ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා නව ප්‍රවණතා සහ මඟ පෙන්වීම්

වසර කිහිපයක් පුරා පැවති ශීඝ්‍ර වෙනස්වීම්වලින් අනතුරුව, 2026 වසර ‘කැනඩාවේ නිවාස වෙළඳපොළ යථා තත්ත්වයට පත්වීමේ වසරක්’ (Market Reset Year) ලෙස හැඳින්වේ. ඒ් අනුව, 2024-2025 කාලයේ පැවති අවිනිශ්චිතතාවයෙන් පසු වෙළඳපොළ වඩාත් ස්ථාවර මට්ටමකට පැමිණෙන බව ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා පෙන්වා දෙයි. අද වන විට ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් ක්‍රියාත්මක වන්නේ අධික ලෙස රත් වූ වෙළඳපොළක නොව, වඩාත් සමබර සහ කල්පනාකාරී පරිසරයකය. මෙම නව තත්ත්වය නිවැරදිව වටහා ගැනීම විශ්වාසදායක තීරණ ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ.

මිල ගණන් වල වෙනස්වීම් – Home Price Trends

විවිධ ආයතනවල පුරෝකථනයන් අනුව 2026 වසරේදී ජාතික මට්ටමින් නිවාස මිල ගණන්වල සුළු වර්ධනයක් හෝ ස්ථාවරත්වයක් අපේක්ෂා කෙරේ.

CREA (Canadian Real Estate Association) පුරෝකථනය

නිවාස මිලෙහි 3.2% ක සාමාන්‍ය වැඩිවීමක් අපේක්ෂා කරන අතර, ඒ අනුව ජාතික මට්ටමින් නිවසක සාමාන්‍ය මිල යළිත් ඩොලර් 700,000 සීමාවට ආසන්න වනු ඇත. මෙය පසුගිය වසර කිහිපය පුරාම මිල ගණන් පැවති මට්ටමට සමාන වීම විශේෂත්වයකි. සමස්ත නිවාස විකුණුම් ප්‍රමාණය 7.7% කින් ඉහළ යනු ඇතැයි CREA සඳහන් කර ඇත. ඒ අනුව 2026 වසර පුරා නිවාස ඒකක 509,479 ක් පමණ අලෙවි වනු ඇතැයි අපේක්ෂිතය. මෙය මෑත ඉතිහාසයේ වාර්තා වන ඉහළම විකුණුම් මට්ටමකි.
2025 වසරේදී බ්‍බ්‍රීටිෂ්ලොම්බියා සහ ඔන්ටාරියෝ වැනි ඉහළ වටිනාකමකින් යුත් ප්‍රදේශවල මිල ගණන් යම් ප්‍රමාණයකින් පහත වැටුණද, 2026 වසරේදී සමස්ත වෙළඳපොළ මෙහෙයවන ප්‍රධාන ප්‍රදේශ බවට පත්වන්නේද එම කලාපයන්ම බව CREA වැඩි දුරටත් ඔවුන්ගේ පුරෝකථනවල සඳහන් කර සිටී.

Royal LePage වාර්තාව

ලොව ප්‍රමුඛ පෙළේ නිවාස දේපළ වෙළඳාම් ආයතනයක් වන Royal LePage නිකුත් කළ නවතම වාර්තාවට අනුව, කැනඩාවේ නිවාස මිල ගණන් ඉදිරි වසරේදී ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි පැවසේ.
මෙම වාර්තාව පෙන්වා දෙන්නේ, 2026 සිව්වන කාර්තුව (වසර අවසානය) වන විට කැනඩාවේ නිවාස මිල ගණන් සමස්තයක් ලෙස සියයට 1  කින් වර්ධනය වනු ඇති බවයි. ඒ අනුව, ජාතික මට්ටමින් නිවසක සාමාන්‍ය මිල ඩොලර් 823,016 දක්වා ඉහළ යනු ඇතැයි ඔවුන් ගණනය කොට ඇත. එහිදී මීට පෙර පැවති වේගවත් මිල ඉහළ යාම් වෙනුවට, අලූත් වෙළඳපොළ වඩාත් ස්ථාවර සහ සමතුලිත මට්ටමකට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.
බැංකු පොලී අනුපාත ක්‍රමයෙන් පහත වැටීම නිසා, නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස (Buyers) යළිත් වෙළඳපොළට අවතීර්ණ වීම මේ මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවකි. එසේම, නිවාස සඳහා ඇති ඉල්ලූම ඉහළ ගියද, වෙළඳපොළේ ඇති නිවාස සංඛ්‍යාව සීමිත වීම නිසා මිල ගණන් පහත වැටීම වෙනුවට සුළු වශයෙන් හෝ ඉහළ යාමක් සිදු වෙතැයි Royal LePage වාර්තාව සඳහන් කරයි.
එහි සඳහන් වන ආකාරයට ටොරොන්ටෝ සහ වැන්කුවර් වැනි ප්‍රධාන නගරවල මිල ගණන් අනෙකුත් ප්‍රදේශවලට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇත. කෙසේ වෙතත්, ඇල්බර්ටා වැනි ප්‍රදේශවල පවතින සාපේක්ෂව අඩු මිල ගණන් නිසා එම ප්‍රදේශවලට පාරිභෝගික ආකර්ෂණය වැඩි වෙමින් පවතින බව සඳහන් වේ.

පොලී අනුපාත සහ මූල්‍ය තත්ත්වය Interest Rates & Mortgages

2025 වසරේ සිදුවූ වේගවත් පොලී අනුපාත කප්පාදුවෙන් පසුව, 2026 වසර යනු මූල්‍ය ලෝකයේ ‘සීරුමාරු වසරක්’ (Year of Stabilization) වනු ඇතැයි ආර්ථීක විශ්ලේෂකයෝ පවසති.

ප්‍රතිපත්තිමය පොලී අනුපාතය

2026 වසරේදී කැනඩා මධ්‍යම බැංකුව (Bank of Canada) සිය පොලී අනුපාතය 2.5% සිට 2.75% දක්වා වූ ‘උදාසීන මට්ටමකට’ (Neutral Rate) ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

  • 2024 අගභාගය: 3.75% – 4.25% මට්ටමේ පැවතිණි.
  • 2025: ක්‍රමයෙන් 3% දක්වා පහත වැටීම.
  • 2026: 2.5% සීමාවේ නතර වීම

නිවාස මිලදී ගන්නන්ට වඩාත් වැදගත් වන ස්ථාවර (Fixed) සහ විචල්‍ය (Variable) ණය අනුපාත 2026 දී පහත පරිදි වනු ඇතැයි ඒ පිළිබඳව දැක්වෙන වාර්තා සඳහන් කරයි.

වසර 5ක ස්ථාවර ණය (5-Year Fixed) –  මෙය 4.0% සිට 4.5% දක්වා වූ මට්ටමක ස්ථාවර වනු ඇත. මෙය 2023 වසරේ පැවති 6% සීමාවට වඩා සැලකිය යුතු සහනයකි.
විචල්‍ය අනුපාත (Variable Rates) මධ්‍යම බැංකු අනුපාත පහත වැටීමත් සමඟ මෙයද 4.5% – 4.8% මට්ටමට පැමිණෙනු ඇත.

විකුණුම් පරිමාව සහ නිවාස තොග – Sales & Inventory

2026 වසරේ කැනඩාවේ නිවාස වෙළඳපොළේ විකුණුම් පරිමාව සහ පවතින නිවාස තොග සම්බන්ධයෙන් CREA සහ ප්‍රධාන මූල්‍ය ආයතන නිකුත් කර ඇති නවතම දත්ත සලකා බැලීමේදී පෙනී යන්නේ, විකුණුම් ඉහළ ගියද, වෙළඳපොළට අලූතින් එක්වන නිවාස සංඛ්‍යාව (New Listings) ප්‍රමාණවත් නොවන මට්ටමක පැවතිය හැකි බවයි. 2024-2025 කාලයේදී ඉහළ පොලී අනුපාත නිසා නිවාස මිලදී ගැනීම පසෙකලා බලා සිටි පිරිස පොලී අනුපාත ස්ථාවර වීමත් සමඟ 2026 දී විශාල වශයෙන් වෙළඳපොළට අවතීර්ණ විය හැකි බවට ඔවුහු අපේක්ෂා කරති.
එසේම, අධික පිරිවැය සහ ශ්‍රම හිඟය නිසා නව නිවාස ව්‍යාපෘති අවසන් වීමට අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයක් ගත වීමෙන් නව නිවාස තොග සීමා වීමද සිදුවිය හැකි බව එහි සඳහන් වේ.
මේ සැපයුමේ හිඟය නිසා එසේත් නොමැති නම්, ‘ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැති වීමෙන්’ 2026 වසරේ විකුණුම්කරුවන්ගේ වෙළඳපොළක් (Sellerzs Market) නිර්මාණය වීමේ අවදානමක් නැවතත් ආරම්භ විය හැක.
කෙසේ වෙතත් 2026 වසරේදී විකුණුම් සහ නිවාස තොග අතර අනුපාතය (Sales to New Listings Ratio) සියයට 55 ත් – 60 ත් අතර මට්ටමක පවතිනු ඇතැයි සැලකේ. සාමාන්‍යයෙන් මෙම අනුපාතය සියයට 60 ට වඩා වැඩි වීමෙන් අදහස් වන්නේ ඉල්ලූම ඉතා ඉහළ බැවින් නිවාස මිල වේගයෙන් ඉහළ යා හැකි බවයි.
කැනඩාවේ ජනගහන වර්ධනයට සාපේක්ෂව නව නිවාස ඉදිකිරීම් තවමත් ප්‍රමාණවත් නොවන බැවින්, දිගුකාලීනව නිවාස මිල ඉහළ මට්ටමක පවතිනු ඇත.

කැනඩාවේ නිවාස වෙළඳපොළට සෘජුවම බලපාන නව මූල්‍ය ප්‍රතිපත්ති

කැනේඩියානු වැසියන්ට නිවාස මිලදී ගැනීමේදී පවතින බාධා ඉවත් කිරීම සහ වෙළඳපොළ ස්ථාවර කිරීම ඉලක්ක කරගනිමින් 2026 වසරේදී විශේෂිත නීති සහ මූල්‍ය ප්‍රතිපත්ති කිහිපයක් ක්‍රියාත්මක වීමට නියමිතයි. එයින් කිහිපයක් මෙසේය.

විදේශීය ගැනුම්කරුවන්ගේ තහනම දික් කෙරේ (Foreign Buyer Ban Extension)

දැනට පනවා ඇති විදේශිකයන්ට නිවාස මිලදී ගැනීම තහනම් කිරීමේ නීතිය 2025 ජනවාරි මාසයෙන් අවසන් වීමට නියමිතව තිබුණත්, ෆෙඩරල් රජය විසින් එය 2027 ජනවාරි දක්වා දීර්ඝ කර තිබේ. එම නීතියට අනුව, කැනේඩියානු පුරවැසියන් හෝ ස්ථීර පදිංචිකරුවන් (PR) නොවන විදේශිකයන්ට කැනඩාව තුළ නේවාසික දේපළ මිලදී ගැනීම 2026 වසර පුරාම තහනම් වනු ඇත. විදේශීය ආයෝජන නිසා නිවාස මිල අහස උසට යෑම පාලනය කර, දේශීය ගැනුම්කරුවන්ට වෙළඳපොළ තුළ වැඩි අවස්ථාවක් ලබා දීම සඳහා කැනේඩියානු රජය විසින් මෙවැනි පියවරක් ගෙන ඇත.

නිවාස ණය සුදුසුකම් පරීක්ෂාව – Mortgage Stress Test Updates

2026 වසරේදී OSFI (මූල්‍ය ආයතන අධීක්ෂණ කාර්යාලය) විසින් නිවාස ණය ලබාගන්නන්ගේ ‘ආතති පරීක්ෂාව’ (Stress Test) සම්බන්ධයෙන් යම් වෙනස්කම් සිදු කිරීමට නියමිතව ඇත.
ඒ අනුව, පොලී අනුපාත ස්ථාවර වීමත් සමඟ, ණය ගැනුම්කරුවන්ට තමන්ට දරාගත හැකි උපරිම ණය ප්‍රමාණය ගණනය කිරීමේදී වඩාත් නම්‍යශීලී ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඉඩ ඇත. කෙසේ වෙතත්, ණය බර ආදායමට වඩා වැඩි වීම (Debt Service Ratio) පාලනය කිරීමට බැංකුවලට දැඩි උපදෙස් ලැඛෙනු ඇත.

පළමු වරට නිවාස මිලදී ගන්නන් සඳහා සහන – First-Time Home Buyer Incentives

2026 වසරේදී රජය විසින් Shared-Equity වැනි වැඩසටහන් වෙනුවට, සෘජු බදු සහන සහ FHSA (First-Home Savings Account) වැනි ඉතුරුම් ක්‍රම සඳහා ඇති දායකත්ව සීමාවන් ඉහළ දැමීමට සාකච්ඡා කරමින් පවතී. මෙය තරුණ ගැනුම්කරුවන්ට වෙළඳපොළට අවතීර්ණ වීමට ලොකු අත්වැලක් වනු ඇත.

කෙටි කාලීන කුලී පදනම – Short-term Rental Regulations

Airbnb වැනි කෙටි කාලීන කුලී පදනම් ව්‍යාපාර සම්බන්ධයෙන් 2026 දී පළාත් පාලන මට්ටමින් තවදුරටත් දැඩි නීති පනවනු ඇත. නිවාස හිමියන් සිය අතිරික්ත නිවාස දිගුකාලීන පදිංචිය සඳහා කුලියට දීමට (Long-term rentals) පොළඹවා ගැනීම මෙහි අරමුණයි.
කැනඩාවේ නිවාස කෙටි කාලීන කුලී පදනම (Short-term rentals) සහ දිගුකාලීන පදිංචිය සඳහා ලබා දීමේ නව නීතිමය තත්ත්වයන් 2026 වසරේදී වඩාත් දැඩි වන බව පෙනෙන්නට තිබේ.
කැනඩාවේ පවතින නිවාස හිඟයට පිළියමක් ලෙස, රජය විසින් කෙටි කාලීන කුලී පදනම සීමා කර, ඒවා දිගුකාලීන පදිංචිය සඳහා යොමු කිරීමට දැඩි පියවර ගනිමින් සිටී. 2026 වසරේදී ක්‍රියාත්මක වන ප්‍රධාන නීතිමය වෙනස්කම් කිහිපයක් මෙසේයි:

‘ප්‍රධාන පදිංචිය’ පමණක් කෙටි කාලීන කුලියට

බ්‍රිිිිිිටිෂ්කොලොම්බියා සහ ඔන්ටාරියෝහි ටොරොන්ටෝ වැනි ප්‍රධාන නගරවල දැනටමත් ක්‍රියාත්මක වන මෙම නීතිය 2026 දී තවදුරටත් දැඩි වේ. එම නීතියට අනුව ඔබට කෙටි කාලීන කුලියට (දින 28/30 ට අඩු කාලසීමාවන් සඳහා) ලබා දිය හැක්කේ ඔබ සැබවින්ම පදිංචි වී සිටින ඔබේ ප්‍රධාන නිවස (Principal Residence) පමණි. ආයෝජනයක් ලෙස ලබාගත් අමතර නිවාස හෝ දෙවැනි නිවාස (Secondary properties), Airbnb වැනි ක්‍රමවලට ලබා දීම තහනම් වේ. එවැනි නිවාස අනිවාර්යයෙන්ම දිගුකාලීන පදිංචිය සඳහා කුලියට දීමට රජය බලපෑම් කරයි.

බදු සහන කප්පාදුව සහ දඩ මුදල් පැනවීම

2024 සිට ක්‍රියාත්මක වන ෆෙඩරල් නීතියට අනුව, නීති විරෝධී ලෙස (බලපත්‍ර රහිතව) කෙටි කාලීන කුලියට ලබා දෙන නිවාසවල නඩත්තු වියදම් (expenses) බදු ගෙවීමේදී ආදායමෙන් අඩු කිරීමට (deduct) ඉඩ නොලැබේ. මෙම බදු සහන අහිමි වීම 2026 දී ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක වනු ඇත. එසේම, බලපත්‍ර රහිතව කෙටි කාලීන කුලී පදනම පවත්වාගෙන යන්නන්ට දිනකට ඩොලර් 1,000 සිට 3,000 දක්වා ඉහළ දඩ මුදල් පැනවීමට පළාත් පාලන ආයතනවලට බලය පවරා ඇත.
එපමණක් නොව ඉදිරියේදී දිගුකාලීන පදිංචිය සඳහා කුලියට දෙන නිවාසවල මිල පාලනය කිරීමට රජය මැදිහත් වීමද සිදුවිය හැකි අතර ඔන්ටාරියෝවේ 2026 වසර සඳහා වාර්ෂික කුලිය ඉහළ නැංවිය හැකි උපරිම සීමාව (Rent Increase Guideline) 2.1% ලෙස නම් කර ඇත.
ගැනුම්කරුවන් සහ ආයෝජකයන් සඳහා උපදෙස්:

  • ඔබ 2026 වසරේදී කැනඩාව තුළ නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, අද ඔබ ගන්නා මූල්‍ය තීරණ හෙට ඔබේ ණය ගැනීමේ හැකියාව (borrowing power) තීරණය කරනු ඇත. බොහෝ දෙනෙක් කරන ලොකුම වැරැද්දක් වන්නේ නිවසක් ගැනීමට පෙර අලූත් වාහනයක් සඳහා ණය (Car Loan/Lease) ලබාගැනීමයි. මෙය ඔබේ නිවාස ණය මුදල විශාල ලෙස අඩු කිරීමට හේතු වේ.
  • නව නීති පිළිබඳව දැනුවත් වන්න: විශේෂයෙන්ම විදේශිකයන්ට පනවා ඇති තහනම සහ ආයෝජකයන්ට අලූතින් හඳුන්වා දී ඇති දැඩි මූල්‍ය කොන්දේසි ඔබේ සැලසුම්වලට බාධාවක් නොවන බව සහතික කරගන්න.
  • වෘත්තීය උපදෙස් ලබාගන්න: පොලී අනුපාත 2.5%-4.5% අතර පරාසයක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ඔබේ අවශ්‍යතාවය අනුව ස්ථාවර (Fixed) හෝ විචල්‍ය (Variable) පොලී අනුපාත තෝරා ගැනීමට මූල්‍ය උපදේශකයෙකුගේ සහාය ලබාගන්න.
  • කැනඩාවේ නිවාස වෙළඳපොළ සැමවිටම වෙනස්වන සුළු බැවින්, මෙවැනි වාර්තා සහ නවතම සංඛ්‍යාලේඛන පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම ඔබේ සාර්ථකත්වයට මඟ පාදනු ඇත.

ඔබ ප්‍රථම වරට නිවසක් මිලදී ගන්නෙකු වුවද, විශාල නිවසකට මාරු වන්නෙකු හෝ ආයෝජකයෙකු වුවද, 2026 යනු නිවැරදි දැනුම, සැලසුම් සහ වෘත්තීය උපදෙස් මත ජයග්‍රහණය තීරණය වන වසරකි. දේපළ වෙළඳාම් යනු කැනේඩියානුවන් ගන්නා වැදගත්ම මූල්‍යමය තීරණයකි. එබැවින් මෙම වෙනස් වන වෙළඳපොළ තුළ බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත්ය.
නිසි මඟ පෙන්වීම් සහිතව, ගැනුම්කරුවන්ට මෙන්ම විකුණුම්කරුවන්ටද මෙම පරිණාමය වන වෙළඳපොළ තුළ සාර්ථකත්වය ළඟා කර ගත හැකිය.
අතීතයේ පැවති අසීමිත මිල ඉහළ යාම් සහ දැඩි පොලී අනුපාතවලින් පසුව, 2026 වසර යනු කැනඩාවේ නිවාස වෙළඳපොළ වඩාත් සමතුලිත මට්ටමකට පැමිණෙන වසරක් වනු ඇත. මිල ගණන් වල සුළු වර්ධනයක් සිදුවුවද, පොලී අනුපාත ස්ථාවර වීම නිසා පාරිභෝගිකයන්ට වඩාත් පැහැදිලි මූල්‍ය සැලසුම් සකස් කර ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

 

Gamini Abeysinghe 

ඔන්ටේරියෝ නිවාස හා දේපල වෙළඳාම් සංගමයෙහි බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත

Tel: 1- 416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com

 

 
 
Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!