රාත්‍රි පැහැදිලි අහසේ දර්ශණීය වර්ණ රටා මවමින් කෙරෙන චමත්කාරජනක ආලෝක සංදර්ශන මේ දිනවල කැනඩාවේ විවිධ පළාත්වලින් අසන්නට දකින්නට ලැබේ. Northern Lights එසේත් නැතිනම් Aurora borealis ලෙස හැඳින්වෙන මෙම ස්වභාවික ආලෝක ධාරාවන් පියවි ඇසින් නැරඹීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා මිනිසුන් අදාළ ප්‍රදේශ කරාත් ලොව පුරාත් සංචාරය කරති. උතුරු ආලෝකය හෙවත් අවුරෝරා බෝරියාලිස් යුගයෙන් යුගයට උතුරු භූමි ප්‍රදේශවල මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගත් ප්රකෘතික විශ්මිතයක් ලෙස හැඳින්විය හැක. මේ දිනවල උතුරු ඇමරිකාවේ අත්කර ගත හැකි අතිශය අලංකාරය මෙම ආලෝකය බවට පත් වී ඇත.
‘උතුරු ආලෝකයන්’ පෘථිවි උත්තර ධ්‍රැවය වටා ඕවලාකාර හැඩයක් සහිතව දර්ශනය වන අතර එය auroral zone ලෙස හැඳින්වේ. උතුරු නොර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය, අයිස්ලන්තය, ග්‍රීන්ලන්තය සහ කැනඩාවත් ඇමරිකාවේ ඇලස්කාවේ උතුර සහ රුසියාවේ උතුරු සයිබීරියාව යන ප්‍රදේශ මෙම කලාපයට ඇතුළත් වේ. නමුත් දකුණු යුරෝපයේ සහ එක්සත් රාජධානියේද උතුරු ආලෝකය දිස් වූ අවස්ථා වාර්තා වී ඇත. ෆින්ලන්තයේ Lapland ප්‍රදේශයට වසරකට රාත්‍රීන් 200 කදී පමණ මෙම සුන්දර දසුන දිස්වෙන අතර එහි පවතින අඩු වාතාශ්‍රිත ත්‍ය හා අඳුරු අහස් තලය නරඹන්නන්ට එහි සතුට උපරිමව විඳීමට අවස්ථාව සලසා දී ඇත. මෙම ආකාශ වර්ණ රංගනය දැකගැනීම සඳහා සෑම රාත්‍රියකම එම පළාතට විශාල සංචාරකයන් පිරිසක් ඇදී එති. Aurora බහුලව දක්නට ලැබෙන්නේ සැප්තැම්බර්, ඔක්තෝබර්, මාර්තු සහ අප්‍රේල් මාසවලය. මෙම සංසිද්ධිය දිවා හෝ රාත්‍රියේ ඕනෑම වේලාවක සිදුවිය හැකි වුවත් අඳුරු වළාකුළු නොමැති රාත්‍රියක පියවි ඇසින් එය වඩාත් සුන්දරව දැකිය හැක.
Aurora borealis නමේ උපත
17 වන සියවසේ මුල් භාගයේදී තාරකා විද්‍යාඥ ගැලීලියෝ ගැලීලි විසින් උත්තර ධ්‍රැවයට ආසන්න රටවල සිදුවන මෙම සිදුවීම Aurora borealis ලෙස නම් කර ඇත.Aurora යනු රෝම දේවතාවියක වූ අතර borealis යනු උතුරු සුළඟ හැඳින්වීම සඳහා යෙදෙන ග්‍රීක නාමයයි. මෙම වර්ණවත් Aurora ආලෝකය පිළිබඳව ගැලීලියෝගේ අදහස වූයේ වායුගෝලයෙන් පරාවර්තනය වන හිරු එළිය නිසා එය ඇති වන බවයි.
දහනව වන සියවස අගභාගයේදී ඩෙන්මාර්ක් ජාතික තාරකා භෞතික විද්‍යාඥයකු වූ Tromholt, උතුරු ආලෝකය ඇති වීමේ හේතු පිළිබඳව වැඩිදුර සොයා බැලීමට පර්යේණ සිදුකොට ඇත. 1882-1883 වැනි ඈත අතීතයේදී නෝරවේහි Kautokeino ප්‍රදේශයේ Aurora නිරීක්ෂණාගාරයක් ඔහු විසින් පිහිටුවා තිබුණි. එසේම ඡායාරූප ශිල්පියෙකුද වූ Tromholt 1885 දී උතුරු ආලෝකයේ පළමු ඡායාරූපය ගත් පුද්ගලයා ලෙසද සැලකේ. නමුත් 17 වන සියවසේ ගැලීලියෝගේ කාලයේ මෙම ආලෝකයට නමක් ලැබී ඇතත් ඊට පෙර සිටම පෘථිවියේ උත්තර ධ්‍රැවයටය Aurora ආලෝක දර්ශණ පෙනී ඇති බවට නොයෙකුත් ශාක්ෂි පවතී.
Aurora borealis හැදෙන හැටි
උතුරු ආලෝකය පැහැදිලිව දිස්වන්නේ රාත්‍රි කාලයේ වුවත් මෙය සූර්යයා විසින් ඇති කරනු ලබන සංසිද්ධියකි. සොබා දහමේ ප්‍රධානතම විශ්මිත මැවුම්කරුවා වන සූර්යයා මෙම අති සුන්දර ආලෝක ධාරාවන් පොළොවට ගෙන එන්නේ කෙසේදැයි බලමු.
පෘථිවි චුම්බක ක්ෂේත්රය සහ වායුගෝලය සමග සූර්ය සුළඟේ පවතින අන්තර් ක්රියාකාරිත්වයන් නිසා මෙම වර්ණ පදාසයන් පොළොවට දිස් වේ. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට ගලා යන සූර්යයාගේ ආරෝපිත අංශුවලින් (ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන) සූර්ය සුළඟ නිර්මාණය වේ. සූර්ය සුළඟ මගින් රැගෙන යන ආරෝපිත අංශු පෘථිවි චුම්බක ක්ෂේත්රයට, විශේෂයෙන්ම උතුරු සහ දකුණු චුම්බක ධ්රැවවලට සහ ඉහළ වායුගෝලයට ඇද දමනු ලබයි. වායුගෝලයේ ඇති වායූන් සමග අංශු ගැටෙන විට ශක්තිය නිර්මාණය වේ. මෙම ශක්තියෙන් ඇතැම් කොටසක් ආලෝක විමෝචන ස්වරූපයෙන් නිකුත් කරනු ලැබේ. මෙම ආරෝපිත අංශු, ප්‍රධාන වශයෙන් නයිට්රජන් සහ ඔක්සිජන් සංයෝග වායුගෝලයේ ඇති විවිධ වායූන් සමග ගැටෙන විට රතු, කොළ, නිල් සහ වයලට් වර්ණ නිපද වේ. මෙම වර්ණයන්ට පෘථිවි චුම්බක ක්ෂේත්‍ර රේඛා මගින් හැඩ ගැසුණු විවිධ හැඩයන් ගත හැක. එවැනි අලංකාර දර්ශණීය රටාවන් ආකාශයේ මැවෙන එක් අවුරෝරා බෝරියාලිස් සංදර්ණයකට සූර්ය සුළඟ මගින් වොට් බිලියන ගණනක විදුලිය උත්පාදනය කිරීමේ හැකියාවක් පවතී. මෙයින් විදුලි රැහැන්, ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන සහ චන්ද්‍රිකා සන්නිවේදනයට බාධා පැමිණ වූ අවස්ථා වාර්තා වී ඇත.
Aurora borealis මිථ්‍යා කතා
උතුරු ආලෝකය දිස්වන උතුරු අර්ධගෝලයේ රටවල වැසියන් විවිධ වූ මිථ්‍යා කතා මෙම ආලෝකය වටා ගොඩ නගා ඇත. විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියානු, ඇලස්කා සහ සයිබීරියාවේ ජන කොට්ඨාස සම්ප්රදායයන් තුළ මෙම ආලෝකය ගැඹුරු අර්ථයන්ගෙන් යුක්ත කථා සහ පාරම්පරික විශ්වාසයන් රැසක් ගොඩ නගා තිබේ.
වයිකින්වරුන් (Vikings) මෙම ආලෝකය සැමරුමක් ලෙස සලකා ඇත්තේ ඒවා ඔවුනගේ දෙවිවරුන්ගේ භූමික ප්රකාශනයන් යැයි විශ්වාස කරමිනි. උතුරු ස්කැන්ඩිනේවියානු ආදිවාසී ජන කොට්ඨාසයක් වන Finno-Ugric මෙම ආලෝකයට බිය වූ අතර එම ආලෝකය දිස්වීමෙන් ඇතිවිය හැකි විපත් අනතුරුවලින් ගැලවීමට සහ තමන්ව ආරක්ෂා කර ගැනීමට විවිධ පුද පූජා පැවැත්වීමට පෙළඹී ඇත. ආලෝකය දිස්වන සෑම අවස්ථාවකම ගෘහස්තව රැඳී සිටීමට ඔවුන් වගබලාගෙන ඇති අතර අහම්බෙන් හෝ එය නෙත ගැටුනහොත් කිසිදු විටෙක ප්‍රසිද්ධියේ එකිනෙකා සමග ඒ ගැන කථා කිරීමටත් බිය විය. ඔවුන් සිතුවේ එම ආලෝකය ගැන අවධානය යොමු කරන බව ආලෝකය විසින් දැනගතහොත් එය පහළට පැමිණ ඔවුන්ව අහසට ගෙන යා හැකි බවයි.
Aurora ගැන තවත් පැරණි නෝර්විජියානු අදහසකින් කියවෙන්නේ, සටනේදී මිය ගිය නිර්භීත සොල්දාදුවන්ගේ හුස්ම ඉහළ අහස් තලයේ මෙසේ දිස්නය දෙන බවයි.
ෆින්ලන්තයේ, උතුරු ආලෝකය හැඳින්වෙන්නේ Revontulet ලෙසයි. එහි තේරුම fire fox යන්නයි. ඔවුන්ට හුරුපුරුදු ආක්ටික් හිවලුන් අවුරෝරාව නිර්මාණය කිරීමට වගකිවයුත්තන් කරමින් Revontulet නාමය මෙසේ අවුරෝරාවට පටබැඳ ඇත. එක අතකින් වෙනත් රටවල විශ්වාසයන් හා සසඳන විට මෙය සුන්දර මිථ්‍යාවකි. අහසේ දිව යන හිවලුන්ගේ විශාල ලොම් සහිත වලිග කඳු මුදුන්වල ගැටී අහස ආලෝකමත් කරමින් ගිනි පුපුරු නිර්මාණය කරන බව ඔවුහු සිතූහ. කඳුවලින් ගිනි පිටවන්නට තරම් වේගයෙන් දිව යන හිවලුන් ගැන…. ඇත්තෙන්ම මෙය සුන්දර මිථ්‍යාවක් නොවේද? මෙම කතාව ඔවුන් ශීත ඍතුවේදී වෙනස් ආකාරයකින් පවසා ඇති අතර, හිම කඳුවල හිවල් වලිග වැදී හිම පියලි අහසට ගසාගෙන ගිය බවත් සඳ එළිය එම හිම පියලි අල්ලා උතුරු ආලෝකය පෘථිවියට ගෙනා බව එයින් කියවේ.
පුරාණ ග්‍රීක – රෝම මිථ්‍යා කථාවලට අනුව අවුරෝරා දෙවඟන සෑම උදෑසනකම පියාඹන අශ්වයින් බැඳි රථයක නැගී වේගයෙන් අහස හරහා ගමන් කරයි. ඇය යන්නේ නව දිනක උදාව ඇගේ සහෝදරයා වන හිරු හා සහෝදරිය වන සඳු දැනුවත් කිරීමටයි. ඒ ගමනේ වේගය නිසා අහසේ නැගෙන නෙක වර්ණ රටා මෙලෙස දිස්වන බව ග්‍රීක රෝම පුරාවෘත්තවල දැක්වේ.
යුරෝපයට දිස්වන උතුරු ආලෝකය බොහෝ විට ගැඹුරු රතු පැහැයක් ගනී. එනිසාම මෙය ඔවුන්ට දිස්වූයේ යුද්ධයක හෝ වෙනත් අන්තරායක පෙර නිමිත්තක් ලෙසය. එසේ වන්නට සාධාරණ හේතු රාශියක්ද ඔවුන් වටා ගොඩ නැගී තිබුණි. නිදසුනක් ලෙස 18 වන සියවසේ අගභාගයේදී ප්‍රංශ විප්ලවට ආරම්භ වී රාජාණ්ඩුව පෙරලා දැමීමට සති කිහිපයකට පෙර එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ අහසේ දීප්තිමත් රතු අවුරෝරාවක් දක්නට ලැබී ඇත. මේ දුටු ජනතාව භීතියට පත්ව ඇති අතර ඉදිරි යුද්ධය සහ මරණ ගැන දුන් පුරෝකථනයක් ලෙස ඔවුහු එම යුද ව්‍යසනය වන විට ඒ ගැන අදහස් දක්වා තිබුණි.
ස්කොට්ලන්ත ජාතිකයන් උතුරු ආලෝකයට Merry Dancers යන ප්‍රීතිමත් අන්වර්ථ නාමය දී ඇතත් එහි සිටි ‘නර්තන ශිල්පීන්’ නිරූපණය කළේ වීර කාව්‍යයක සටනක යෙදී විනාශ වන අහස් ශූරයන්ය.
උතුරු ඇමරිකානුවන්ගේ උතුරු ආලෝක මිථ්‍යා කථාවල නිරතුරුව ඇත්තේ ඔවුනගේ මියගිය මුතුන් මිත්තන්ගේ ආත්මයන් හා සම්බන්ධ සිදුවීය. ඇතැම් අය ඔවුන් විසින් දඩයම් කළ සතුන්ගේ ආත්මයන්ටද මෙම ආලෝකය සම්බන්ධ කරමින් කතා ගොතාගෙන ඇත.
ස්වදේශීය ඇමරිකානු කතාවල උතුරු ආලෝකය නිරූපනය කරන්නේ මෑත කාලයේ මියගිය අයගේ ආත්ම ආගාධය හරහා දීප්තිමත් සහ සමෘද්ධිමත් දේශයන්ට ගෙන යාමට පැමිණි නියෝජිත ආත්මයන් අල්වාගෙන සිටින පන්දම් ලෙසයි. උතුරු ආලෝකයෙන් විසල් ශබ්දයක් නිකුත් කෙරෙන බවත් මිනිසුන් ඊට තම කටහඬින් ප්‍රතිචාර දැක්විය යුතු බවත් ඔවුහු සිතූහ.
Eskimo ජාතිකයන් ඔවුන්ගේ මිය ගිය ඥාතීන් හා කතා කිරීමට අවුරෝරා යොදාගත හැකි බව විශ්වාස කර ඇත.
විස්කොන්සින්හි Menominee Indians වරුන් විශ්වාස කළේ රාත්‍රියේ සාගරය කළඹා මසුන් අල්ලන යෝධයන් ඒ සඳහා යොදාගත් පන්දම් ආලෝකය මෙසේ දිස්වන බවයි.
කැනඩාවේ, Manitoba පළාතේ Cree සහ Ojibway ජනයාගේ ඉගැන්වීම් තුළ පුරාණ විශ්වාසයන් මත පදනම්ව උතුරු ආලෝකයට විශේෂ තැනක් හිමි කර දී ඇත. ඔවුනගේ පාරම්පරික විශ්වාසයට අනුව උතුරු ආලෝකය යනු ආත්මයන්ගේ(spirits) ගමනකි. ඔවුනගේ මවුපියන් ඇතුළු මිය ගිය සියලු මුතුන් මිත්තන්ගේ (ancestors) ආත්මයන්ගේ සැමරුමක් මනුලොවට ගෙනහැර පෑම සඳහා මෙම ආලෝක නර්තනය පෙනෙන බව ඔවුහු විශ්වාස කරති. මෙම ආලෝකය දෙසට බුරා හැලෙන බල්ලන් දෙස බලා ඔවුන් කීවේ නැතිවූ සගයා හඳුනාගෙන ඔවුන් එසේ බුරන බවයි. එසේම මෙම ආලෝක ධාරාවන් එම ආත්මයන්ට මිනිස් ලෝකයෙන් මතු ලොවකට ගමන් කිරීම සඳහා වන ගමන් මගක් ලෙසද ඔවුහු විශ්වාස කළහ.
උතුරු ආලෝකය පෙනෙන රටවල ජීවත් වන එක් එක් ජන කොට්ඨාසවල විශ්වාසයන් විවිධාකර වුවත් සියලුම උතුරු ඇමරිකානු ස්වදේශීය ප්‍රජාවන් උතුරු ආලෝකය දැකීමෙන් සැනසීමට පත් නොවූ බව පොදුවේ පැවසිය හැක. සෑම විටම ඔවුන් සිතුවේ එය ඉතාමත් නරක පෙර නිමිත්තක දැනුම් දීමක් බවයි.
නමුත් උතුරු ඇමරිකාවේ ජීවත් වන ඔබ මම ඇතුළු සමස්ත බහුතරයකට නම් උතුරු ආලෝකය එසේත් නැතිනම් Aurora borealis කෙතරම් පෙනුණද එපා නොවන විසල් වූ සුන්දර විස්මයක්ම පමණි.