ඔක්කාරය හා අජීර්ණ ගති ඇති කළ හැක. එම නිසා කිසිසේත් හිස්බඩ මෙය පානය නොකිරීමට සිහි තබාගන්න. ඇපල් සයිඩර් පානය කිරීමෙන් පසු ඔබට යම් ආකාරයක අසනීප ගතියක් ඇතැයි දැනුණොත් එය භාවිත කිරීමෙන් වළකින්න.
විනාකිරිවල ඇති ඇසිටික් අම්ලය ඔබ භාවිත කරන ඖෂධ සමග අන්තර්ක්‍රියා කළ හැක. එම නිසා ඔබ ගන්නා ඖෂධ සමග ්ක්‍ඪ ගැනීම සුදුසුදැයි ඔබගේ වෛද්‍යවරයාගෙන් විමසා දැනගන්න. එසේම දියවැඩියාව සඳහා ඉන්සියුලින් වැනි ඖෂධ භාවිත කරන අය ඇපල් සයිඩර් ගැනීමේදී ප්‍රවේශම් වීම සුදුසුයි. ගර්භනී සහ කිරි දෙන මවුවරුන්ද ඇපල් සයිඩර් අධිකව ගැනීම සුදුසු නැත.
ඔබට පොටෑසියම් අඩු තත්ත්වයක් ඇත්නම් ACV අධික වීමෙන් එම තත්ත්වය නරක අතට හැරිය හැක. ඇපල් සයිඩර්වලට පොටෑසියම් මට්ටම විශාල ලෙස අඩු කළ හැකි බව ඔබ දැන සිටිය යුත්තකි. පොටෑසියම් අඩු වීමෙන් හෘද සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැක.
ඔබට වකුගඩු ආශ්‍රිත රෝග ඇත්නම් ACV අධික ලෙස ගැනීමෙන් වළකින්න. රෝගීව තිබෙන වකුගඩුවලට ඉහළ අම්ල මට්ටම් පාලනය කළ නොහැක.
ඇපල් සයිඩර් භාවිත කිරීමේදී එය පැස්ටරීකරණය කර ඇත්ද යන්න සොයා බැලිය යුතුයි. එසේ නොමැති වුවහොත් සැල්මොනෙල්ලා හෝ E.coli වැනි හානිකර බැක්ටීරියා ආසාදන ඔබට ඇතිවිය හැක. ප්‍රසිද්ධ වෙළද ලේබල යටතේ පැමිණෙන ඇපල් සයිඩර්වල මෙම ගැටලුව නොමැති වුවත් ඔබ සාමාන්‍ය ගොවි පොළකින් හෝ දේශීය පළතුරු වෙළඳසලකින් ඔවුන් විසින් නිපදවන ලද ඇපල් සයිඩර් මිල දී ගන්නේ නම් එම සයිඩර් නිෂ්පාදනය කළ ආකාරය පිළිබඳව විමසා දැනගන්න.