කොවිඩ්-19 වසංගතය හමුවේ ජාත්‍යන්තර වශයෙන් සහ කැනඩා-ඇමරිකා දේශසීමා හරහා සිදුකෙරෙන අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා වන තහනම අවම වශයෙන් තවත් මාසයක්වත් දීර්ඝ කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය Bill Blair ඊයේ (18) නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව වසරකටත් වැඩි කාලයක් අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා කැනඩාවට පැමිණීමේදී පනවා ඇති තහනම ජූලි මස 21 වෙනි දා දක්වා දීර්ඝ කරනු ඇත. මේ පිළිබඳව ඔහුගේ ට්විටර් ගිණුමේ වූ සඳහන පහත දැක්වේ. 

උතුරු ඇමරිකා කලාපය තුළ කොවිඩ්-19 වසංගතය පැතිර යෑමත් සමග 2020 මාර්තු මාසයේ සිට කැනඩා-ඇමරිකා දේශ සීමාව වසා දැමුණි. එතැන් පටන් සෑම මාසයකම දෙරට අතර පවතින එකඟතා ගිවිසුමක් අලුත් කරමින් මාසයෙන් මාසයට මෙම වසා දැමීමේ කාල සීමාවන් දීර්ඝ ‌විය. අවසන් වරට දීර්ඝ කරන ලද ගමන් තහනම ජූනි 21 වැනි දින නිමා වීමට නියමිතව තිබුණත් මෙම නිවේදනයට අනුව එය  නැවතත් ජූලි 21 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇත. මෙම තහනම භාණ්ඩ ප්‍රවාහන සහ අත්‍යවශ්‍ය අනෙකුත් රාජකාරි ගමන් සඳහා බලපෑමක් නොකරයි.

කැනඩාව පුරා කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත ලබාදීම වැඩිවීමත් කොවිඩ්-19 රෝගීන් අඩුවීමත් සමග කැනඩා-ඇමරිකා දේශසීමා නැවත විවෘත කරන ලෙස පළාත් රැසක නායකයින් ප්‍රධාන රජයට බලපෑම් කර ඇතත් එන්නත ලබාදීම මගින් කැනඩාව  තවමත් ආරක්ෂිත සීමාවකට පැමිණ නැති නිසා තවදුරටත් කැනඩාව සහ ඇමරිකාව අතර අත්‍යවශ්‍ය නොවන සංචාර සඳහා ජනතාව ගමන් කිරීම සීමා කිරීමට කැනඩා රජය තීරණය කොට ඇත.

මිනිසුන්ගේ නොඉවසිලිමත් බව තමා තේරුම් ගෙන ඇතත් රජයක් ලෙස කැනේඩියානුවන් ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බව අගමැති ජස්ටින් ටෘඩෝ මේ  පිළිබඳව පැහැදිලි කරමින් පවසා සිටියි. මේ වන විට කැනඩාව තුළ පළාත් මට්ටමින් සහ ප්‍රධාන රජය මැදිහත්ව පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට නම් අවම වශයෙන් සියයට 20 ක් හෝ සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා තිබීම අත්‍යවශ්‍ය බව අගමැතිවරයා පෙන්වා දේ. සංචාරයට කැමති කැනේඩියානුවන් පූූූූර්ණ එන්නත් මාත්‍රා ලබා ඇත්නම් ඔවුන් රෝගයට ගොදුරු වුවත් රෝහල්ගත වීමෙන් ආරක්ෂා විය හැකි වුවත් ඔවුන් වටා සිටින ප්‍රජාව එන්නත ලබා නොමැති වුවහොත් කොවිඩ්-19 සඳහා ග්‍රහනය වීම සහ ඇතැම් විට රෝහල්ගත වීමට සිදුවීම වළක්වා ගැනීම අපහසු විය හැකි බව අගමැතිවරයා පවසයි.

එන්නත සම්පූර්ණ මාත්‍රා ලබා ඇති පුද්ගලයෙකුගෙන් පවා නැවත පූර්ණ එන්නත් මාත්‍රා ලබා නොගත් පුද්ගලයකු වෙත කොවිඩ්-19 සම්ප්‍රේශනය විය හැකි නිසා රට තුළ පූර්ණ එන්නත් මාත්‍රා ලබාගත් පිරිස යම් මට්ටමකට වැඩි වන තෙක් සීමාවන් ලිහිල් කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඒ සඳහා පියවරෙන් පියවර යෑමට බලාපො‌රොත්තු වන බවත් රජය පවසයි.

කෙසේ වුවත් කැනඩා රජය ගත් මෙම තීරණය කැනඩාව සහ එක්සත් ජනපදයේ අන්තර් පාර්ලිමේන්තු කණ්ඩායමේ සම සභාපතිත්වය දරන කොන්ග්‍රස් සභිකයන් දෙදෙනා ඇතුළු සමහර ඇමරිකානු නීති සම්පාදකයින්ගේ ක්ෂණික විවේචනයට ලක් වී ඇත. මෙසේ දිගින් දිගටම දේශසීමාව වසා තැබීම දෙපස අතර සිදුවන ‌ව්‍යාපාර කටයුතුවලට මෙන්ම ‌රටවල් දෙකෙහි ජීවත් වන ආදරණීයයන් හමුවීමටද බාධා පමුණුවා ඇති බව බටහිර නිව්යෝර්ක්හි හා මිචිගන් ප්‍රාන්තවල දේශපාලනඥයින් අදහස් දක්වමින් පවසා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ක්විබෙක් පළාතේ අගමැති (Quebec Premier) Francois Legault පවසා ඇත්තේ COVID-19 ට එරෙහිව සම්පූර්ණයෙන්ම එන්නත් ලබා ඇති පුද්ගලයින්ට දේශ සීමාව නැවත විවෘත කිරීමේ සැලසුමක් පිළිබඳව කැනඩා රජය සොයා බලමින් සිටින බවයි. එහිදී පූර්ණ එන්නත් මාත්‍රා ලබා ඇති කැනේඩියානුවන්, ස්ථිර පදිංචිකරුවන්( permanent residents) සහ වෙනත් සුදුසුකම් ලත් පුද්ගලයින් සඳහා නුදුරු කාලයේදී සංචාරක සීමා සහ නිරෝධාය සීමා  ලිහිල් කිරීම ගැන ෆෙඩරල් රජය අවධානය යොමු කර ඇත.

එහි පළමු පියවර වශයෙන් කොවිඩ්-19 එරෙහි සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා ඇති කැනඩාවට ඇතුළු වීමේ අවසරය සහිත පුද්ගලයන්ට අනිවාර්ය හෝටල් නිරෝධායනය අත්හැරීමට ඉඩ දීමට අදහස් කෙරේ. එසේ පැමිණෙන සංචාරකයින් දින 14 ක් හෝ ඊට වැඩි කාලයකට පෙර එන්නත් පූර්ණ මාත්‍රා ලබා තිබිය යුතු වේ. නමුත් මෙහිදී එසේ පැමිණෙන සංචාරකයින් කැනඩාවේ භාවිතය සඳහා අනුමත කරන ලද එන්නත් පමණක් ලබා තිබුණහොත් පමණක් හෝටල් නිරෝධායනයෙන් තොරව රටට ඇතුළු වීමට හැකි වේ.  (කැනඩාවේ අනුමත වැක්සීන – Pfizer BioNTech, Moderna, AstraZeneca, Janssen (Johnson & Johnson)). මේ සියලුම සහතික ඇතත් කැනඩාවට පැමිණෙන සියලුම පුද්ගලයින් ගුවන් ගමනට පෙර ලබාගත් නෙගටිව් PCR සහතිකයක් ලබා තිබීම අනිවාර්ය කර ඇත. එසේම ඔවුන් විසින් රටට පැමිණීමෙන් පසුද ‌PCR පරීක්ෂාවට භාජන කරනු ලැබේ.

ඉදිරි සැප්තැම්බර් මාසය වන විට කැනේඩියානුවන් සියයට 75 කට වැඩි ප්‍රතිශතයකට පූර්ණ එන්නත් මාත්‍රා ලබාදීමට රජය අපේක්ෂා කරන අතර ඉන්පසු ‘පූර්ණ එන්නත ලබාගත් බවට ජාතික සහතිකයක්’ නිකුත් කිරීමටද රජය කටයුතු සකස් කරමින් සිටී. මෙය අන්තර්ජාතික ගමන්වලදී භාවිතයට ගත හැකි ආකාරයේ පිළිගත් සහතිකයක් වනු ඇත.

Share this Post