දැඩි පාලනයකින් තොරව වසර ගණනාවක් පුරා සිදුකළ කැනඩාවේ සංක්‍රමණ කටයුතු මේ වන විට පාලනය කළ යුතු මට්ටමට පැමිණ ඇතැයි රජය ප්‍රකාශ කර සිටී. අඛණ්ඩව සංක්‍රමණිකයන් පැමිණීමත් සමග ජනගහන ප්‍රතිශතයද ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳ සලකා බලා 2025 නව ස්ථිර පදිංචිකරුවන් සංඛ්‍යාව 100,000 කින් පමණ අඩු කිරීමට කැනඩාව බලාපොරොත්තු වේ.
2024 වර්ෂයේ ස්ථිර පදිංචිකරුවන් 485,000 කට කැනඩාවේ දොරටු විවර වූ අතර එය 2025 වසරේදී 395,000 ක් දක්වා අඩු කෙරෙනු ඇත. 2026 දී 380,000 ක් සහ 2027 දී 365,000 ක් දක්වා තවදුරටත් සංක්‍රමණිකයන් සීමා කිරීමට රජය මේ වන විටත් සැලසුම් සකස් කර ඇත.
2015 දී ලිබරල් රජය බලයට පත් වූ දා සිට සංක්‍රමණික මට්ටම් ඉහළ නංවනු ලැබූ අතර ඊට පෙර පැවති අගමැති Harper ගේ Conservative පක්ෂයේ අවසන් වසර තුළ කැනඩාවෙහි සංක්‍රමණික ඉලක්කය වූයේ 300,000 කට අඩුවෙනි.
මෙම නව මට්ටම් කැනඩාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමේ වැඩසටහන් විශාල සංඛ්‍යාවකට ඍජුවම බලපෑම් එල්ල කරනු ඇතැයි රජය අපේක්ෂා කරයි. විශේෂයෙන්ම රජය විසින් සරණාගත ඉල්ලීම් සඳහා නව හිමිකම් මට්ටම් ප්‍රකාශ කිරීමට අදහස් කර ඇත.
වත්මන් සංක්‍රමණ මට්ටම් තරුණයන් හා නවකයන් අතර විරැකියාව වැඩිවීම වැනි අභියෝග මතුකරමින් තිබෙන බවත් රට පුරා නිවාස සහ සෞඛ්‍ය සේවා සඳහා ඇති ඉල්ලුම පාලනය කළ නොහැකි ලෙස ඉහළ යමින් පවතින බවත් අමාත්‍ය මාර්ක් මිලර් පවසා සිටී.

 

 

 

Share this Post