ටොරොන්ටෝ නැගෙනහිර රැඳවුම් මධ්‍යස්ථානයේ සහ ලින්ඩ්සේ රැඳවුම් මධ්‍යස්ථානයේ (මධ්‍යම නැගෙනහිර පුනරුත්ථාපන මධ්‍යස්ථානය) සිටින සංක්‍රමණික රැඳවියන් විශාල පිරිසක් පසුගිය සති 2 ක කාලයක සිට උපවාසයක නිරතව සිටී. ආගමන විධිවිධාන උල්ලංඝනය කර ඇතැයි පැවසෙන මේ පිරිස රටින් පිටුවහල් කිරීමට පෙර මෙසේ රැඳවුම් භාරයට පත් කොට ඇත.
මෙම රැඳවුම් මධ්‍යස්ථාන දෙකේ සිටි රැඳවියන් 50 දෙනෙකු ඉකුත් ජූලි 11 වෙනිදා සිට ආහාර ප්‍රතික්ෂේප කරමින් මෙම උපවාසය ආරම්භ කරනු ලැබුණි. නමුත් දින කිහිපයකට පසු මින් කිහිප දෙනෙකු නැවත ආහාර ලබා ගැනීමට තීරණය කර තිබුණත් තවමත් වැඩි පිරිසක් ආහාර ප්‍රතික්ෂේප කරමින් තම ඉල්ලීම් මතම කටයුතු කරමින් සිටී.
සංක්‍රමණික රැඳවියන් මුහුණ පා සිටින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍යය ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රැල්ෆ් ගුඩේල් හමුවීමට අවශ්‍ය බව ඔවුන්ගේ මූලික ඉල්ලීමයි. කිසිදු ආරක්ෂාවක් නොමැති මෙවැනි කඳවුරුවලට සංක්‍රමණිකයන් දින 90 කට වැඩි කාලයක් රඳවා තබා ගැනීම පිළිබඳව මොවුන් දැඩි අප්‍රසාදය පළ කොට සිටී.
මෙම රැඳවියන් වෙනුවෙන් පෙනී සිටින ආගමන උපදේශකවරයකු වන මැක්ඩොනල්ඩ් ස්කොට් ‘මෙට්‍රෝ මෝනිං’ පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ අමාත්‍යවරයා හමුවීමට අවස්ථාවක් ලැබෙන තෙක් රැඳවියන් මෙම උපවාසයේ නිරත වීමට සූදානමින් පසුවන බවයි.
‘කැනඩාව වහාම ජාත්‍යන්තර සංක්‍රමණික රැඳවුම් නීති රීතිවලට අවනත වී නියමිත කාල පරිච්ඡේදයකදී සංක්‍රමණික රැඳවියන් නිදහස් කළ යුතුයි. එසේ නොමැතිව යම් විදියකින් දින 90 ක කාලයකදී තමන්ගේ මුල් රටට රැඳවියන් පිටුවහල් නොකරන්නේ නම් ඔවුන් රඳවා තබා ගැනීම්වලින් නිදහස් කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි.
ආගමන නීති උල්ලංඝනය කරන්නන් රඳවා තබා ගැනීමට මධ්‍යස්ථාන පැවතියත් මේ වන විට ඇතැම් සංක්‍රමණිකයන් මේ ආකාරයට  අධි අවදානම් බන්ධනාගාරවල රඳවා තබා ඇත. සාපරාධී පසුබිම් සහිත ප්‍රචණ්ඩ අපරාධකරුවන් රඳවා සිටින එවැනි බන්ධනාගාරවලට සංක්‍රමණික රැඳවියන් දැමීමෙන් ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමට ලක් වී ඇති බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් පවසා සිටී.
කෙසේ වුවත් මේ වන තෙක් මේ සම්බන්ධයෙන් ඇමතිවරයාගේ ප්‍රතිචාරය කෙබඳු දැයි වාර්තා වී නොමැත.

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!