Vangelia Pandeva Gushterova යන නම ඇසුවහොත් “ඒ කවුදැ?” යි බොහෝ දෙනා විමසනු ඇත. එහෙත් Baba Vanga යැයි කියූ පමණින් ඇය ගැන නොදන්නා කෙනෙකු ඇත්නම් ඒ කලාතුරකිනි. 1996 දී වයස අවුරුදු 85 දී මිය ගිය අන්ධ බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වන්ගා ගුප්ත විද්‍යාඥවරියක ලෙස ලෝක ප්රකටව සිටි තැනැත්තියකි. Balkans හි Nostradamus යන අනවර්ථ නාමයෙන්ද බාබා වන්ගා හඳුන්වනු ලබයි.
ඇය විසින් ක්‍රි. වර්ෂ 5079 දක්වා සෑම වසරකම සිදුවන විශේෂිත සිදුවීම් පිළිබඳව අනාවැකි පළ කර ඇති නමුත් එතැනින් එහා සිදුවීම් කිසිවක් සඳහන් නොකරයි. එයට හේතුව ලෙස බාබා වන්ගා පවසා ඇත්තේ, 5079 න් එහා පෘථිවිය මත මානව වර්ගයාගේ ගමන සීමිත බවත් එම වර්ෂය අප දන්නා ශිෂ්ටාචාරයේ අවසානය සනිටුහන් කරන බවත්ය. 5079 වසර මානව වර්ගයාගේ පැවැත්මේ අවසාන ලක්ෂ්‍යය ලෙස ඇය විස්තර කර ඇතත් එම එළිදරව්ව පිටුපස ඇති යාන්ත්‍රණය පිළිබඳ නිශ්චිත තොරතුරු ලබා දී නොමැත. තවත් වසර 2000 කට මඳක් අඩු කාලයක් දක්වා දිවෙන ඇගේ මේ අනාවැකිය, ව්‍යසනකාරී ස්වභාවික විපත් සහ තාක්ෂණික බිඳ වැටීම්වල සිට පිටසක්වල මැදිහත්වීමක් වැනි බාහිර විශ්වීය බලපෑම් දක්වා විවිධ ආකාරයට අර්ථකථනවලට ඉඩ ලබා දේ.
බාබා වන්ගාගේ අනාවැකි බොහෝ විට සැබෑ වන බව දශක ගණනාවක සිට ප්‍රකාශ වන අතර මීට වසර ගණනාවකට පෙර ඇය විසින් පුරෝකථනය කර තිබූ විශාල විපත් සහ සිදුවීම් සැබෑ වන අයුරු ලෝකය විසින් දැක ඇත. ඒ නිසාම ඇයගේ අනාවැකි බැරෑරුම් ලෙස සැලකීමට බොහෝ දෙනා හුරු වී සිටීම පුදුම වීමට තරම් දෙයක් නොවේ. එක්සත් ජනපදයේ සිදුවූ 9/11 ප්‍රහාරය, 1986 දී සිදුවූ යුකරේනයේ චර්නෝබිල් ව්‍යසනය, යුක්රේනයේ රුසියානු ආක්‍රමණය, කොරෝනා වෛරසය පමණක් නොව ඩයනා කුමරියගේ මරණය ගැනද ඇය විසින් කියා සැබෑවක් වූ අනාවැකිවලට අයත් කීපයක් ලෙස සඳහන් වේ.
එහිදී 9/11 ප්‍රහාරය පිළිබඳව ඇය සඳහන් කර ඇත්තේ, “භීෂණය, භීෂණය… වානේ කුරුල්ලන්ගේ ප්‍රහාරයෙන් ඇමරිකානු සහෝදරයන් කඩා වැටෙනු ඇත. පඳුරක වෘකයන් කෑගසනු ඇත. අහිංසක ලේ ගලා යනු ඇත” යනුවෙනි. එමෙන්ම බැරැක් ඔබාමා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා බවට පත්වීම ගැන නිවැරදි අනාවැකියක්ද බාබා වන්ගාගේ ප්‍රකාශ අතර තිබුණි. එහිදී ඇය පවසා තිබුණේ, ඇමරිකාවේ 44 වැනි ජනාධිපතිවරයා කළු ජාතිකයෙකු වන අතර ආර්ථික අර්බුදයක උච්චතම අවස්ථාවේදී ඔහුගේ පැමිණීම සිදුවන බවයි. 2004 සුනාමිය ගැන ඇය පවසා තිබුණේ, මිනිසුන් සහ නගර ජලයෙන් වැසෙන විශාල රැල්ලක් 2004 අවසන් වීමට පෙර පැමිණෙන බවයි. කොරෝනා වසංගතය ගැන ඇය විසින් අනාවැකියක සඳහන් කර ඇත්තේ 1970 දීය. එහිදී, නව කිරීටක වෛරස වර්ගයක් නිසා ඇතිවන රෝගයක පැතිරීමක් ගැන ඇය සඳහන් කර ඇත. රෝගය පැතිරෙන්නේ චීනයෙන් නොව අප්‍රිකාවෙන් බව ඇය විශ්වාස කොට තිබුණි. 1984 දී සිදුවූ ඉන්දිරා ගාන්ධි ඝාතනය ගැන ඇය සඳහන් කර ඇත්තේ, ඇඳුම ඇයව විනාශ කරන බවත් දුම සහ ගින්දර අතරින් තැඹිලි-කහ ඇඳුමක් දකින බවත්ය. එසේම සිරියානු යුද්ධය පිළිබඳව ඇය පවසා ඇත්තේ, සිරියාව ජයග්‍රාහකයා පාමුල වැටෙනු ඇත, නමුත් ජයග්‍රාහකයා නිවැරදි තැනැත්තා නොවනු ඇත යනුවෙනි.
2025 අනාවැකි
බාබා වන්ගාගේ අනාවැකි පිළිබඳව සොයා බැලීමේදී ඇය විසින් ලබන්නා වූ 2025 අවුරුද්ද ගැන කියූ අනාවැකි පිළිබඳ තොරතුරු මේ දිනවල සියලුම ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රසිද්ධ මාතෘකාවක් වී ඇති බව පෙනී යයි. එම අනාවැකි අතර පැවසෙන ප්‍රධාන කරුණු කීපයක් මෙසේ දැක්විය හැක.
2025 අනාවැකි අතර, ලෝකය පුරා රටවල් සහ කලාප අතර ඇතිවිය හැකි යුද ව්‍යසන පිළිබඳව ඇයගේ අවධානය බෙහෙවින් යොමු වී ඇත. එහිදී ඇය පවසා ඇත්තේ සිරියාවෙන් පසු බටහිර සහ නැගෙනහිර අතර විශාල යුද්ධයක් බලාපොරොත්තු වන ලෙසයි. එසේම 2025 යුරෝපයේ සැලකිය යුතු ගැටුමක් ඇති වී එය විනාශකාරී ගෝලීය යුද්ධයක් දක්වා වර්ධනය වීමේ හැකියාව ඇති බවත් එවන් යුද්ධයක් මානව වර්ගයාගේ පැවැත්මට විශාල තර්ජනයක් විය හැකි බවත් ඇය අනතුරු අඟවා ඇත. ඊශ්‍රායල-පලස්තීන ගැටුම, රුසියාව-යුක්රේන යුද්ධය සහ මැද පෙරදිග පවතින නොසන්සුන්තා ඇතුළු වත්මන් භූ දේශපාලනික ආතතීන් බොහෝ විට ඇගේ මේ අනාවැකි සමග සම්බන්ධ වී ඇත. නව වසරේදී ගෝලීය සුපිරි බලවතා වීමේ ප්‍රමුඛයා ලෙස රුසියානු ජනාධිපති පූටින්ගේ නම ඇය විසින් ප්‍රකාශ කර ඇති අතර ලොව තුළ සිදුවිය හැකි කැළඹීම්වල ප්රමුඛ කාර්යභාරයක් පූටින් ඉටු කරනු ඇතැයි බාබා වන්ගාගේ සඳහනෙහි කියවෙයි.
එසේම 2025 දී විද්‍යා ප්‍රබන්ධ යථාර්ථයක් වී මනුෂ්‍යයන් හා පිටසක්වල ජීවීන් අතර සබඳතා ඇති වන බව ඇයගේ විශ්වාසයන් අතර විය. මෙම ජීවීන් මිනිසුන් සමග විවෘතව අන්තර්ක්‍රියා කරන බවත් එම පැවැත්ම කිසි විටෙකත් ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් ඇය සඳහන් කරයි. මිනිසුන් හා පිටසක්වලයන් අතර ප්‍රථම හමුව අදාළ කාලයේදී ලොව කොතැනක හෝ පවතින ප්‍රධාන ක්‍රීඩා ඉසව්වක් අතරතුර සිදුවිය හැකි බවත් ඇයගේ අනාවැකියේ සඳහන් වේ. (පිටසක්වල ජීවීන් කැමැත්තක් දක්වනු ඇත්තේ කුමන ක්‍රීඩා ඉසව්වකට විය හැකිදැයි සිතා බැලීම ඔබට භාර කරමි.) මෙම පෙරළිකාර සිදුවීම විශ්වය තුළ මනුෂ්‍යයන්ට ඇති ස්ථානය ප්‍රතිනිර්මාණය කරමින් සැලකිය යුතු කතාබහක් ඇතිකරනු ඇතැයි ඇය අපේක්ෂා කරයි.
ටෙලිපති(Telepathy) යන වචනය සාමාන්‍ය විද්‍යා කතාන්දරයක ඇති සිදුවීම්වලට වැඩි දෙයක් බවට පත්වෙන බවද ඇය 2025 පිළිබඳව පැවසූ තවත් අනාවැකියකි. ටෙලිපති යන වචනය 1882 දී නිර්මාණය වූවක් වන අතර සම්භාව්‍ය විශාරද Frederic W. H. Myers විසින් 1870-1900 කාලයේදී ලියූ ඔයැ The Invention of Telepathy ග්‍රන්ථය සමගින් එය මිනිසුන් අතරට පැමිණ ඇත. වන්ගා පවසන්නේ 2025 දී විද්‍යාඥයින් මිනිස් මනසේ තරංග උපයෝගි කර ගැනීමට නව ක්‍රමයක් සොයාගෙන එක් එක් අයගේ මනස කියවීම සැබෑවක් බවට පත්කර ගනු ඇති බවයි.
2025 වන විට වෛද්‍ය විද්‍යාවේ විශාල ප්‍රගතියක් පැමිණෙන බව ඇය අනාවැකි පළකොට ඇත. විද්‍යාගාර මගින් ජනනය කරන ලද අවයව මගින් කෘත්‍රිම අවයව බද්ධ කිරීම සංවර්ධන වීම සහ පිළිකා වැනි රෝග සඳහා නව්‍ය ප්‍රතිකාර ක්‍රම ඇති වීමෙන් වෛද්‍ය විද්‍යාවේ සැලකිය යුතු විප්ලවයක් ඇතිවිය හැකි බව ඇය පවසා ඇත. මේ නිසා සෞඛ්‍ය ආරක්ෂණය වැඩි වී ආයු අපේක්ෂාව වැඩි දියුණු විය හැකි බවත් එයින් මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් විය හැකි බවත් නව වසර සඳහා ඇයගෙන් පැවසුණු ධනාත්මක අනාවැකියකි.
පෘථිවියට ව්‍යසනකාරී දේශගුණික විපර්යාස විශාල ලෙස වැඩිවන වසරක් ලෙස ඇය 2025 පිළිබඳව පුරෝකථනය කර ඇත. මෙහිදී ඇය ගංවතුර, සුළි කුණාටු සහ මුහුදු මට්ටම ඉහළ යාම ආදි දේවල් ඉස්මතු කොට පෙන්වා ඇත.
එසේම 2025 දී ව්‍යසන මාලාවක් ආරම්භ විය හැකි බව ඇය ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ. මෙය ඇය හඳුන්වා ඇත්තේ ‘එළිදරව්වේ ආරම්භය’ (beginning of the apocalypse) ලෙසයි. එය ඇතැම් විට ගෝලීය අර්බුදයක් හෝ පිටසක්වලත් සම්බන්ධ එළිදරව්වක් හෝ විය හැකි බවත් එයින් මනුෂ්‍ය සංහතිය සම්පූර්ණයෙන් වඳ වීමක් සිදු නොවනු ඇතත් මෙම කාල පරිච්ඡේදය අවසානයේ විශාල ගෝලීය වෙනස්කම් සිදුවන අභියෝග, පෙරනිමිති සිදුවිය හැකි බවත් ඇය අනුමාන කර කියා ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් අය පවසන්නේ, 2025 ජනවාරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු පිටසක්වල ජීවීන් පිළිබඳව එක්සත් ජනපද රජය සතුව පවතින සියලුම ලිපි ගොනු මුදා හරින බවට පොරොන්දු වී ඇති නිසා මේ අනාවැකිය බොහෝ දුරට සැබෑවක් විය හැකි බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳවත් ඇය පවසා ඇති අතර, හැමෝම ඔහු කෙරෙහි බලාපොරොත්තු තැබුවත් සිදුවනු ඇත්තේ ඊට ප්‍රතිවිරුද්ධ දේ බව ඇයගේ අනාවැකියේ සඳහන් වේ. ඔහුගේ පැමිණීමෙන් පසු උතුර සහ දකුණ අතර ගැටුම් උත්සන්න වනු ඇතැයි එහි වැඩිදුරටත් කියවෙයි.
මේ කතා ඇත්තද?
බාබා වන්ගා ගේ අනාවැකි පිළිබඳව ලෝකයේ කොටසක් මෙසේ කතා කරද්දී තවත් කොටසක් මේවා සැබෑමදැයි යන ප්රශ්නය මතු කරමින් සිටී. ලෝකයේ විශාලතම සිදුවීම් කිහිපයක් පිළිබඳව පුරෝකථනය කිරීම වෙනුවෙන් බාබා වන්ගා ගෞරවයට පාත්රව ඇතත් මේ පිළිබඳව සූක්ෂ්මව ගවේෂණය කරන විශේෂඥයකු පෙන්වා දී ඇත්තේ ඇසට පෙනෙන දේට වඩා බොහෝ දේ මෙහි තිබිය හැකි බවයි.
ඒ පිළිබඳව කතා කිරීමට පෙර බාබා වන්ගා පිළිබඳව තොරතුරු බිඳක් සොයා බලමු. බල්ගේරියාවේ කුඩා නගරයක උපත ලද බාබා වන්ගා කුඩා කල ඉතා දුෂ්කර ජීවිතයක් ගත කර ඇත. ඇය කුඩා කාලයේම මව අහිමි වන අතර වයස අවුරුදු 12 දී කුණාටුවකට හසුවීමෙන් අන්ධභාවයට පත් වී ඇත. ගුප්ත විද්‍යාව පිළිබඳව විශේෂඥයකු වන Viktoria Vitanova-Kerber පවසන පරිදි දෙවන ලෝක යුද්ධ සමයේදී බාබා වන්ගා තුළින් යම් මානසික ශක්තියක් මතු වී ඇති අතර අතුරුදන් වූ සොල්දාදුවන් සොයා ගැනීමට ඇයගේ මෙම හැකියාව ප්‍රයෝජනයට ගෙන ඇත.
යුද්ධයෙන් පසු ඇයගේ කීර්තිය වර්ධනය වූ අතර බල්ගේරියාවේ සහ විදේශයන්හි පවා මිනිසුන්ගේ ආකර්ෂණයට ඇය ලක් වීමට පටන් ගෙන ඇත. 1960 ගණන් වන විට සෙනඟ ඇය වටා පෝලිම් ගැසුණේ ඔවුනගේ ගැටලුවලට ඇයගේ පිළිසරණ බලාපොරොත්තුවෙනි. 1996 දී ඇය මිය ගියත් ඇයගේ කීර්තිය නොනැසී පැවතුනි.
Viktoria Vitanova-Kerber විසින් බාබා වන්ගා පිළිබඳව කර ඇති පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ ඇයගේ අනාවැකි පිළිබඳව කිසිවක් ලේඛනගත කර නොමැති බවයි. අඩුම තරමේ දින පොතකවත් ඇගේ අනාවැකි සටහන් කරගත් කෙනෙක් නොමැත. ඔහු පවසන්නේ, “ඇය ඇත්ත වශයෙන්ම පැවසූ දේ පිළිබඳ ලිඛිත වාර්තා නොමැති තරම්ය. මෙම කිසිම තොරතුරක හිමිකම් තහවුරු කිරීමක් කළ නොහැක” යනුවෙනි.
එසේ නිල වාර්තා නොමැති නම් මේ අනාවැකි පැමිණියේ කොහෙන්ද? Vitanova-Kerber විශ්වාස කරන්නේ මෙම ප්‍රකාශයන් බොහෝ විට ඇය ජීවත්ව සිටියදී බාබා වන්ගාව බැලීමට ආ ගිය පුද්ගලයින් විසින් පවසන කරුණු විය හැකි බවයි.
අවුරුදු ගණනාවකට පසු මෙම පුද්ගලයින් නව තොරතුරු සිහිපත් කරමින් “ඔහ්… ඇය මට මේක කිව්වා… එය කිව්වා… ඇය පැහැදිලි කළා.” වැනි දේවල් කියනවා ඇතැයි ඔහු පවසයි. නිදසුනක් ලෙස යම් කියවීමක් අතරතුර බාබා වන්ගා විසින් ‘මහා අසනීපයක්’ ගැන සඳහන් කළේ නම් ඇය කෝවිඩ්-19 ගැන අනාවැකි පළ කළ බවට වසංගතය ලොවට ආ පසු මිනිසුන්ට උපකල්පනය කළ හැක.
එසේම බාබා වන්ගා සමග ජීවත් වූ ඇයගේ ලේලිය මෙම අනාවැකිවල තවත් මූලාශ්‍රයක් බව මෙම ගුප්ත විද්‍යාඥයා පවසා සිටී. බාබා වන්ගා අනාවැකි කිහිපයක් ලියා ඇති බව ලේලිය විසින් පවසන නමුත් තවමත් ඒ පිළිබඳව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කොට නැත. 2021 දී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ලේලිය පවසා ඇත්තේ, 1988 තරම් ඉහතදී බාබා වන්ගා කෝවිඩ්-19 පිළිබඳව සඳහන් කර තිබුණත් ‘නියම මොහොත’ එනතුරු එය ලොවට කීමට තමා බලා සිටිය බවකි.
රුසියානු මාධ්‍යවේදියකු වරෙක පවසා තිබුණේ බාබා වන්ගා ගේ අනාවැකි ප්‍රකාශයන් ඇතුළත් හඬ පට ඇති බවයි. නමුත් ඔහු කිසිවිටෙකත් ඒවා ප්‍රසිද්ධියේ ඉදිරිපත් කොට නැත. එම ටේප් පටවල ඇති අනාවැකි බොහොමයක් රුසියාවේ අනාගත ගෝලීය ආධිපත්‍යය පිළිබඳව සඳහන් ඒවා නිසා එම කරුණු හෙළිදරව් කිරීමේ ගැටලු පවතින බව ඔහු පවසයි.
බාබා වන්ගාගේ කීර්තිය වර්ධනය වෙත්ම විද්‍යාඥයින් විසින් කිහිප වරක්ම ඇගේ හැකියාවන් තක්සේරු කිරීමට උත්සාහ කර ඇත. 1970 ගණන්වලදී, මනෝ වෛද්‍යවරුන් සහ ස්නායු විද්‍යාඥයන්ගෙන් සමන්විත පර්යේෂණ කණ්ඩායම් ඇයව විශේෂ අධ්‍යයනයන්ට ලක් කොට ඇති අතර ඇයගේ මොළයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම සඳහා ඇගේ හිසට ඉලෙක්ට්‍රෝඩ පවා සවි කොට පරීක්ෂා කර ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ සොයා ගැනීම් අවිනිශ්චිත වී ඇත. එසේම, පර්යේෂකයින් විසින් වන්ගාගෙන් උපදෙස් ලබාගත් දහස් ගණනක් වූ පුද්ගලයින් අතරින් තෝරා ගත් අය සමීක්ෂණයට ලක් කොට ඇතත් ඒවාත් මිශ්‍ර ප්‍රතිඵල සහිත වී ඇත.
කෙසේ වෙතත් Baba Vanga ගේ අනාවැකි සත්‍ය හෝ ප්‍රබන්ධ වේවා, ඒවා මේ වන විට ලෝකයේ ජනප්‍රිය සංස්කෘතියේ කොටසක් වී ඇත. මේ වන විට මිනිසුන් සියල්ලන්ම බාබා වන්ගා පැවසූ 2025 අනාවැකි දෙස මවිත කරගත් දෑසින් බලා සිටී. මේවා සියල්ල සැබෑවක් වුවහොත් 2026 ජීවත් වීමට මනුෂ්‍ය ප්‍රාණීන් ඉතුරු වේද යන සැකයත් ඒ සමගම අප කා තුළත් ඇති වේ.
චමරි අබේසිංහ