NASA’s Space Launch System rocket launches carrying the Orion spacecraft with NASA astronauts Reid Wiseman, commander; Victor Glover, pilot; Christina Koch, mission specialist; and CSA (Canadian Space Agency) astronaut Jeremy Hansen, mission specialist on NASA’s Artemis II mission, Wednesday, April 1, 2026, from Operations and Support Building II at NASA’s Kennedy Space Center in Florida. NASA’s Artemis II mission will take Wiseman, Glover, Koch, and Hansen on a 10-day journey around the Moon and back aboard SLS rocket and Orion spacecraft launched at 6:35pm EDT from Launch Complex 39B. Photo Credit: (NASA/Bill Ingalls)

පසුගිය වසර 58 තුළ මානව වර්ගයා විශාල වෙනසකට ලක්ව ඇත. තාක්ෂණය, සන්නිවේදනය සහ අප ලෝකය දකින ආකාරය මුළුමනින්ම උඩුයටිකුරු වී හමාරය. එහෙත් අපේ අසල්වැසි සඳ? එය එතරම් වෙනස් වී නැත. නිහඬ, අකම්පිත සහ අභිරහස් පෙනුමකින් යුතුව එය අදත් පෘථීවිය දෙස බලා සිටියි.

පෘථීවිවාසීන් ප්‍රථම වරට සඳට ආසන්න වූයේ 1968 වසරේදීය. එකල තිබූ බියකරුම කනස්සල්ල වූයේ, සඳ වෙත යාමෙන් සඳ විනාශ වී යනු ඇත යන්නයි. එහෙත් අද අපේ අරමුණ සඳ විනාශ කිරීම නොව, එහි ජනාවාස තනා අඟහරු වෙත යන මාවත විවර කර ගැනීමයි.

එසේම, 1969 නීල් ආම්ස්ට්‍රොන් සහ ඇපලෝ කණ්ඩායම සඳට යද්දී, විද්‍යාඥයන් තුළ තිබූ ලොකුම බියක් වූයේ සඳේ ඇති දූවිලි (Lunar dust) මගින් පෘථීවි ජීවීන් අනතුරේ වැටේවිද යන්නයි. එහෙත් අද අපේ අභියෝග වෙනස්ය. දීර්ඝකාලීන අභ්‍යවකාශ විකිරණවලින් (Radiation) ගගනගාමීන් ආරක්ෂා කරගන්නේ කෙසේද, සඳේ දකුණු ධ්‍රැවයේ ඇති අයිස්, පානීය ජලය සහ රොකට් ඉන්ධන ලෙස ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? යන්න අද අපේ ප්‍රධාන ගැටලු වී ඇත.

මානව ඉතිහාසයේ අභ්‍යවකාශ විජයග්‍රහණයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වූයේ මීට දශක කිහිපයකට පෙරය. 1961 දී සෝවියට් දේශයේ යුරි ගගාරින් පෘථීවි වායුගෝලයෙන් ඔබ්බට ගිය ප්‍රථම මිනිසා ලෙස ඉතිහාසගත වෙද්දී, අභ්‍යවකාශය ජයගත හැකි බව ලොවටම ඔප්පු විය. ඉන් වසර කිහිපයකට පසු, එනම් 1968 නත්තල් සමයේදී ෆ්‍රෑන්ක් බෝමන් ඇතුළු Apollo 8 කණ්ඩායම පෘථීවි කක්ෂයෙන් මිදී සඳ වෙත ගිය ප්‍රථම මිහිතල වැසියන් ලෙස ඉතිහාසයට එක් විය. මෙය මිනිසෙකු රැගත් රොකට්ටුවක් පෘථීවියේ ගුරුත්වාකර්ෂණයෙන් සම්පූර්ණයෙන් මිදී වෙනත් ග්‍රහ වස්තුවක් වෙත ගිය ප්‍රථම අවස්ථාවයි.

ඔවුන් සඳ මත පා නොතැබුවද, සඳ වටා ගමන් කරමින් එහි ඈත පැත්ත (Far Side) සියැසින් දුටු ප්‍රථම මානවයන් බවට පත් විය. විශේෂයෙන්ම බෝමන්ගේ කණ්ඩායම සඳ වටා යද්දී එහි  ක්ෂිතිජයෙන් පෘථීවිය මතු වන අයුරු දැක ලබාගත් (Earthrise) (පෘථීවියේ උදාව) ඡායාරූපය, මානව ඉතිහාසයේ පෘථීවිය පිළිබඳ අප සතු දැක්ම මුළුමනින්ම වෙනස් කළේය.

ඉන් වසරකටත් අඩු කාලයකදී, එනම් 1969 දී නීල් ආම්ස්ට්‍රොන් සඳ මත තම පළමු පා සටහන තබමින් පැවසූයේ එය “මිනිසෙකු තැබූ කුඩා පියවරක් වුවද, මානව වර්ගයා තැබූ දැවැන්ත පිම්මක්” බවයි.

 

දශක පහක නිහඬතාව බිඳිමින් යළි සඳට යන ‘මහා පිම්ම’

එදා ඇපලෝ යුගයේ තිබූ ඒ නොනිමි කුතුහලය සහ අවදානම, අද වන විට Artemis වැනි නවීන මෙහෙයුම් හරහා යළිත් පණ ලබා ඇත. එදා සහ අද අතර වෙනස වන්නේ අප දැන් යන්නේ හුදෙක් සඳ මත ඇවිද එන්නට පමණක් නොව, එහි ස්ථීරව රැඳී සිටීමට අවශ්‍ය ශක්තිය සහ දැනුම ඇතිව වීමයි.
මීට දින කිහිපයකට පෙර කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කළ Artemis II මෙහෙයුම, වසර 50 කට අධික කාලයකට පසු සඳ බලා යන ප්‍රථම මානව මෙහෙයුම ලෙස ඉතිහාසයට එක්ව ඇත.

මෙම මෙහෙයුමේ ඇති සුවිශේෂීත්වය වන්නේ එය හුදෙක් ගමනක් පමණක් නොවීමයි. මෙහි ගමන් ගන්නා ගගනගාමීන් සිව්දෙනා Reid Wiseman, Victor Glover, Christina Koch, සහ කැනේඩියානු අභ්‍යවකාශ ජන්සියේ නවක ගගනගාමී Jeremy Hansen නියෝජනය කරන්නේ නවීන මානව වර්ගයාගේ විවිධත්වය සහ අභිමතාර්ථයන්ය.

NASA සඳ මෙහෙයුම්

එදා බියෙන් සලිත වූ, යුද්ධයෙන් හෙම්බත් වූ ලෝකයක් දෑතින් දරාගෙන මිනිසා සඳ ජය ගැනීමට ගියේය. අද, අඩ සියවසකට පසු නැවතත් මානව වර්ගයා ඒ හා සමානවම හෝ ඊටත් වැඩියෙන් යුද්ධයෙන් හෙම්බත් වූ ලෝකයක් දරාගෙන ඒ සඳ ජයග්‍රහණය අලුත් කිරීමට සැරසෙයි.
ඇපලෝ 8 මෙහෙයුමට පැතිකඩ දෙකක් තිබුණි. ආරක්ෂිත ක්‍රමය වූයේ සඳ වටා ‘වටයක්’ දමා (slingshot) පෘථීවියට ඒමයි. නමුත් නාසා ආයතනය තෝරා ගත්තේ බියකරු දෙවන ක්‍රමයයි. එනම් සඳ වටා කක්ෂගත වීමයි. යානයේ ප්‍රධාන එන්ජිම දෙවන වරට පණ ගැන්වීමට අපොහොසත් වුවහොත්, එහි නියමුවන් වන Frank Borman, Jim Lovell සහ  William Anders හට සිදුවන්නේ සඳ වටා කැරකෙන ‘සදාකාලික සොහොන් ගැබක’ (Sarcophagus) සිරවී මිය යන්නටය.

1968 නත්තල් සැන්දෑවේ, මුළු ලෝකයාම රූපවාහිනී තිර අසලට රොක් වූහ. ෆ්‍රෑන්ක් බෝමන්, ජිම් ලොවෙල් සහ බිල් ඇන්ඩර්ස් තිදෙනා සඳෙහි පිටුපස අඳුරු සහ සීතල මතුපිට පෙන්වමින් මිනිත්තු 27 ක විස්තරයක් ඉදිරිපත් කළහ. අවසානයේ, මුළු විශ්වයම නිහඬ කරවමින් ඔවුන් බයිබලයේ ‘උත්පත්ති පොතේ’ (Book of Genesis)  කොටස් මාරුවෙන් මාරුවට කියවන්නට වූහ.

“ඇපලෝ 8 කණ්ඩායමේ අප සැමගෙන් ඔබට සුබ පැතුම්! සුබ රාත්‍රියක්, ප්‍රීතිමත් නත්තලක් සහ පෘථීවියේ වෙසෙන ඔබ සැමට දෙවි පිහිටයි !”
(“And from the crew of Apollo 8. We close with good luck, good night, a merry Christmas, and God bless all of you, all of you on the good Earth.”)

බෝමන්ගේ ඒ හඬ පෘථීවියට ඇසුණේ දේව දූතයෙකුගේ පණිවුඩයක් ලෙසිනි.
This is an AI-generated image.

1968 වසර යනු මිනිස් ඉතිහාසයේ අතිශය අඳුරු වසරකි. ඇමරිකාවේ දේශපාලන ඝාතන, වියට්නාම යුද්ධයේ බෝම්බ හඬ, සෝවියට් යුද ටැංකිවලින් යට වූ ප්‍රාග් නගරය සහ වීදි කැරලිවලින් මුළු ලෝකයම ගිනිගෙන තිබුණි. මිනිසා සිටියේ බලාපොරොත්තු සුන් කරගෙනය.
එවන් පසුබිමක, සඳ වටා සිට ඇසුණු ඒ සාමකාමී නත්තල් සුබපැතුම ලෝකයට මහත් සහනයක් විය. මෙහෙයුම අවසානයේ ඔවුන් නිරුපද්‍රිතව පෘථීවියට පැමිණියහ. ඔවුන්ට ලැබුණු දහස් ගණන් ලිපි අතර එක් කෙටි ලිපියක් ගගනගාමීන්ගේ හදවතට තදින්ම දැනුණි. නන්නාදුනන කාන්තාවක් එවා තිබූ එම ලිපියේ සටහන්ව තිබුණේ මෙපමණකි:

“ස්තූතියි. ඔබ 1968 වසර බේරා ගත්තා.”

Artemis II චාරිකාවේ තාක්ෂණික රහස්

ඇපලෝ මෙහෙයුම මුළුමනින්ම ඇමරිකානු වෑයමක් වුවද, ආර්ටෙමිස් ක්‍රියාත්මක වන්නේ රටවල් 60 ක එකඟතාවයෙනි. රටවල් 18 කින් මාධ්‍යවේදීන් 900 කට අධික පිරිසක් සහ ලක්ෂ 4 ක නරඹන්නන් පිරිසක් දියත් කිරීම නැරඹීමට පැමිණ සිටීමෙන්ම මෙහි ඇති ජාත්‍යන්තර වැදගත්කම මනාව පැහැදිලි වේ.

රොකට්ටුව දියත් කිරීමට මිනිත්තු කිහිපයකට පෙර, රැස්ව සිටි පිරිස අතර සිටි පුද්ගලයින් එකිනෙකා වැළඳ ගනිමින් “Good luck” යැයි පැවසුවේ හරියට ඔවුන්ම එම ගමන යනවාක් මෙනි. “We’re on our way” පිරිසක් ප්‍රීති ඝෝෂා කළහ. සැබවින්ම ඔවුන්ද ඒ ගමනේ කොටස්කරුවන් විය. මන්ද යත්, සඳ වෙත යන මේ මහා පිම්ම පිටුපස පෘථීවිවාසී අප සැමගේ බලාපොරොත්තු සහ සිහිනද අඩංගු වී ඇති බැවිනි.

වසර 54 ක දීර්ඝ කල් ඇරීමකින් පසු, පසුගිය අප්‍රේල් 1 වැනිදා ෆ්ලොරිඩාවෙන් අහසට විදි ආර්ටෙමිස් II මෙහෙයුම, හුදෙක් ගමනක් නොව මිනිසා මෙතෙක් අභ්‍යවකාශයේ තබන වේගවත්ම සහ දුරම පිම්මයි. පෘථීවියේ සිට සැතපුම් ලක්ෂ ගණනක් ඈතට යන මේ ගමනේදී ගගනගාමීන්ගේ ජීවිත රඳා පවතින්නේ අතිසූක්ෂ්ම භෞතික විද්‍යාත්මක උපක්‍රම මතය.

අකුණු වේගයෙන් ඇරඹි ගමන – Translunar Injection (TLI)

NASA ආයතනයට අයත් Space Launch System(SLS) රොකට්ටුව දියත් කර මිනිත්තු දෙකක් ඇතුළත එහි බූස්ටර වෙන් වූ අතර, මිනිත්තු 10 ක් ගතවීමටත් පෙර ඔරායන් (Orion) යානය පෘථීවිය වටා අසමමිතික කක්ෂයකට පිවිසියේය. මෙය කෙතරම් වේගවත්ද යත්, දියත් කිරීම නැරඹීමට පැමිණි අයට රොකට් එකලස් කිරීමේ ගොඩනැගිල්ල වෙත පයින් යාමට ගතවන කාලයටත් වඩා අඩු වේලාවකදී ගගනගාමීන් පෘථීවි වායුගෝලයෙන් මිදී හමාරය.

පැයට සැතපුම් 17,500 ක වේගයෙන් ඇදී යන ඔරායන් පෘථීවිය වටා බිත්තරයක හැඩති පූර්ණ කක්ෂයක් සම්පූර්ණ කිරීමට ගත කරන්නේ විනාඩි 90 ක් වැනි කෙටි කාලයකි. මෙම දැවැන්ත පෘථීවි කක්ෂය වටා ගමන් කර, අප්‍රේල් 2 වන බ්‍රහස්පතින්දා සවස් වන විට, (අභ්‍යවකාශ ගත වී පැය 24 කට පසු) යානය සිය තීරණාත්මක Translunar Injection (TLI) පියවර තැබීය. එහිදී ඔරායන් යානයේ එන්ජිම පණ ගන්වමින් යානය සඳ දෙසට විදිනු ලබයි. පෘථීවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදීමට අවශ්‍ය ප්‍රවේගය (Escape Velocity) වන්නේ පැයට සැතපුම් 24,500 කි. යානයට එම වේගය දිගටම පවත්වා ගත හැකි වූයේ නම්, පැය 8 කින් සඳ වෙත ළඟා විය හැකිය. එහෙත්, පෘථීවියේ සිට ඉවතට යන ගමන ‘කන්දක් ඉහළට යන ගමනක්’ වැනිය. පෘථීවි ගුරුත්වාකර්ෂණය විසින් යානය පසුපසට ඇදීම නිසා එහි වේගය ක්‍රමයෙන් පැයට සැතපුම් 3,400 දක්වා අඩු වෙයි.

ජීවිත රැක දෙන Free-Return Trajectory

සඳ බලා යන ගමන ඉක්මන් කිරීමට පැයට සැතපුම් 25,000 ක හෝ ඊට වැඩි වේගයකින් යා හැකි වුවත්, Orion යානයේ වේගය පැයට සැතපුම් 24,500 කට සීමා කර ඇත. මෙයට විශේෂ හේතුවක් තිබේ. මෙසේ මඳක් අඩු වේගය, පෘථීවි ගුරුත්වාකර්ෂණය තවදුරටත් යානය කෙරෙහි යම් බලපෑමක් පවත්වයි. යම් හෙයකින් යානයේ එන්ජිම හෝ මඟපෙන්වන පද්ධතිය අක්‍රිය වුවහොත්, මෙම වේගය නිසා යානය Free-return trajectory නම් ආරක්ෂිත මාවතකට අවතීර්ණ වේ.

එහිදී සිදුවන්නේ, සඳේ ගුරුත්වාකර්ෂණය විසින් යානය සඳ පිටුපසින් කරකැවී, නැවතත් පෘථීවිය දෙසටම හරවා විසි කිරීමයි. එය හරියට බේස්බෝල් ක්‍රීඩකයෙකු පන්දුවක් අල්ලා නැවතත් ඉලක්කය වෙත වේගයෙන් විසි කරනවා වැනිය. වේගය මීට වඩා වැඩි වූයේ නම්, යානය පෘථීවිය පසු කරමින් අභ්‍යවකාශයේ සදහටම අතරමං වනු ඇත.

ඇපලෝ 13 වාර්තාව බිඳ දමන හයවන දිනය


Image Credit: NASA

මෙහෙයුමේ හයවන දිනය වන අප්‍රේල් 6 වන සඳුදා, Artemis II කණ්ඩායම සඳුගේ අසල්වැසි සීමාවට ඇතුළු වනු ඇත. එහිදී ඔවුහු මෙම ඉපැරණි චන්ද්‍ර ලෝකයේ මතුපිටට සැතපුම් 4,000 ක් තරම් ආසන්නයට පැමිණෙති.

මෙම අවස්ථාව ඔරායන් යානය තැබීමට නියමිත තවත් එක් සුවිශේෂී ඓතිහාසික වාර්තාවකට මග පාදන්නකි. එහිදී ඔවුන් සඳෙහි මුවා වූ පැත්තේ (Far side) සිට සැතපුම් 4,700 ක් ඈතින් වූ කක්ෂයක ගමන් කරනු ඇත. 1970 වසරේදී අනතුරට පත් වූ Apollo 13* යානය සඳට සැතපුම්  158 ක් තරම් සමීපයෙන් ගමන් කළද, ආර්ටෙමිස් II මෙහෙයුම සඳෙහි කක්ෂයෙන් තවත් ඈතට විහිදෙයි.
(*ඇපලෝ 13 යානයේ සිදු වූ හදිසි පිපිරීමක් හේතුවෙන් සඳ මත ගොඩබැසීමේ සැලසුම අත්හැර දමා ගගනගාමීන් බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කෙරුණු අතර, සියලුදෙනා නිරුපද්‍රිතව පෘථීවියට පැමිණීමට සමත් වූහ).

කෙසේ වෙතත්, ඇපලෝ 13 යානයට වඩා සඳෙන් ඈතට විහිදෙන කක්ෂයක ගමන් කරන බැවින්, ආර්ටෙමිස් II කණ්ඩායම මිනිසෙකු පෘථීවියේ සිට ගමන් කළ වැඩිම දුර ප්‍රමාණය ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ඉතිහාසයට එක් වනු ඇත.

පෘථීවියට ඒමට වායුගෝලය මතින් පනින ගමන

සඳ වටා යන ගමන නිමා කර නැවත නිවස කරා ඒමට Artemis II කණ්ඩායමට පැය 96 කට වඩා වැඩි කාලයක් ගත වේ. අප්‍රේල් 10 වන සිකුරාදා යානය පෘථීවියට ළඟාවීමට නියමිත අතර මෙම පැමිණීම ඉතාමත් අසීරු මෙන්ම අවදානම් සහගත එකකි.

පෘථීවි ගුරුත්වාකර්ෂණයට නතු වෙමින් පැයට සැතපුම් 25,000 ක අතිමහත් වේගයකින් පෘථීවි වායුගෝලයට ඇතුළු වන යානය පාලනය කිරීම සඳහා ඉතා සූක්ෂ්ම පියාසර උපක්‍රමයක් අවශ්‍ය වේ. මෙම අධික වේගයෙන් කෙළින්ම වායුගෝලයට ඇතුළු වුවහොත් ඇති වන තාපය සහ ගුරුත්වාකර්ෂණ පීඩනය නිසා යානය විනාශ විය හැකිය.

එබැවින් විද්‍යාඥයන් Skip-entry path නම් උපක්‍රමය භාවිත කරයි. මෙහිදී යානය මුලින්ම වායුගෝලයේ ඉහළ ස්ථරයට ඇතුළු වී, නැවතත් ඉහළට විසි වී අභ්‍යවකාශයට ගොස්, දෙවන වරටත් වායුගෝලයට ඇතුළු වෙයි. මෙය හරියට ජලය මත ගලක් ගැසූ විට එය දිය මතුපිට හැපී නැවත නැවත උඩ පනිමින් යනවා වැනිය (Skipping stone) මෙමගින් යානයේ වේගය සහ තාපය ආරක්ෂිතව අඩු කරමින්, පැයට සැතපුම් 15 ක ඉතා මන්දගාමී වේගයකින් පැසිෆික් සාගරයට පතිත වීමට අවස්ථාව සැලසේ.

අධිසුඛෝපභෝගී  ORION යානය

Artemis II මෙහෙයුමේ ගවේෂකයන් සිව්දෙනා සඳ බලා යන්නේ පෙර පැවති යානාවලට වඩා ඛෙහෙවින් ඉඩකඩ සහිත, ‘සුපිරි පන්තියේ’ අභ්‍යවකාශ යානයකිනි. 1960 දශකයේ ඇපලෝ යානයට වඩා සියයට 50 ක අමතර ඉඩකඩක් (ඝන අඩි 331 ක්) මෙහි ඇති බැවින් ගගනගාමීන්ට නිදහසේ එහා මෙහා වීමටත්, අසුන්වලින් බැහැරව වෙනමම සකස් කළ ‘නිදන දැල්’ (Sleeping hammocks) තුළ සුවපහසු නින්දක් ලැබීමටත් අවස්ථාව හිමි වේ.

ඩොලර් මිලියන 23 ක සුපිරි වැසිකිළිය සහ තාක්ෂණික බලය

සනීපාරක්ෂක කටයුතු අතින් ඔරායන් යානය අතිනවීන පියවරක් ඉදිරියට තබා ඇත. පැරණි අපහසු නළ පද්ධති වෙනුවට, ඩොලර් මිලියන 23 ක වියදමින් නිපද වූ, චූෂණ බලය සහිත (Suction) තාක්ෂණය සහිත වැසිකිළි පද්ධතියක් මෙහි ස්ථාපනය කර තිබේ.

මීට අමතරව:
පරිගණක වේගය: ඇපලෝ යානයට වඩා 20,000 ගුණයක වේගයකින් දත්ත සකසන අතර, මතකය : (Memory) 128,000 ගුණයකින් වැඩිය.
බලශක්තිය: යානයට අවශ්‍ය විදුලිය නිපදවා ගන්නේ එහි ඇති දැවැන්ත සූර්ය පැනල (Solar arrays) මගිනි.
දර්ශනය: අභ්‍යවකාශයේ අසිරිමත් දසුන් නැරඹීම සඳහා විශේෂ ජනේල හයක්  මෙහි අඩංගු වේ.

අභ්‍යවකාශයේ ව්‍යායාම මධ්‍යස්ථානය

දීර්ඝ ගමනකදී ගගනගාමීන්ගේ සෞඛ්‍යය රැක ගැනීම සඳහා යානය තුළ විශේෂ Rowing සහ ප්‍රතිරෝධී පුහුණු උපකරණ සවි කර ඇත. මෙම ව්‍යායාම මගින් ඇතිවන චලනයන් යානයේ ස්ථාවරත්වයට හෝ සූර්ය පැනලවලට බාධාවක් වේද යන්න පරීක්ෂා කිරීමද මෙහෙයුමේ එක් අරමුණකි.

සඳ ජය ගැනීමේ අඛණ්ඩ මෙහෙයුම

නාසා ආයතනය මේ වන විට ඉතා කාර්යබහුල කාලසීමාවක් පසු කරමින් සිටියි. ඉදිරි වසර කිහිපය තුළ සඳ වෙත යන ගමන් වාර (Flight cadence) වැඩි කිරීම සඳහා දැනටමත් ඔරායන් යානා පහක් නිෂ්පාදනය වෙමින් පවතී. මෙම යානා කොටස් වශයෙන් නැවත භාවිත කළ හැකි (Reusable) බැවින්, මෙහෙයුම් පහකට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහා ඒවා යොදා ගැනීමට නියමිතය.

ඇපලෝ පරදවන ආර්ටෙමිස්ගේ විද්‍යාත්මක ඇස

ඇපලෝ මෙහෙයුම් හරහා සඳේ පර්වත සාම්පල රාත්තල් 842 ක් පෘථීවියට ගෙන ආවද, ඒ සියල්ල ලබාගත්තේ සඳේ අපට පෙනෙන පැත්තේ (Near-side) සමක ආසන්න ප්‍රදේශවලිනි. එහෙත් Artemis II මෙහෙයුම එතැනින් එහාට යයි. මෙම කණ්ඩායම සඳේ දකුණු ධ්‍රැවය මතින් පියාසර කරමින්, වසර බිලියන හතරකට වඩා පැරණි භූ විද්‍යාත්මක රහස් සෙවීමට අවශ්‍ය දුරස්ථ නිරීක්ෂණ ශිල්පීය ක්‍රම (Remote observation techniques)ප්‍රගුණ කරනු ඇත.

විද්‍යා උපකරණ කොතෙක් දියුණු වුවද, මිනිස් ඇසට සහ බුද්ධියට කළ හැකි නිරීක්ෂණ මෙහිදී අතිශයින්ම වැදගත් වේ. 1972 දී ඇපලෝ 17 ගගනගාමී හැරිසන් ස්මිත් සඳ මත තිබූ ‘තැඹිලි පැහැති පස්’ (Orange soil) සියැසින් දැක හඳුනාගත් අයුරු මෙහිදී සිහිපත් කළ යුතුය. රොබෝ යන්ත්‍රවලට මඟහැරී ගිය එම සුවිශේෂී දසුන හඳුනාගත්තේ මිනිස් දෑස් විසිනි. මෙවර Artemis II කණ්ඩායමද එවැනිම සියුම් නිරීක්ෂණ හරහා සඳේ සැඟවුණු රහස් ලොවට හෙළි කරනු ඇත.

වසර බිලියන හතරක සබඳතාවයේ ඓතිහාසික සේයාරූ

ඉදිරි දින 10 තුළ Artemis II කණ්ඩායම සැතපුම් 685,000 ක දැවැන්ත දුරක් ගෙවා දමනු ඇත. ඔවුන්ගේ ගමනේ වඩාත්ම විශ්මයජනක මොහොත උදා වන්නේ ඔවුන් සඳේ ඈත පැත්තෙන් (Far side) ඔබ්බට ගිය විටයි. 1968 දී Apollo 8 ලබාගත් Earthrise සේයාරුව සහ 1972 දී Apollo 17ලබාගත් Blue Marble සේයාරුව ලොවම මවිත කළේය.

එහෙත් මෙවර Artemis II කණ්ඩායම තවත් ඓතිහාසික වාර්තාවක් තබනු ඇත. ඔවුන් සඳට සහ පෘථීවියට කොතරම් ඈතින් ගමන් කරන්නේද යත්, මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්පූර්ණ සඳ සහ සම්පූර්ණ පෘථීවිය යන දෙකම එකම ඡායාරූප රාමුවකට හසු කර ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.

වසර බිලියන හතරක් තිස්සේ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතින පෘථීවිය සහ සඳ, Artemis II මෙහෙයුම හරහා නැවත වරක් එකිනෙකාට සමීප වනු ඇත. 1968 වසරේදී මිනිසා සඳ වටා ගොස් අජටාකාශය පිළිබඳ බලාපොරොත්තුව රැගෙන ආවා සේම, 2026 වසරේදී මෙම ගවේෂකයන් සිව්දෙනා සඳ වටා ගොස් අපට පවසනු ඇත්තේ මානව වර්ගයාගේ අනාගතය පෘථීවියෙන් ඔබ්බට විහිදී යන අයුරුයි.

අභ්‍යවකාශයේ නව පරිච්ඡේදයක් ලියන Artemis II විරුවෝ

NASA astronauts Reid Wiseman, commander; left, Christina Koch, mission specialist; CSA (Canadian Space Agency) astronaut Jeremy Hansen, mission specialist; and NASA astronaut Victor Glover, Artemis II pilot, right, pose for a group photo after viewing the Orion spacecraft in the well deck of USS John P. Murtha, Saturday, April 11, 2026, in the Pacific Ocean off the coast of California. The quartet splashed down Friday, April 10 at 5:07 p.m. PDT (8:07p.m. EDT). Photo Credit: (NASA/Bill Ingalls)

Artemis II මෙහෙයුම සඳහා තෝරාගෙන ඇති ගගනගාමීන් සිවුදෙනා හුදෙක් ගවේෂකයන් පිරිසක්ම පමණක් නොවේ¦ ඔවුන් මානව වර්ගයාගේ විවිධත්වය සහ අසීමිත හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කරන නව පරපුරක නියෝජිතයෝ වෙති. ඉංජිනේරු විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳ ඉහළම අධ්‍යාපනයක් ලබා ඇති මොවුන්, අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ යානා පාලනය කිරීමේ වසර ගණනාවක අත්දැකීම් සහිත පිරිපුන් වෘත්තිකයෝ වෙති.

ප්‍රවීණත්වයේ මෙහෙයවීම: Reid Wiseman

මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන රීඩ් වයිස්මන්, ඇමරිකානු නාවික හමුදාවේ ප්‍රවීණ ගුවන් නියමුවෙකි. පරිගණක පද්ධති සහ පද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිලාභියෙකු වන ඔහු, මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 165 ක් පුරා රැඳී සිටිමින් අත්දැකීම් ලැබූවෙකි. සමස්ත මෙහෙයුමේ වගකීම දරන ඔහු, කණ්ඩායමේ ප්‍රධාන ශක්තියයි.

ඉතිහාසගත පියාසර පාලනය: Victor Glover

ඔරායන් යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කරන්නේ වික්ටර් ග්ලෝවර් ය. සඳ වෙත යන ගමනකට එක්වන ප්‍රථම අප්‍රිකානු-ඇමරිකානු ජාතිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වේ. සාමාන්‍ය ඉංජිනේරු විද්‍යාවට අමතරව පියාසර පද්ධති සහ හමුදා මෙහෙයුම් විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි තුනක් (3) හිමි කරගෙන සිටින ඔහු, දක්ෂ පරීක්ෂණ ගුවන් නියමුවෙකි.

සඳට යන පළමු කාන්තාව: Christina Koch

සඳ බලා යන ප්‍රථම කාන්තාව ලෙස ක්‍රිස්ටිනා කොක් මෙහිදී සුවිශේෂී ඇගයීමකට ලක්වේ. විදුලි ඉංජිනේරු සහ භෞතික විද්‍යා උපාධිධාරිනියක වන ඇය, අභ්‍යවකාශයේ වැඩිම කාලයක් රැඳී සිටි කාන්තාව ලෙස ලෝක වාර්තාවක්ද (දින 328 ක්) තබා ඇත. මෙහෙයුම් විශේෂඥවරියක ලෙස යානයේ තාක්ෂණික පද්ධති සහ විද්‍යාත්මක පර්යේෂණවල වගකීම ඇය සතු වේ.

ජාත්‍යන්තර සහයෝගීතාවයේ සංකේතය: Jeremy Hansen

මෙම ගමනට එක්වන එකම ඇමරිකානු නොවන ජාතිකයා කැනේඩියානු අභ්‍යවකාශ එAජන්සිය නියෝජනය කරන ජෙරමි හැන්සන් ය. කැනේඩියානු රාජකීය ගුවන් හමුදාවේ කර්නල්වරයෙකු වන ඔහු, අභ්‍යවකාශ විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රවීණයෙකි. ඔහුගේ සහභාගීත්වය මගින් නාසා ආයතනය සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර පවතින ශක්තිමත් සහයෝගීතාව මනාව විදහා දැක්වේ.

මූලාශ්‍ර : (References): NASA Official Artemis II Mission Overview, NASA History Office, Canadian Space Agency (CSA),  NASA Lunar Science and Exploration Portal, The Artemis Accords

 

Share this Post

Subscribe To Our Newsletter

Join our mailing list to receive the latest news and updates.

You have Successfully Subscribed!