2026 වසරේ ආරම්භයත් සමඟ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ බදු ගෙවන්නන්, නිවාස හිමියන්, කුලී නිවැසියන් සහ සේවා යෝජකයන්ට බලපාන නව නීති සහ රෙගුලාසි කිහිපයක් ක්‍රියාත්මක වනු ඇත. ඔන්ටේරියෝ රජය, ටොරොන්ටෝ නගර සභාව සහ ෆෙඩරල් රජය මගින් හඳුන්වා දෙන මෙම නව නීති පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.
ෆෙඩරල් බදු මට්ටම්වල වෙනස්කම් (Federal tax bracket changes)
කැනඩා රජය 2026 වර්ෂය සඳහා සිය බදු ක්‍රමය (Tax Brackets) සහ විවිධ සහන මට්ටම් සකස් කිරීමේදී 2% ක උද්ධමන අනුපාතයක් (Indexation Rate) පදනම් කරගෙන ඇති බව ප්‍රකාශ වී තිබේ. මෙය බදු ගෙවන්නන්ට බලපාන ආකාරය සරලව පහත පරිදි පැහැදිලි කළ හැකිය.
බදු පරාසයන් (Tax Brackets) ඉහළ යාම
කැනඩාවේ බදු අය කිරීම ආදායම් මට්ටමට අනුව සිදුවන්නකි. උද්ධමනයට සාපේක්ෂව මෙම මට්ටම් ඉහළ නොදැමුවහොත්, උද්ධමනය නිසා ඔබේ වැටුප සුළු වශයෙන් වැඩි වුවත්, ඔබ ඉහළ බදු මට්ටමකට (higher bracket) ඇතුළත් වී වැඩිපුර බදු ගෙවීමට සිදු විය හැකිය. මෙය bracket creep ලෙස හැඳින්වේ.
සියයට 2 ප්‍රතිපත්තිය:
රජය විසින් බදු ගෙවිය යුතු ආදායම් සීමාවන් 2% කින් ඉහළ නංවයි. මෙහි ප්‍රතිඵලය වන්නේ, ඔබේ ආදායම 2% ට වඩා අඩුවෙන් වැඩි වූයේ නම්, ඔබ ගෙවිය යුතු බදු ප්‍රමාණය සාපේක්ෂව අඩු වීමයි. සෑම පුද්ගලයෙකුටම බදු රහිතව උපයා ගත හැකි නිශ්චිත ආදායම් සීමාවක් ඇත. 2026 දී මෙම සීමාවද 2% කින් ඉහළ යනු ඇත. මෙය බදු ගෙවන්නන්ට ලැඛෙන සහනයකි, මන්ද බදු අය නොකරන ආදායම් කොටස දැන් විශාල බැවිනි.
රජයේ දීමනා සහ ප්‍රතිලාභ ඉහළ යාම
උද්ධමනයට ගැලපෙන පරිදි පහත දීමනා 2% කින් පමණ වැඩි වනු ඇත.
- Canada Child Benefit (CCB): දරුවන් සඳහා ලැඛෙන දීමනාව.
- GST/HST Credit: අඩු ආදායම්ලාභීන්ට ලැඛෙන බදු පාරිතෝෂිකය.
- OAS/CPP: විශ්‍රාම වැටුප් වැනි ප්‍රතිලාභද මේ යටතේ යාවත්කාලීන වේ.
ජනතාවගේ ‘ක්‍රය ශක්තිය’ (Purchasing Power) ආරක්ෂා කිරීම මෙහි අරමුණයි. රජය 2% ක් භාවිත කරන්නේ එය කැනඩා මහ බැංකුවේ (Bank of Canada) ඉලක්කගත උද්ධමන අනුපාතය වන බැවිනි.
නව බදු මට්ටම් 2026 ජනවාරි 1 සිට ක්‍රියාත්මක වන අතර GST සහ Canada Child Benefit වෙනස්කම් 2026 ජූලි 1 සිට බලපැවැත්වේ.
රාජ්‍ය සේවකයන් නැවත කාර්යාලයට
2026 ජනවාරි 5 සිට ඔන්ටේරියෝ රාජ්‍ය සේවයේ (Ontario Public Service) සේවකයන් සතියේ දින පහේම කාර්යාලයට පැමිණ සේවය කිරීම අනිවාර්ය වේ. දැනට ක්‍රියාත්මක වන දින 3 හෝ 4 සේවා මුර ක්‍රමය මෙයින් අවසන් වේ. Ontario රජය විසින් ගනු ලැබූ මෙම තීරණය රාජ්‍ය සේවයේ මෑත කාලීන විශාලතම ප්‍රතිපත්තිමය වෙනසක් ලෙස සැලකිය හැකිය.
පහත සඳහන් ප්‍රධාන කරුණු ඇතුළු තවත් නොයෙකුත් අංශ පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇතැයි ඔන්ටේරියෝ රජය සහ ප්‍රධාන අමාත්‍ය ඩග් ෆෝඩ් පවසා ඇත.
- ඵලදායීතාවය සහ සහයෝගීතාවය: සේවකයන් එකම වහලක් යට සිට වැඩ කිරීමෙන් සන්නිවේදනය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වඩාත් කාර්යක්ෂම වන බව රජය විශ්වාස කරයි.
- නගරයේ ආර්ථීකය පණගැන්වීම: ටොරොන්ටෝ වැනි ප්‍රධාන නගරවල පිහිටි කාර්යාල වෙත සේවකයන් පැමිණීම නිසා නගරයේ ආපනශාලා, ප්‍රවාහන සේවා සහ කුඩා ව්‍යාපාරවලට වැඩි ආදායමක් ලැඛෙනු ඇත.
- මහජන සේවය: මහජනතාවට සෘජුවම සේවා සපයන ආයතනවල පූර්ණ ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම.
රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ සේවකයන් අතර මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. ප්‍රධාන වෘත්තීය සමිති පවසන්නේ මෙය සේවකයන්ගේ ‘වැඩ-ජීවිත සමබරතාවය’ (Work-Life Balance) බිඳ දැමීමක් බවයි. එසේම සතියේ දින පහේම කාර්යාලයට ඒමට සිදු වීම නිසා ප්‍රවාහන වියදම් සහ දරුවන් රැකබලා ගැනීමේ වියදම් ඉහළ යනු ඇතැයිද, ඇතැම් දක්ෂ සේවකයින් වඩාත් නම්‍යශීලී සේවා කොන්දේසි සහිත පෞද්ගලික අංශයට මාරු විය හැකි බවටද මත පළ වී ඇත.
ගොඩනැගිලි ඇතුළත උෂ්ණත්ව ප්‍රමිතීන්
ටොරොන්ටෝ නගර සභාව විසින් අනුමත කරන ලද මෙම නව නීතිය 2026 ජූනි 1 සිට ක්‍රියාත්මක වේ.
වායුසමීකරණ (A/C) පහසුකම් නොමැති මහල් නිවාස ගොඩනැගිලිවල, කුලී නිවැසියන් සඳහා සිසිල් කළ පොදු ස්ථානයක් (cooled amenity space) ලබා දිය යුතුයි.
ජූනි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ එම ස්ථානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 ට වඩා වැඩි නොවිය යුතුයි.
රැකියා ක්ෂේත්‍රයේ නව නීති
2026 ජනවාරි 1 සිට සේවකයන් 25ක් හෝ ඊට වැඩි පිරිසක් සිටින ආයතන සඳහා මෙම නව නීති වලංගු වේ.
වැටුප් විනිවිදභාවය (Pay transparency laws): ප්‍රසිද්ධියේ පළ කරන සෑම රැකියා දැන්වීමකම එම තනතුර සඳහා ගෙවන වැටුප් පරාසය සඳහන් කිරීම අනිවාර්ය වේ. මෙම පරාසයේ උපරිම සහ අවම අගයන් අතර වෙනස ඩොලර් 50,000 නොඉක්මවිය යුතුය. (වසරකට ඩොලර් 200,000 ට වැඩි වැටුප් සඳහා මෙය අදාළ නොවේ).
කැනේඩියානු පළපුරුද්ද (Canadian Experience): රැකියා දැන්වීම්වල ‘කැනේඩියානු පළපුරුද්ද අත්‍යවශ්‍යයි’ යනුවෙන් සඳහන් කිරීම හෝ අයදුම්පත්වල ඒ පිළිබඳ විමසීම තහනම් වේ. මෙය නව සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීමට විශාල සහනයක් වනු ඇත.
කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය: සේවකයින් තෝරා ගැනීමට හෝ අයදුම්පත් පරීක්ෂා කිරීමට කෘත්‍රිම බුද්ධි භාවිත කරන්නේ නම්, ඒ බව රැකියා දැන්වීමේ පැහැදිලිව සඳහන් කළ යුතුය.
සම්මුඛ පරීක්ෂණවලින් පසු ප්‍රතිචාර දැක්වීම: අවසන් සම්මුඛ පරීක්ෂණයෙන් දින 45 ක් ඇතුළත, තේරී පත් වූවාද නැද්ද යන්න පිළිබඳව අයදුම්කරුට දැනුම් දීම සේවා යෝජකයාට අනිවාර්ය වේ.
අවම වැටුප් වැඩිවීම
ඔන්ටාරියෝහි අවම වැටුප සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී උද්ධමනයට සාපේක්ෂව සංශෝධනය වේ.
- 2025 ඔක්තෝබර් 1 සිට 2026 සැප්තැම්බර් 30 දක්වා: සාමාන්‍ය අවම වැටුප පැයට ඩොලර් 17.60 කි.
- 2026 ඔක්තෝබර් 1 සිට: පාරිභෝගික මිල දර්ශකය (CPI) මත පදනම්ව තවත් වැඩිවීමක් අපේක්ෂා කෙරේ. (මෙම අගය 2026 අප්‍රේල් මාසයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇත).
ප්‍රතිචක්‍රීකරණය වැඩසටහන
2026 ජනවාරි 1 වනදා සිට ඔන්ටාරියෝ ප්‍රාන්තයෙහි අලූත් ප්‍රතිචක්‍රීකරණ පද්ධතියක් ක්‍රියාත්මක වේ.
- නිෂ්පාදකයාගේ වගකීම: ඇසුරුම් ද්‍රව්‍ය නිපදවන සමාගම් විසින්ම එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ සම්පූර්ණ පිරිවැය සහ වගකීම දැරිය යුතුය.
- පොදු නීති මාලාවක්: ප්‍රාන්තයේ කුමන නගරයක ජීවත් වුවද, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය ලැයිස්තුව (Standardized material list) මුළු ප්‍රාන්තයටම එක හා සමාන වේ.
රියදුරු බලපත්‍ර අලූත් කිරීමේ නව නීති
2026 ජනවාරි සිට වැඩිහිටි රියදුරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැනඩාව පුරා නව රෙගුලාසි ක්‍රියාත්මක වේ.
- අලූත් කිරීමේ කාලසීමාව: වයස අවුරුදු 75 – 79 වැඩිහිටියන් සෑම වසර දෙකකට වරක් බලපත්‍රය අලූත් කළ යුතුය.
- වයස අවුරුදු 80 සහ ඉහළ: සෑම වසරකම (Annual) බලපත්‍රය අලූත් කිරීම අනිවාර්ය වේ.
- වෛද්‍ය පරීක්ෂණ: වයස 75 ට වැඩි අයට මතකය පරීක්ෂා කිරීම (Cognitive screening) සහ පෙනීම පරීක්ෂා කිරීමේ (Vision test) ප්‍රමිතීන් දැඩි කර ඇත. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ රිය පැදවීමේ හැකියාව පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරේ.
- වෛද්‍ය වාර්තා : වෛද්‍යවරුන් විසින් රිය පැදවීමට බාධාවක් විය හැකි සෞඛ්‍ය ගැටලූ (හෘද රෝග, මතකය අඩුවීම වැනි) පවතී නම්, ඒ බව රජයට දැනුම් දීම වඩාත් විධිමත් කර ඇත.
ඔන්ටේරියෝ ගිනි ආරක්ෂණ කේතයේ වෙනස්කම්
ඔන්ටේරියෝ රජය විසින් ගෙන එන ලද මෙම සංශෝධනය, නිවාස තුළ සිදුවන අනතුරුදායක CO වායු කාන්දුවීම්වලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ගනු ලැබූ ඉතා වැදගත් පියවරකි. කාබන් මොනොක්සයිඩ් යනු සුවඳක්, රසක් හෝ පෙනුමක් නැති, නමුත් මාරාන්තික වායුවකි.
2026 ජනවාරි 1 සිට ඒ සඳහා ක්‍රියාත්මක වන දැඩි නීති රීති මෙසේය: පහත දැක්වෙන විශේෂ සහිත සෑම නිවසකම මෙම CO alarm උපකරණ සවි කර තිබීම අනිවාර්ය වේ:
- ඉන්ධන දහනය වන උපකරණ: ගෑස් ලිප් (Gas stoves), ගෑස් ජල තාපක (Water heaters), ෆර්නස් (Furnaces) හෝ දර උඳුන් (Wood stoves) ඇති නිවෙස්.
- ගිනි උඳුන් (Fireplaces) නිවස ඇතුළත දර හෝ ගෑස් භාවිතයෙන් ක්‍රියාකරන ගිනි උඳුන් තිබීම.
- සම්බන්ධිත ගරාජ (Attached Garages): නිවසටම සම්බන්ධ කර ඇති වාහන ගරාජයක් තිබේ නම්, වාහනවල දුම නිවස තුළට පැමිණීමේ අවදානම ඇති බැවින් මෙය අනිවාර්ය වේ.
නව නීතියට අනුව උපකරණ පිහිටවිය යුතු නිශ්චිත ස්ථාන මෙසේය.
නිවස මහල් කිහිපයකින් යුක්ත නම්, සෑම මහලකම අවම වශයෙන් එක් CO alarm උපකරණයක්වත් තිබිය යුතුය (බිම් මහලද ඇතුළුව).
නිවසේ නිදන කාමර පිහිටි ප්‍රදේශයේ, කාමරවලින් පිටතට ඇසෙන සේ මෙය සවි කළ යුතුය. එවිට නින්දේදී වායු කාන්දුවක් සිදුවුවහොත් අනතුරු ඇඟවීමේ ශබ්දයට අවදි විය හැකිය.
නීතිය කඩ කළහොත්
දඩ මුදල්: නිවාස හිමියන් හෝ කුලී නිවාස පවත්වාගෙන යන්නන් මෙම උපකරණ සවි කර නොමැති බව පරීක්ෂාවලදී හෙළි වුවහොත් අධික දඩ මුදල්වලට යටත් විය හැකිය.
රක්ෂණ ගැටලූ: අනතුරක් සිදු වූ අවස්ථාවක නිවසේ නියමිත පරිදි CO alarm උපකරණ නොතිබුණේ නම්, රක්ෂණ වන්දි (Insurance claims) ලබා ගැනීම දුෂ්කර විය හැකිය.
ජල සහ අපද්‍රව්‍ය ගාස්තු ඉහළට
ටොරොන්ටෝ නගර සභාව විසින් 2026 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල සහ කසළ කළමනාකරණ ගාස්තු 3.75% කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත.
නිදහස් වෙළඳ සහ කම්කරු සංචලන පනත (Free Trade and Labour Mobility in Canada Act)
2026 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන මෙම නව පනත (Bill C-5 හි කොටසකි) මගින් කැනඩාවේ පළාත් අතර පවතින වෙළඳ සහ රැකියා බාධක ඉවත් කිරීමට බලාපොරොත්තු වේ.
වෘත්තීය සහතික පිළිගැනීම:
යම් පළාතක (උදා: ඔන්ටාරියෝ) වෘත්තීය බලපත්‍රයක් හෝ සහතිකයක් ඇති අයෙකුට, වෙනත් පළාතක එම වෘත්තියේම නියැලීමට ඇති බාධා ඉවත් වේ. උදාහරණයක් ලෙස, ඔන්ටාරියෝහි ලියාපදිංචි ඉඩම් මැනුම්කරුවෙකුට ෆෙඩරල් ව්‍යාපෘති සඳහා වෙනත් පළාත්වල වැඩ කිරීමට පහසු වේ.
නිෂ්පාදන ප්‍රමිති සමාන කිරීම:
යම් භාණ්ඩයක් එක් පළාතක ප්‍රමිතීන්ට අනුකූල නම්, එය මුළු කැනඩාවේම ප්‍රමිතීන්ට අනුකූල ලෙස පිළිගනු ලැබේ. උදාහරණයක් ලෙස, ඔන්ටාරියෝහි බලශක්ති කාර්යක්ෂමතා ප්‍රමිතීන්ට (Energy efficiency) අනුකූල රෙදි සෝදන යන්ත්‍රයක් කැනඩාව පුරාම අලෙවි කිරීමට සහ භාවිතයට අමතර ෆෙඩරල් අනුමැතියක් අවශ්‍ය නොවේ.


